පසුගිය සතියෙහි මෙම තීරුවෙහි සාකච්ජා කළ ජනවාරි විප්ලවය දේශපාලන සදාචාර අර්බූදය පසුගිය සති දෙක තුන තුළ ඇතිවූ එක් දේශපාලන පිපිරීමක් විසින් සංකේතවත් කරයි.

එම වර්ධනය නම් ජනවාරි විප්ලවය යටින් කා දමන දේශපාලන සහ ජනමාධ්‍ය බලවේගයක් ලෙස ‘ඇවන්ට් ගාඩ් පෙරමුණ’ බිහිවීමයි.

මෙම ‘ඇවන්ට්ගාඩ් පෙරමුණ’ බොදුබල සේනා ඥානසාරගේ සිට මාරපන, විජේදාස සහ රංජන් හරහා සිය දිවි නසාගන්නා ජනමාධ්‍ය බෝම්බකරුවන් දක්වා දැන් පැතිර තිබේ. එය ජුගුප්සාජනක අශුද්ධ සන්ධානයකි. එහි රනිල්වාදීන් ද රනිල් විරෝධීන් ද දූෂිතයින් ද දූෂණ විරෝධීන් ද ගොනු වී තිබේ. දේශපාලන බෙදීම් අතික්‍රමණය කරන මෙම පෙරමුණහි මහා පොදු සාධකයක් වෙත් නම් එය කුමක්දැයි සිතා ගැනීම දුෂ්කර නැත.

ඇවන්ට්ගාඩ් පරීක්ෂණය තමා යටතට ගැනීමෙන් සහ එම කාරිය නාවික හමුදාවට පැවැරීමෙන් ජනාධිපති සිරිසේන අල්ලා ගත් සදාචාරාත්මක ඉහත්තාව (moral high ground) දැන් මෙම දුරකථන හඬපට මගින් දෙදරවා යවා තිබේ. බොහෝ දුරට ම ‘ඇවන්ට්ගාඩ් පෙරමු‍ණේ’ අරමුණ ද එය විය හැකි ය.
මහේන්ද්‍රන් සහ බෑනාගේ මහා බැංකු මංකොල්ලයෙන් පසු මෛත්‍රී-රනිල් ආණ්ඩුව මුහුණ දෙන බරපතල ම දූෂණ අභියෝගය මෙයයි. (මහේන්ද්‍රන් බෑනා ඇලෝසියස්ගේ බිලියන ගණන් වූ ජාවාරම් ගැන පරීක්ෂණයක් කළ යුතු බවට ඉදිරිපත් වූ නිර්දේශය දියවන්නා ඔයේ ගිලා බැස්සුවේ ද?)

ඇව්න්ට් ගාඩ් ජාවාරම ජනාධිපතිවරණයේ දී ද මහා මැතිවරණයේ දී ද රාජපක්ෂ විරෝධී පොදු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කතිකාවක් විය. එනමුත් මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඇවන්ට් ගාඩ් බලයට යට විය. අවසානයේ දී අගමැති වික්‍රමසිංහගේ හිතවතකු වන ඇමැති මාරපන සහ ඇමැති විජේදාස පාර්ලිමේන්තුවෙහිදී ම ඇවන්ට් ගාඩ් වෙනුවෙන් සුපර්මාර්කට් ගියේ ය.

දේශපාලන සහ සිවිල් සමාජයෙන් නැගී ආ ප්‍රබල විවේචන හමුවෙහි මාරපන අඩියක් පස්සට ගත්තේ ය. එනමුත් දැන් පෙනේනනේ මාරපන – විජේදාස යනාදීන් ඇවන්ට් ගාඩ් වෙනුවෙන් ප්‍රතිප්‍රහාරයක් සූදානම් කළ බවයි.

