විදුලි සැරක් සේ වම් කකුලේ විලුඹෙන් මතු වන වේදනාව, ශරීරයම දවමින් හිස් මුදුන කරා යයි. හරියටම සීත සෘතුවල පාදයේ අභ්‍යන්තරයෙහි ඇති ලෝහ තහඩු සීතල වීම නිසා දැනෙන අපා දුක මෙනි. මා මේ ඉරියව්වෙන් කොපමණ වෙලාවක් ඉඳ සිටියාදැයි නොදනිමි. ඒත් කඩදාසිය හිස් ය. මිනිසුන් දහස් ගණනකගේ කතාත්, තව බොහෝ දේත් හනි හනික ලියා පුරුදු මට, ලිවීම මේ තරම් අසීරු දෙයකැයි කිසි දා දැනී නැත.

විවිධාකාර වේදනාවන්ට මුහුණ දුන් මිනිස්සු, තමන් විඳි වේදනාව මෙලොව මිනිසකුට දැරීමට අසීරුම අත්දැකීම ලෙස දකිති. වධහිංසාවට ලක් වීම නැමති කුරිරු අපරාධයේ වින්දිතයකු වූ මා සම්බන්ධයෙන්ද එය එසේමය. වධහිංසාවලට ලක්ව, සුව කළ නොහැකි ලෙස ආබාධිත වූවෙක් ඉතිරි ජීවිත කාලය පුරාම ගෙවෙන හැම තත්පරයක් පාසාම කායිකවත්, මානසිකවත් වධ හිංසාවට ලක් වෙයි. ඒත් දැන් මට සිතෙන්නේ, හිතේ කොණක නිදා-නොනිදා අඳුරු මතකයක් ලෙස පවතින ඒ බියකරු අත්දැකීම අනුපිළිවෙළින් ආවර්ජනය කිරීම තරම් වේදනාවක් තවත් නොතිබිය හැකි බවය. හිස් කඩදාසියක් අබිමුව, මා මේ මොහොතේ විඳිමින් සිටින්නේ ඒ වේදනාවයි.

මා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීමේ කුරිරු සිදුවීමට, මේ ජුනි 01 වැනිදාට වසර 7කි. එතරම් දිගු කලකට පසුවත්, මට ඒ සිදුවීම අදටත් ප්‍රකෘති මනසකින් සිහිපත් කළ නොහැකිය. තව කොපමණ වතාවක් යළි යළිත් විස්තර කළද වධහිංසාවකට ලක් වූවකු විඳින මානසික පීඩාව, එවන් අත්දැකීමක් නැති කෙනෙකුට අවබෝධ කර දිය හැකි වෙතැයි නොසිතමි. පසුගිය වසර හත තුළ අඩු තරමින් පස් හය වතාවක් වත් මගේ මිතුරන්ගේ ඉල්ලීම මත මේ අත්දැකීම ලියා තැබීමට වෑයම් කර ඇතත් එය කළ නොහැකි විය.

ඒ අඳුරු මොහොත

එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී නිවසක ය. මගේ එක් අතක ලිපි ගොනුද, බිරිඳට හා දියණියට ගත් මාළුපාන් ගෙඩි දෙක සහිත කවරය අනිත් අතෙහිද විය. පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි. පාර පටු බැවින් ඉතිරිව තිබුණේ සුළු ඉඩකි. ඒ ඉඩෙන් වෑන් රිය පසු කර යන්නට පය තැබුවා පමණි. ඒ ප්‍රීතිමත්, නිරෝගී මිනිසකු ලෙස මා පොළොව මත තැබූ අවසාන පියවර කිහිපයයි.

