‘මට වෙඩි තියන්න, නමුත් කරුණාකර මගේ දරුවන් මරන්න එපා’ යනුවෙන් කිලිවෙඞ්ඩි, කුමාරපුරම් හිදී සිය නිවස ඉදිරිපිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කාන්තප්පුඩි කමලාදේවි ඇගේ දෑත් හිසට උඩින් ඔසවා දිගුකර ආයාචනය කළාය.

2017 පෙබරවාරි මස 11 වන දින, 58 වෙනි සහ දෙහිවත්ත කඳවුරු, සහ කිලිවෙඞ්ඩි මුරපොළ යන මේවාට අයත් හමුදා භට පිරිස් විසින් කුමාරපුරම්හි දී ද්‍රවිඩ ගම්වාසින් 26 දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ 21 වන වසර අනුස්මරණය සිදු කෙරුණේය. ඝාතනය වූවන් අතර කාන්තාවන් සය දෙනෙක්, පිරිමින් පස් දෙනෙක් සහ ළමයින් 13 දෙනෙක් (වයස අවුරුදු 18 ට අඩු) වූහ. එමෙන්ම ඝාතනයට ලක්වූවන් අතර ගැබිණි කාන්තාවක් සහ මරාදැමීමට පෙර හමුදා පිරිස් කණ්ඩායමක් වෙතින් සමූහ-දූෂණයට ලක් වී යැයි කියන 15 හැවිරිදි දැරියක් ද වූහ. අනෙකුත් ගම්වාසීහු 26 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.

1996 වසරේ පෙබරවාරි 11 වන දින සිය නිවෙස් දෙසට වෙඩි ශබ්ද එන බව කුමාරපුරම් හි ගම්වැසියන් හට ඇසෙන විට වේලාව සවස පහට පමණ විය. ”මුලදී අපි බයවුණේ නැහැ. මොකද හමුදාව සමග දින කිහිපයකට පෙර තිබූ රැස්වීමකදී ඔවුන් අපට පැවසුවා වෙඩි ශබ්ද ඇසුණොත් කලබල නොවන ලෙසත්, ඔවුන් කුරුල්ලන්ට වෙඩි තියන බවත්, එමනිසා ඉන්න අන්දමට ඉන්න. අපට හානියක් වෙන්නේ නැහැ” යනුවෙන් කාන්තප්පුඩි පිරපරානි(36) පැවසුවාය. වෙඩි ශබ්ද කිට්ටුවෙන් ඇසෙන්නට පටන් ගත්විට, ඇගේ මව ඔවුන්ගේ නිවස තුළට දිවයන ලෙස ඇයට කෑ ගසා කීවාය. අනෙකුත් ගම්වැසියන් ද රැකවරණය පතා එහි පැමිණ සිටියහ. බිත්තියේ පැල්මකින් එබී බැලූ විට, නිල ඇඳුමින් සැරසුණු හමුදා පිරිස් විශාල කණ්ඩායමක් ඔවුන්ගේ නිවස දෙසට එනු ඔවුන් විසින් දක්නා ලදී. හමුදාව ඔවුන්ගේ නිවසට පිටතින් සිට ඔවුන්ට පිටතට පැමිණෙන ලෙස කෑ ගැසූ විට, පිරපරානිගේ මව සිය දරුවන් බේරාගැනීමට උත්සාහ දැරීමට පිටතට දිව ගියා ය. ඇයගේ මව මරා දැමීමෙන් පසු, හමුදාව නිවස දෙසට වෙඩි තබා ඇතුළත සිටි බොහෝ දෙනෙකුට තුවාල කළහ. මොවුන් අතර වසරක ළදරුවෙක් ද විය.

තන්කවේල් මරුදයි(71) ”මගේ සැමියා වැඩ ඇරී නිවසට පැමිණියා පමණයි. මම ඔහුට තේ සූදානම් කරමින් සිටින විට, අසල කඳවුරක කෝප‍්‍රල් කපිල නමින් අපි හොඳින් හඳුනන හමුදා නිලධාරියෙක් සහ තවත් නිලධාරියෙක් පැමිණ අපේ නිවස පිටත සිට මගේ සැමියාට අඩගැසුවා. මගේ සැමියා වඩු කාර්මිකයෙකු බැවින්, කපිල නිතරම පැමිණ යම් යම් දේ අඵත්වැඩියා කර ගැනීම හෝ සාදා ගැනීම කළ නිසා, අපි ඔහුව හොඳින් දන්නවා” යනුවෙන් පැවසුවාය. ඇය පිටතට ගොස් ඇගේ සැමියාට අඬගසන්නේ මන්දැයි ඇසූ විට, ඔවුහු ඇයට කෑ ගසා නිවසට වෙඩි තැබූහ. නිවස තුළ සිටි ඇගේ සැමියා වෙඩි වැදී දින 15 කට පසුව රෝහල් ගතව සිටියදී මිය ගොස් තිබිණි. ඇයගේ නිවස තුළ සැඟවී සිටි අනෙකුත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් පියෙක් සහ දස හැවිරිදි දරුවෙක් වෙඩි වැදී එතැනම මිය ගිය බව ඇය සිහිපත් කළාය.