ඒ බව කලඑළියට ගෙන ඒමට යොදා ගෙන ඇත්තේ දූෂණ විරෝධී දේශපාලනඥයකු සහ උප ඇමැතිවරයකු වන රංජන් රාමනායක ය. ඔහු විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළ දුර කථන කතාබහක් අඩංඟු හඬ පටියෙන් කියැවෙන්නේ මෙයයි. ඇවන්ට් ගාඩ් හිමිකරු සේනාධිපති විසින් (දූෂණ විරෝධී සහ ජනපති පාර්ශවයේ) ඇමැති රාජිත සේනාරත්නට මැතිවරණ වියදම් වශයෙන් ලක්ෂ 50ක් දී තිබේ. එම මුදල දී ඇත්තේ සේනාධිපතිගේ හොරකං වසා ගැනීමට නොවේ.

එම හඩ පටය මුදා හැරීමට උග්‍ර රනිල්වාදියකු රංජන් රාමනායක යොදා ගැනීම ඇවන්ට් ගාඩ් සටන ජනාධිපති පාර්ශවය සහ අගමැති පාර්ශවය අතර සටනක් බවට පරිවර්ථනය කිරීමට ගන්නා උත්සාහයේ කොටසකි. එම දුර කථන හඬ පටය ඇවන්ඩ්ගාඩ් සමාගමෙන් ම මුදා හරින ලද එකක් බවට සැකයක් තිබිය නොහැකි ය. මන්ද යත් එම කතාබහ වෙන අයෙකුට පටිගත කර ගත නොහැකි නිසා ය.

එමෙන්ම එම හඩ පටයට සවන් දෙන ඕනෑම අයෙකුට එම දුරකථන කතාබහ පටිගත කර ගැනීමේ අරමුනින්ම සේනාධිපති විසින් කරන ලද එකක් බව පැහැදිළි වෙයි. එම හඩ පටය පුරා ම සේනාධිපති උත්සාහ කරන්නේ ඇමැති රාජිත විසින් ඔහුට විරුද්ධව කරමින් ඇති චෝදනා ඔහුගේ මිතුරු නිලධාරියාගේ කටින් ප්‍රතික්ෂේප කරවා ගැනීමට ය.

එම කතාබහ තුළ ඇවන්ට් ගාඩ් හිමිකරු වන සේනාධිපති කතා කරන විලාශයෙන් ම ඔහුගේ බලපුලුවන්කාරකම පෙනේ. ඔහු එකී නිලධාරියාට තර්ජනය නොකරනවා පමණ ය. තවත් වැදගත් දෙයක් නම් ඔහු කතා බහේ ප්‍රස්තුත කාරණය වන ඇමැති විජේදාසට ඔහු ලක්ෂ 300ක් නොදුන් බව නොකීමට ප්‍රවේසම් වීම යි. සේනාධිපති උණ්ඩ නාස්ති කර ගන්නේ නැත. පසු අවස්ථාවකට තියා ගනී.

පුදුමයට කාරණය වන්නේ එකී හඩ පටය විය යුතු පරිදිම ඇමැති රාජිතට විවේචනයක් ලෙස යොදා ගත් ජනමාධ්‍යකරුවන් එම කතා බහ තුල සේනාධිපතිගේ කතා විලාසය විවේචනය නොකිරීම යි.

අප ඇසිය යුතු ප්‍රශ්ණය නම් ඇමැති රාජිත දැන් ඇවන්ට් ගාඩ් දූෂණ හෙළිකරන්නේ මුදල් ප්‍රශ්ණයක් නිසා ද යන්න ය. එමෙමන් ම මැතිවරණ වේදිකාවෙහි ඇවන්ට් ගාඩ් ජාවාරම පට්ට ගසමින් ඔහු සිය මැතිවරණ අරමුදල සඳහා ඉන් මුදල් ලබා ගත්තේ ද යන්න යි. හඩ පටිවලින් පෙනී යන පරිදි ඇමැති රාජිත එම මුදල ආපසු යවා ඇත්තේ මහා මැතිවරණයෙන් බොහෝ පසුව ය! එය දේශපාලන සදාවාරාත්මක ප්‍රශ්ණයකි.