ඇසිල්ලකින් මා ඇතුළට ඇදගෙන දොර වසාදැමූ නාඳුනන(උන්ගේ හාම්පුතා කව්දැයි දන්නා මුත්) මැරයෝ, මා බිම පෙරළාගෙන පණ නැති වන තුරු ලවක් දෙවක් නැතිව පහර දුන්හ. මුහුණට-හිසට-පපුවට-බඩට-යටිබඩට හෙණ පහර සේ පහරවල් සිය ගණනක්. මට මතක හැටියට ඒ ජංගම වධකාගාරයේ මැද අසුනක් තිබුණේ නැත. මා දෑත් දෙඇස් බැඳ පෙරළාගැනුණේ ඒ ඉඩෙහි ය. කිසිදු පුද්ගලික කෝන්තරයක් නොතිබූ මිනිසෙකුට එතරම් කුරිරු අන්දමින් සැලකීමට ඒ මිනිසුන්ට ලැබී තිබුණු පුහුණුව පුදුම සහගතය. ඔවුහු මගේ රැවුළ හා කොණ්ඩය කපා මුව තුළට එබූහ, දෑත්වල ඇඟිලි තැලූහ, අත් අඹරවා දැමූහ. මගේ කකුල් දෙකම කඩා දැමීමට වෑයම් කළ මුත් දරුණු ලෙස හානි වූයේ වම් කකුලටය. එය වළලුකරින් වෙන් වන ලෙස කඩා දැමුණේ, ලී කොට කැබැල්ලක් මත තබා, තවත් ලී කොටයකින් පහර දීමෙනි. අන්තිමේදී මුව තුළට එබූ රැවුල් කොණ්ඩා අහුරු සමග කට බැඳ, ලේ ගලන, මළමිනියක් සේ අකර්මණ්‍ය සිරුර පද්දා අගලකට විසි කර දැමූහ.

මා විසි කර දමා තිබුණේ අංගොඩ උණ රෝහල පාරේ ලඳු කැලෑ පෙදෙසකය. නිතර වාහන නොයන ඒ මග ගමන්ගත් ත්‍රී රෝද රථ රියදුරෙක් අහම්බෙන්, පාර අයිනේ බෑවුමේ ඒ මේ අත පෙරළෙන අත් පා බැඳි මිනිසකු දැක තිබේ. බියට පත් ඔහු වහාම අංගොඩ හන්දියට ගොස් ත්‍රී රෝද රථ ගාලේ මිතුරන් කිහිපදෙනෙකුද සමග පැමිණ, මා බැමිවලින් නිදහස් කොට කොළඹ ජාතික රෝහල වෙත ගෙන ගොස් තිබිණි. එතරම් අන්ධකාර යුගයකත්, මනුස්සකම දරා සිටි ඒ යහපත් මිනිසුන් නොවන්නට මගේ ජීවිතය එතැනින් කෙළවර වන්නට තිබිණි.

හිංසනයේ ශේෂ පත්‍රය

සිදු කරන ලද වධ හිංසා හේතුවෙන් හදිසි අනතුරු වාට්ටුවේ පුරා දින 29ක් ප්‍රතිකාර ලැබීමට සිදුවිය. තුවාල, කැඩුම් බිඳුම්, ඇඹරුම් වලට අමතරව බඩට පහරදීම නිසා මුත්‍රාශයට සිදුවූ බලපෑම්වලින් හටගත් ආබාධය බරපතළ විය. වළලුකරින් වෙන් වන සේ කඩා දමා තිබුණු වම් පාදය යළි බද්ධ කර ඇත්තේ ජීවිත කාලයටම ඉවත් කළ නොහැකි ලෝහමය තහඩු මගිනි. රෝහලෙන් නික්ම යෑමෙන් පසු තවත් මාස 6ක් පමණ ඇඳ මත අනේක දුක් විඳි පසුව, තවත් වසරක තරම් කාලයක් ඇවිද්දේ කිහිලිකරුවල ආධාරයෙනි.

එතෙකුදු දුක නිමා වූයේ නැත. ශීත සෘතුවේදී කකුලේ ලෝහ තහඩු අධික ලෙස සීතල වූ විට නැගෙන වේදනාව හිස් මුදුන තෙක් දිවෙයි. එය ඉසිලිය නොහැකි වේදනාවකි. නිසි ලෙස පඩිපෙළක් නැග ගැනීමට නොහැකිය. කඩා දැමූ පාදය පැත්තේ අතින් සාමාන්‍ය බරක් හෝ රැගෙන යා නොහැකිය. ඇවිදීමේදී සිදු වන සුළු අසමබරතාවකින් පවා පාදයේ ඇතිවන වේදනාව සහ ඉදිමුම, සතියක් හමාරක් පවතී.