දෛනික වැටුප් උපයන්නෙකු වූ අරසරතම් නාගරාසා, කුඹුරු වැඩ හමාර කර ආපසු පැමිණ, 58 වෙනි සැතපුම් කණුව අසල දියනෑම සඳහා ගියවිට, ඔහුගේ ගම දෙසින් වෙඩි ශබ්ද ඇසී ඇත. ඔහු වහා නිවසට දිව ගිය විට අනෙකුත් ගම්වැසියන්ගෙන් ඔහුගේ නිවස පිරී තිබෙනු දැක ඇත. ඔහුගේ නිවස තුළ 18 දෙනෙක් පමණ ආරක්ෂාව පතා පැමිණ සිටින බව පසුව ඔහුට පවසා ඇත. ”වෙඩි වරුසාවක් වගේ වැටෙනවා අපට දිගටම ඇහුණ නිසා අපි පිටතට ඒමට බොහෝ සේ බියවුණා. බිත්තියේ තිබූ පැල්මකින් අපි දුටුවා හමුදා පිරිස් සතරදෙනෙක් අපේ නිවස දෙසට එන බව. ඔවුන් නිවස වෙතට පැමිණුන පසු පිටත සිට ”පර දෙමලූ , ල එළියට වරෙන්!” යනුවෙන් කෑගැසුවා”. ඔවුන් කිිසිවෙක් පිටතට නොගිය විට, හමුදා පිරිස් නිවසෙහි ටකරන් තහඩු දමා සාදා තිබුණු බිත්තිය හරහා වෙඩි තැබුවේය. ”එක් වෙඩිල්ලක් මගේ වම් ඇස පසාරු කරගෙන ගොස් දකුණු ඇස හරහා පිටවුණා. මගේ අසල්වාසීන් මාව අසල තිබූ ඩිස්පැන්සරියට ගෙනයාමට උත්සාහ දැරූ නමුත්, යන අතරතුර, නැවත වෙඩි තබන ශබ්දය ඇසුණු බැවින්, අපි අසල තිබුණු නිවසකට දිව්වා. එහිදී මට ආරංචි වුණා මගේ බිරිඳට සහ පුතාට වෙඩි තබා ඇති බව. නමුත් ඒ අවස්ථාවේදී මට සිහිය යන එන ගතියෙන් තිබුණ බැවින් ඔවුන් පැවසුවේ කුමක්දැයි මට සම්පූර්ණයෙන් තේරුණේ නැහැ” යැයි ඔහු සිහිපත් කළේය.

”කිලෝමීටර් එකක පමණ දුරින් මට වෙඩි තබන ශබ්දය ඇසුණා. නමුත් නිතරම වෙඩි ශබ්ද ඇසෙන නිසා ඒ වෙලාවේ දී මම එතරම් සැළකුවේ නැහැ. වෙඩි ශබ්දය ලංවන විට මම අසල පිහිටි නිවසකට දිව්වා. හමුදාව නිවස පිටතට ඇවිත් අපිට පිටතට පැමිණෙන ලෙස කෑගැසුවා. අපි කිසිවෙක් පිටතට නොගිය විට, ඔවුන් දොරට පයින් ගසා දොර ඇරගෙන ඇතුළට විත් අපිට වෙඩි තිබ්බා. කාන්තාවක් වෙඩි වැදී මිය ගියා. මගේ සැමියාගේ බඩට වෙඩි තිබ්බා. තව කෙනෙකුට තදබල ලෙස තුවාල වුණා. ඔවුන් පරීක්ෂා කිරීමට නැවත පැමිණෙන විට, අපි සියළුදෙනාම බිම වැටී නොසෙල්වී සිටියා. එවිට අපිත් මැරී ඇති බව ඔවුහු සිතාවි”

යනුවෙන් නඩරාසා තවමණී (50) ඇගේ බියසුළු අත්දැකීම ගැන පැවසුවාය.

තවමණීගේ සොහොයුරා මාර්ගය අසළ කඩයක් දමා තිබුණි. කඩය තුළ සිටි අයට දුවන්නට කී විට, ඇගේ සොහොයුරා ඔහුගේ දරුවන් සමඟ ඇයගේ නිවසට දිවගොස් ඇත. ”බඩට වෙඩි වැදී ලේ ගලමින් බිම වැටී සිටි මගේ සැමියා ඔහුව රෝහලට ගෙන ගොස් බේරාගන්නා ලෙස මගේ සොහොයුරාට කන්නලව් කළා. තවමත් පිටත වෙඩි තැබීම් තිබුණු බැවින් මගේ සොහොයුරාට ඔහුව රැගෙන යාමට බැරි වුණා. මගේ සැමියා පැය දෙකකට පසු මියගියා,” යැයි ඇය කඳුළු පිරි දෙනෙතින් සිහිපත් කළාය.