ඇමැති රාජිත එම මුදල ආපසු එවන බව කියන දුරකථන හඩ පටයක් ද දැන් අදාළ නිලධාරියා විසින් මුදා හැර තිබේ. එම සංවාදයේ දී මුදල ලබා දීමට අතරමැදියා වූ එකී නිලධාරියාට ඇවන්ඩ්ගාඩ් සමාගමේ ප්‍රධානියා මෙවැනි අදහසක් කියයි. ‘‘ වැඩිය ආණ්ඩුව වෙනුවෙන් දඟලන්න එපා. වැටුනහම ගුටි කන්න වෙයි” අන්තිමට මෙසේත් කියයි. ‘‘වාහනේ ප්‍රශ්නෙ විසදුනා ද? උඹට බැරි උන වෙලාවක මං උඹ බලාගන්නම්”.

ඇවන්ට් ගාඩ් යනු බිලියන ගණනින් ලාභ ලැබූ ජාවාරම්කාර සමාගමකි. එය ස්වයංක්‍රීය ගිනි අවි වල අංක මකා පාවිච්චි කළේ ය. නීති විරෝධි ලෙස ගිනි අවි ගබඩා කළේ ය. ගෝඨාභය රාජපක්ෂගේ අතවැසියකු විය. එහි මුල්‍ය බලය ආණ්ඩුවක් පෙරළීමට තරම් බලවත් විය හැකි ය. අද ඇවන්ට් ගාඩ් වෙනුවෙන් පෙනී සිටීම වාසියක් මිස පාඩුවක් විය නොහැකි ය. එමෙන්ම එය විසින් ‘‘බලා ගන්නා” තවත් බොහෝ දෙනෙකු දේශපාලනයේ ද ජනමාධ්‍ය තුළ ද ඇති බවට සැකයක් තිබිය නොහැකිය. ඇවන්ට්ගාඩ් ආරක්ෂක එක් මාධ්‍යකරුවකු කියා සිටින්නේ ළඟදීම රාජිතට මෙන්ම අනුර කුමාර දිසානායකලාටත් වැඩේ දෙන බවයි. (‘ඇවන්ට් ගාඩ් පෙරමුණේ’ ප්‍රහාරයන්ට විරුද්ධව අනුර කුමාර ආරක්ෂා කිරීම අපේ යුතුකම වේ.)

ඇවන්ට් ගාඩ් ජාවාරම විසින් මුදල් ලබා දී ඇති දේශාපාලනඥයින් මෙන්ම මාධ්‍යකරුවන් සහ අවශේෂ පුද්ගලයින් ද වේ නම් ඒ සියලු දෙනා කව්රුන්දැයි දැන ගැනීමට අපට අයිතියක් තිබේ. ඇමැති රාජිත සේනාරත්නට දුන් බව කියැවෙන චෙක්පත ප්‍රසිද්ධ කල අයුරින්ම අනෙක් චෙක්පත් ද ප්‍රසිද්ධ කරන සේ අප ඉල්ලා සිටිය යුතු ය.

එමෙන්ම වඩාත් වැදගත් වන්නේ මෙම විමර්ශණය හුදෙක් ජනාධිපති සිරිසේන යටතේ නොව අගමැති වික්‍රමසිංහගේ ද වගකීමෙන් යුතුව කැරෙන බවට වගබලා ගැනීමයි.

තව ද ඇවන්ට් ගාඩ් ජාවාරම සම්බන්ධ සම්පුර්ණ පරීක්ෂණයක් මෙම අවස්ථාවෙහි අප ඉල්ලා සිටිය යුතු ය. දේශපාලන සදාචාරාත්මන ඉහත්තාව අල්ලා ගැනීම සිවිල් සමාජයට ද සිය සුජාතබව ගොඩ නඟා ගැනීමට අත්‍යවශය ය.

තීරණාත්මක දේශපාලන මැදිහත්වීමක් කළ හැකි ශ්‍රී ලාංකික සිවිල් සමාජ වතුරංගිකියක් කරා ගමන ගොඩ නැගෙනු ඇත්තේ එවැනි ඉල්ලීම් මත කැරෙන බහුජන බලමුළු ගැන්වීම් මගිනි.

Sunandaසුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya