“ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිණිතියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුළ පිටිපස්සට ගන්නේ නැහැ. ජේ. ආර් ජයවර්ධන බලයට පත් උනාට පස්සේ, පොළිස් විශේෂ කාර්ය බලකායක් හදලා තමයි කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය සිදු කළේ. වසර 30ක් ගිහිල්ලත් මේ සමූහ ඝාතනයට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. කිසිදු අධිකරණයක් මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න මැදිහත් වෙලා නැහැ. ඒ නිසා අපි තවදුරටත් රට තුළ අධිකරණය ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකින් මෙවැනි ඝාතන සිදු කල ඝාතකයින් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කළ යුතුයි කියලා.“


දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන පුෂ්පලිංගම් මහතා අද(28) කොක්කඩිචෝලෙයි පැවති සිහිකිරීම් වැඩසටහනේ දී පැවසීය.



‘කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනයට වසර 30ක් පිරීම මතක් කිරීම සහ සමකාලීන දේශපාලන කථිකාව’
ලෙස නම් කර තිබූ එම වැඩසටහන, කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය සිහිකිරීම සදහා ඉදිකර තිබෙන ස්මාරකය අසල දී පැවැත්වීය. තමිල් අරුසු කච්චි සංවිධානය විසින් එම සිහිකිරීම සංවිධානය කර තිබූ අතර වින්දිත පවුල්වල විශාල පිරිසක් එයට සහභාගී විය.

1987 ජනවාරි 28 සහ ඊට ආසන්න දින කිහිපය තුළ 200කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරන ලද අතර එම ඝාතනයට විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවට අද(28) පැවති 30වන සිහිකිරීමේදී ද ප්‍රකාශ විය.



‘තවමත් දෙමළ ජනයාට සාධාරණයක් නැහැ…‘

”දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකරනවා යැයි කියා, බලයට පත් වූ මේ ආණ්ඩුව මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු දෙයක් කළේ නැහැ. දෙමළ ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මහින්ද ගෙදර යැව්වා වගේ මේ ආණ්ඩුවත් ගෙදර යවන්න දෙමළ ජනයා පෙරමුණ ගන්නවා. අඩුම තරමින් දේශපාලන සිරකරුවන් වත් නිදහස් කළාද? නැහැ.! සුලුතර ජනයාගේ ඡන්දයෙන් බලයට පත් වූ මේ ආණ්ඩුව දැන් සුලුතර ජනයාට සලකන්නේ පහත් විදිහට” එම අවස්ථාවට සහභාගී වූ තමිල් අරසු කච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි නිර්මලනාදන් පැවසීය.

අද පැවති එම සිහිකිරීමේ වැඩසටහන ‘විකල්ප‘ වෙබ් අඩවිය සිය ට්විටර් ඔස්සේ සජීවීව විකාශය කරන ලද අතර එහි වීඩියෝ දරශණ සහ ඡායාරෑප පහතින් දැක්වේ.

සම්පත් සමරකෝන්(කොක්කඩිචෝලේ සිට..)