ශාරීරික වේදනාවන්ටත් වඩා, මානසික වශයෙන් කා වැදී ඇති බිය, කොතරම් වෙර දැරුවද තවමත් දුරු කරගත නොහැකිය. ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර සිටියද, මහ මග ඇවිද යන විට පදික වේදිකාව ආසන්නයෙන් දිවෙන සුදු වෑන්වලට තිගැස්සී පස්සට පනින ගතිය තවම පහව ගොස් නැත. පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවන මොහොතේ, තවත් මොහොතනින් මා මරා දමනු ඇතැයි සිතට කාවැදුණු මරණයේ බිය ඉන් පසු කිසි දා පහව නොයන බව ඉකුත් වසර 7 පුරාම මම අත්වින්දෙමි.

මා වධයට ලක් කළේ ඇයි?

poddala_jayantha

මට කිසිවකු සමග පෞද්ගලික කෝන්තරයක් තිබුණේ නැත. මා පෞද්ගලිකව කිසිවකුට අගතියක් සිදු කරද නැත. එහෙත් රටට හෝ සමාජයට කිසිවකු හානියක් හෝ වරදක් සිදු කරන බව දුටු හැම විටකම මට හැකි උපරිමයෙන් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තෙමි. එය පුද්ගලයන් හෝ ආණ්ඩුවකට අදාළව විය හැකිය. ජනමාධ්‍යවේදියකු ලෙස මා වැඩිපුරම ලියා ඇත්තේ රටේ ජාතික ධනය කොල්ලකෑමට එරෙහිවය. ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව ම විසින් හෙළිදරව් කරන ලද්දේ එතරම් විශාල ලෝක හොරකමක තත්වයට පත් වීමට පෙරය. පොදු ජන යහපත උදෙසා වැරදි හෙළි කිරීමට මාධ්‍යවේදීන් සතු අයිතිය වෙනුවෙනුත්, පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල කළෙමි. මා නොමරා මරා දැමීමට තරම් වැරදි වූයේ මේවාය.

මා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කළේ, දිගින් දිගටම රාජ්‍ය රූපවාහිනී මාධ්‍යවලින් මට එරෙහිව සිදු කරන අවලාද ගැනත්, මට එල්ල වී තිබූ තර්ජන ගැනත් මාධ්‍ය සංවිධාන නියෝජිතයන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදීය. මා ඒ සාකච්ඡාවට යා යුතුදැයි කල් තියා සාකච්ඡා වූ නමුත් මම එහි නොගොස් ගෙදර ගියෙමි. එය මගේ ඉරණම්කාර ගමන වේ යැයි මා සිතුවේ නැත. මා පැහැරගෙන මොහොතකින් ඒ ආරංචියද ඒ සාකච්ඡාව අතරතුරදී මාධ්‍යවේදීන්ට ලැබී, ජනාධිපතිවරයාද දැනුවත් කර තිබිණි. එහෙත් අධි ආරක්ෂක කලාප හරහා මට වධ දෙමින් ගෙන ගොස් අගලකට විසි කර දැමීමට ඒ ‘සහතික ලත්’ මැරයෝ සමත් වූහ. මෙතරම් උත්ප්‍රාසවත් පසුබිම් කතාවක් සහිත පැහැරගැනීමක් සිනමා පටයදී වුවද අභව්‍ය යැයි බැහැර කෙරෙනු නිසැකය.

මා හිංසනයට ලක් කිරීමට මාස කිහිපයකට පෙර, ජනාධිපති සොහොයුරු- ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවකට ලේක්හවුස් සභාපති බන්දුල පත්මකුමාරට කළ දැනුම්දීමක් අනුව මාත් සනත් බාලසූරියත් කැඳවා, මාධ්‍ය නිදහස ගැන කරන උද්ඝෝෂණ නතර කරන ලෙස කළ දැනුම් දීමත්, එහිදී ඇතිවූ විවාදයත් රහසක් නොවේ. බන්දුල පත්මකුමාරද, කුප්‍රකට ලක්ෂ්මන් හුලුගල්ලේද එතැන වූහ. අප දෙදෙනාම ගෝඨාභයට තරයේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යෑම, පහර දීම හා මාධ්‍ය ආයතනවලට සිදු කරන ප්‍රහාර නතර කරන තුරු ඒවාට එරෙහිව කරන අපේ උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි.

