ජේවීපීකාරයො මැරුවේ තමන් බවත් ‘ප්‍රා’ නැමති සංවිධානය තමන්ගේ බවත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් පසුගිය දා, ශ්‍රීලනිප බෙලිඅත්ත ආසන සංවිධායකධූරය ලබාගත්, හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසන වීඩියෝවක් මේ දිනවල සමාජජාල අතර හුවමාරු වෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂගෙ කීකරු ගෝලයෙක් වන එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නම් කුප්‍රකට චරිතය විසින් 2014 දෙසැම්බර් 21 වන දින වීදියේ විරෝධයේ කණ්ඩායමට හම්බන්තොටදී පහර දුන්නේ ය. රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි විදීයේ විරෝධය කණ්ඩායමේ ජයතිලක බණ්ඩාර, සම්පත් සමරකෝන්, පිලිප් දිසානායක, ප්‍රසංග ප්‍රනාන්දු ඇතුලු පිරිසට සහ හම්බන්තොට නගරසභාවේ හිටපු විපක්ෂනායක අයුබ් ඛාන් මහතාට, ආයුද සන්නද්ධව පැමිණි එරාජ් ඇතුලු පිරිස දරුණු ලෙස පහර දුන්නේ ය.

ඒ පහරදීමට එරෙහිව මේ වන විට හම්බන්තොට අදිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර එරාජ් ප්‍රනාන්දු මේ වන විට ඒ සම්බන්ධයෙන් සමාව ගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටි.

එපමණක් ද නොවේ, රාජපක්ෂ ආණ්ඩු සමයේ හම්බන්තොට වරායේ සහ ගුවන්තොටුපලේ නිරීක්‍ෂණ චාරිකාවක ගිය අජිත් පී පෙරේරා ඇතුලු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසට පිස්තෝලයක් රැගෙනවිත් තර්ජනය කල එරාජ් ප්‍රනාන්දු පසුව කියා සිටියේ තමන් අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයක් බවයි.

මෙසේ ඉතාමත් ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු, දේශපාලන සමාජයට මෙන්ම ජන ජීවිතයට ද තර්ජනයක් ව ඇති එරාජ් ප්‍රනාන්දු ට ‘යහාපාලනයේ‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රීලනිප යේ බෙලිඅත්ත ආසනයේ සංවිධායක ධූරය පිරිණැමුවේය. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව රාජපක්ෂ රේජීමය වෙනුවෙන් පෙනී සිටි එරාජ් සංවිධායක ධූරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ලබා ගැනීමෙන් පසු පවසා සිටියේ තමන් ඕනෑම අවස්ථාවක රාජපක්ෂවරුන්ට තමන්ගේ සංවිධායක ධූරය පිරණෑමීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එරාජ් ගේ එම ප්‍රකාශය ඇසුනේ දැයි අපි නොදනිමු.

දැන් නැවත වරක් ප්‍රසිද්ධියේ සිදුකරනු ලබන මෙවැනි බිහිසුණු ප්‍රකාශයන් හමුවේ යහපාලන ආණ්ඩුව එරාජ් සම්බන්ධයෙන් ගන්නා පියවර නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විශ්වාසය තබන පුරවැසියන් විසින් ඉතාමත් ඕනෑකමින් යුතුව බලා සිටිනු ඇත.

එසේම දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සංවිධායක ගැන සිරිසේන ජනාධිපතිවරයා කුමක් කියන්නේ දැයි පුරවැසියන් විමසිල්ලෙන් පසුවනු ඇත.