එවකට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පවා දෑත් දෙපරැන්ද අස්සේ ගසාගෙන ඝෝඨාභය ඉදිරියේ නිවට වන පසුබිමක, ඔළුව උදුම්මාගෙන සිටි ඔහුට ඒ පිළිතුර කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැත. කෝපයෙන් වියරු වැටුණු ඔහු, සිය පහත් ගති ඉස්මතු වී ‘යකෝ මුන් කාට ජාතක වෙච්ච එවුන් දැයි’ බැනවැදුණු අතර එවැන්නකු සමග තව දුරටත් කතාවක් නැති බැවින් අපි නැගිට ආවෙමු. ඔහු ‘හොඳයි වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි කීවේය. මම අඩියක් ආපහු හැරී, ‘ඔබතුමාද කරන්නේ?’ යැයි ඇසූ විට ඔහු කීවේ, ‘නෑ. මම නෙවෙයි, කරන අය කරාවි’ යනුවෙනි. ඉතින් ‘කරන අය’ කිව් පරිදි ‘ඒ විදියට‘ කළ බව අමුතුවෙන් කිව යුතුද?

මේ අප්‍රසන්න සංවාදයෙන් ටික දිනකට පසුව ලසන්ත වික්‍රමතුංග මහ මග ඝාතනය කර දැමුණු අතර ඒ අවමඟුල වියරු පාලනයට එරෙහිව පැන නැඟුණු පළමු දැවැන්තම විරෝධතාව විය. ‘ඝාතකයා සාටකයා’ යැයි මහ දවල් සටන්පාඨ කියැවුණේ එහි ය. මෙම අවමඟුලෙන් පසුව මටත් සනත්ටත් එල්ලවූ තර්ජන හමුවේ අපි ඉන්දියාවට පලා ගියෙමු. සති තුනකට පසුව මිතුරන් එපා කියද්දී මම නැවත ලංකාවට ආවෙමි. ඉන් පසුව වසර විසි පහකට වැඩි කලක් තිස්සේ සිහිනයක්ව තිබූ, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ කටයුත්තට උර දුන්නෙමි. මා පැහැරගනු ලැබුවේ ඒ අතරතුරය. අවසානයේ, මගේ නම ඇසූවිට රාජ උදහසට ලක් වේ යැයි බියෙන් කුලියට නිවසක් වත් නොදෙන තරමට මව් බිම අනාරක්ෂිත තැනක් වූ පසු ඇමරිකාවේ දේශපාලන රැකවරණ පිළිගැණීම හැර අන් මගක් මට නොවීය.


හමාර කීම

වසර හතකට පසුව බොහෝ දේ වෙනස් වී තිබේ. ඒ මා පලා ගිය පසුවත්, තවදුරටත් බිහිසුනු තර්ජනවලට මුහුණ දෙමින් ඒකාධිපතිත්වයට එරෙහිව අරගල කළ ධෛර්යවන්ත මිනිසුන් නිසාය. ඔවුන්ට පින් සිදු වන්නට, සත් වසරකට පසුව ලංකාවට පැමිණ මහළු මව්පියන්ගේ මුහුණු ජීවමානව දැක ගැනීමේ වාසනාව මට හිමි විය. ඒකාධිපති රාජපක්ෂ නඩය සිහින දුටු පරිදි සදාකාලිකව පවුල් පාලනය තහවුරු වූයේ නම්, මට ඔවුන්ගේ මුහුණු යළි දකින්නට ලැබෙන්නේ නැත.

poddala-1-colombotelegraph

එහෙත් ගැඹුරින් බලන විට සැනසුම් සුසුම් හෙළීමට තරම් දෙයක් තවමත් සිදුවී නැත. ප්‍රගීත් අතුරුදන් කිරීම සම්බන්ධ පරීක්ෂණය හැරුණු විට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළුව ජනමාධ්‍යවලට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් ආරම්භ වී නැත. මට කළ හිංසනය ඒ අතරින් එකක් පමණි. එහි බිහිසුනු පණිවුඩය නම්, මේ අපරාධවලට වගකිව යුතු වුන් තවමත් නිදැල්ලේ සිටින බවය.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් ‘රණ විරුවන්’ ලෙස අභිෂේක කරවමින්, උසාවියට පවා කඩා වදිමින්, රංචු පිටින් බන්ධනාගාරයට බඩගාමින් ‘මහ හොරා ඇතුළු ඒකාබද්ධ හොරු රැළ’ නටන නිරුවත් නාඩගම දකින විට, මේ අපරාධවලට ඔවුන්ගේ ඇති සම්බන්ධය කෙතරම් දැයි තහවුරු වෙයි. එසේ තිබියදී මොවුන් දැන් මාධ්‍ය නිදහස ගැන ප්‍රකාශ නිකුත් කරනු බලා සිටීමට සිදුවීම තරම් කරුමයක් තවත් තිබේද?

නැවත වරක් මේ ඒකාධිපතියා පිරිවරාගෙන යන පෙරහැර නතර කළ යුතුය. එය කළ හැක්කේ අපරාධ පිළිබඳ සොයා බලා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය ශක්තිමත් කිරීමෙනි. එසේ වුවහොත් ඒ පෙරහැරේ මුදුනාගේ සිට තවත් බොහෝ දෙනෙකුගේ ගමන කෙළවර වනු ඇත්තේ සිර ගෙදරිනි.

PJ
පෝද්දල ජයන්ත
| Poddala Jayantha

  • chanaka

    සුනන්ද-නිමල්කා-පාක්‍යසෝති-පෝද්දල ආදීන්ගේ අතපය ප‍්‍රසිද්ධියේ කඩන්නේ මං -මර්වින් දෙනෝදාහක් ඉදිරියේ තර්ජනය කරයි

    (ලංකා ඊ නිව්ස් -2012.මාර්තු.23, පෙ.ව.8.30* මිනීමරු රාජපක්ෂ ආණ්ඩුවේ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන සුනන්ද දේශප‍්‍රිය පෝද්දල ජයන්තගේ සහ මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනෙකු වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු ගේ අතපය ප‍්‍රසිද්ධියේ කඩා දමන බවට අද කිරිබත්ගොඩ මහජනතාව ඉදිරියේ තර්ජනය කෙළේය. කිරිබත්ගොඩදී පැවැති මරා රෙජීමය රැුකගැනීමේ මරාවාදී උද්ඝෝෂනයකදී ඔහු මෙසේ ගුගුළේය.

    ‘‘මේ රටට අත තියන්න කාටවත් බෑ මං කණගාටු වෙනවා අපේ රටේ පෙකනි වැල කපපු පාහරයෝ සුනන්ද දේශප‍්‍රියල නිමල්කා ප‍්‍රනාන්දුල පෝද්දල ජයන්තය, පොද්දල ජයන්තය ලංකාවෙන් මම එළෙව්වෙ. අද මං ප‍්‍රසිද්ධියෙ කියන්නෙ. ඌ ගියෙ මං නිසා. තව එකෙක් ඉන්නව පාක්‍යසෝති. මුං තමයි ජිනීවා ගිහිල්ල මේ රටට විරුද්ධව සාක්කි දුන්නෙ. ප‍්‍රසිද්ධියෙ කියන්නෙ මේක දාන්න. තොපි මට අහුවෙන්න ලංකාවෙ හිටියොත් තොපේ අත පය ප‍්‍රසිද්ධියේ කඩන එකා තමයි මර්වින් සිල්වා කියන එක කියනව. වගකීමක් ඇතුව කියන්නෙ. මොකා මොන කුමන්ත‍්‍රණ කළත් මේක මගේ රට ඔබේ රට මං හොඳ සිංහල බෞද්ධයෙක්. මගේ සිංහල කමයි බෞද්ධ කමයි වෙන්දේසියෙ දාන්න කාටවත් දෙන්නෙ නෑ. මට ඔබ දුන්නු මන්ත‍්‍රීකම 2016 වෙනකම් තියෙනව. ජනාධිපතිතුමා දුන්නු ඇමැතිකම ජනාධිපතිතුමා මේ රාජාසනයේ ඉන්නකම් ඒක වෙනස් වෙන්නෙ නෑ කියන පණිවුඩයත් මං කියනව.’’

    මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් කකුල් දෙක කඩා දැම්මේ කවුරුන්ද යන්න මෙම ප‍්‍රකාශය අනුව අද හෙළිදරව් විය. අනෙක් පසින් පෝද්දල ජයන්ත ජිනීවා පැත්ත පළාතක හෝ ගිය අයෙක් නොවේ

    කොළඹ පී-සරවනමුත්තු ක‍්‍රිකට් ක‍්‍රීඩාගංනය යනු අද මරාවාදීන් විසින් දේශද්‍රෝහියෙකු යැයි ලේබල් ගසන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුගේ සීයා විසින් ලංකාවේ ¥ දරුවන්ට පරිත්‍යාග කරන ලද ඔහුගේ පුද්ගලික දේපොලක් බව ජනතාව විසින් දැන ගත යුතුය

    මෙම කතාවලින් අද ශ‍්‍රී ලංකාවේ පවතින්නේ ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවක් නොවන බවත් සම්පූර්ණ මිනීමරු කණ්ඩායමකගේ ඒකාධිපතිත්වයක් බවත් මුළු ලොවටම පැහැදිලි වනු ඇත

    ^,xld
    B ksõia -2012’ud¾;=’23” fm’j’8’30& ñkSure rdcmlaI wdKavqfõ uyck
    iïnkaO;d weue;s u¾úka is,ajd úiska udOHfõ§ka fofofkl= jk iqkkao foaYm%sh
    fmdaoao, chka;f.a iy udkj ysñlï l%shdOrhka fofofkl= jk wdpd¾h mdlHfida;s
    irjkuq;a;= iy kS;s{ ksu,ald m%kdkaÿ f.a w;mh m%isoaêfha lvd ouk njg wo
    lsßn;af.dv uyck;dj bÈßfha ;¾ckh flfdaIkhl§ Tyq fufia .=.=f<ah'

    zzfï rgg w; ;shkak ldgj;a nE ux lK.dgq fjkjd wfma rfÜ fmlks je, lmmq mdyrfhda
    iqkkao foaYm%sh, ksu,ald m%kdkaÿ, fmdaoao, chka;h" fmdoao, chka;h
    ,xldfjka uu tf<õfj' wo ux m%isoaêfh lshkafk' W! .sfh ux ksid' ;j tflla
    bkakj mdlHfida;s' uqx ;uhs ðkSjd .sys,a, fï rgg úreoaOj idlals ÿkafk'
    m%isoaêfh lshkafk fïl odkak' f;dms ug wyqfjkak ,xldfj ysáfhd;a f;dfma w; mh
    m%isoaêfha lvk tld ;uhs u¾úka is,ajd lshk tl lshkj' j.lSula we;=j lshkafk'
    fudld fudk l=uka;%K l<;a fïl uf.a rg Tfí rg ux fyd| isxy, fn!oaOfhla' uf.a
    isxy, luhs fn!oaO luhs fjkafoaisfh odkak ldgj;a fokafk kE' ug Tn ÿkakq
    uka;%Slu 2016 fjklï ;sfhkj' ckdêm;s;=ud ÿkakq weue;slu ckdêm;s;=ud fï
    rdcdikfha bkaklï tal fjkia fjkafk kE lshk mKsjqvh;a ux lshkj'ZZ

    udOHfõ§ fmdaoao, chka; meyerf.k f.dia ll=,a fol lvd ±ïfï ljqrekao hkak fuu
    m%ldYh wkqj wo fy<sorõ úh' wfkla miska fmdaoao, chka; cskSjd me;a;
    m<d;l fyda .sh wfhla fkdfõ

    fld<U mS-irjkuq;a;= l%slÜ
    l%Svd.xkh hkq wo urdjd§ka úiska foaYfødaysfhl= hehs f,an,a .ik wdpd¾h
    mdlHfida;s irjkuq;a;=f.a iShd úiska ,xldfõ ¥ orejkag mß;Hd. lrk ,o Tyqf.a
    mqoa.,sl foafmd,la nj ck;dj úiska ±k .; hq;=h

    fuu l;dj,ska wo Y%S ,xldfõ mj;skafka YsIaG iïmkak wdKavqjla fkdjk nj;a
    iïmQ¾K ñkSure lKavdhulf.a taldêm;s;ajhla nj;a uq¿ f,djgu meyeÈ,s jkq we;