අරුමයිත්තුරෙයි පුවේන්දිනී (1996 දී ඇයගේ වයස අවුරුදු තුනක් පමණි) සහ ඇගේ වැඩිමහල් සොයුරිය පි‍්‍රයා (එවිට වයස අවුරුදු 7 ක් වුවාය) ඔවුන්ගේ ගැබිණි මව ඝාතනය කිරීම ගැන විනාශකාරී කතාව බෙදා හදා ගත්හ. සෙබළුන් ඔවුන්ගේ නිවසෙහි දොර කඩා දමා වෙඩි තබන විට මාස නවයක ගැබිණියක් වූ ඔවුන්ගේ මව පුවේන්දිනීවද දෑතට ගෙන නැගිට සිටියාය.

”ඒ වනවිට මාස නවයක ගැබිණියක් වූ අපේ අම්මාගේ බඩට වෙඩි තබා ඝාතනය කළා. ඇගේ අතේ සිටි මගේ සොයුරියගේ පාදයේ ඇඟිලි දෙකක් සහ පාදයෙහි කොටසක් විනාශ වී කැඞී විසිවී ගොස් තිබුණා. අපි සැඟවී සිටි කාමරයේ ගම්වැසියන් සත් දෙනෙක් ඝාතනය කර තිබුණා. අපේ ගැබිණි අම්මා සහ ඇගේ සොහායුරිය, අසල්වාසී ළමයින් තුන්දෙනෙක් සහ ඔවුන්ගේ අම්මා සහ තවත් තරුණ පිරිමි ළමයෙක්. බේරුණේ මගේ සොහොයුරිය, සොහොයුරා සහ මම පමණයි. නමුත් වෙඩි තැබීමෙන් මගේ සොහොයුරියගේ පාදය සහ මගේ සොහොයුරාගේ කකුල දණහිසෙන් පහළට අස්ථිය දිගේ පිපිරී විවෘත වීම නිසා සදාකාලයටම විකෘති වුණා,”

යැයි පි‍්‍රයා කේන්තියෙන් ප‍්‍රකාශ කළාය.

”මට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු ප‍්‍රකාශ කර තිබුණත්, අපට දිවි රැක ගැනීමට වත් අවශ්‍ය තරම් මුදල් නොමැතිව, සැත්කමකට වැය කරන්නේ කෙසේදැ,” යි ඇය සුන්වූ බලාපොරොත්තු සහිතව ඇසුවාය.

කෙසේවෙතත්, බොහෝ ගම්වාසීහු කෝප‍්‍රල් කුමාර නමින් වූ එක් සුවිශේෂි සෙබළෙක් ගැන හොඳින් කතා කළහ. ඔහුද අධිචෝදනා ලබා ඇති අට දෙනාගෙන් කෙනෙක් වන අතර, බොහෝ ගම්වාසින්ගේ ජිවිත බේරා ගැනීමට උදව් කළ බව ඔවුහු පිළිගත්හ. උදාහරණයක් වශයෙන් කිවහොත්, කෝප‍්‍රල් කපිල (තවත් හමුදා සෙබළෙක්) කාන්තාවක් ඝාතනය කිරීමට කිණිස්සක් එළියට ඇද ගත් විට, කුමාර ඔහුව පිටුපසට ඇදීම නිසා, කිණිස්ස බිත්තියේ එල්ලා තිබූ කණ්ණාඩියක් පසාකර ගෙන ගොස් ඇත. ඒ අවස්ථාවේදී බිත්තියෙහි සිදුරක් හරහා තැබූ වෙඩිල්ලකින්, එකොළොස් හැවිරිදි දැරියක් එතනම මියගොස් ඇත.

තවද, හමුදා භට පිරිස් කණ්ඩායමක් වෙතින් 15 හැවිරිදි දැරිය සමූහ-දුෂණයට ලක්වූ අයුරු තමා දුටු අන්දම කුමාර විසින් උසාවියේදී ගම්වැසියන් හට පවසා ඇත. ඔවුන්ගේ කාර්යය හමාර වූ පසු ඇයට පණ තිබුණේ යාන්තමින් නිසා, ඇය එසේ සිටිනු දරා ගත නොහැකිව ඔහු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කළ බවද, තවදුරටත් ඔහු පවසා ඇත. ඇගේ සිරුර ගම්වාසීන් විසින් පසුදින උදෑසන සොයාගෙන ඇත.

මහළු තැනැත්තෙකු වූ කන්නයියා රාමජෙයම්, අප වටා සිටි ගම්වාසීන්ගෙන් යුත් රවුම තුළට වී, එක් එක්කෙනා ඔවුන්ගේ බිය ජනක කතා කොටස් වශයෙන් එළිදක්වන අන්දම නිහඩව බලා සිටියේය. සියළු දෙනා කතාකර අවසන් වූ පසු, ඔවුන්ගේ පුටුද රැගෙන නිවෙස් කරා යනවිට, ඔහු මා වෙතට පැමිණ සන්සුන් හඬකින් මෙසේ පැවසීය.

”එදා මම වැඩට ගමින් පිට ගියා. මම ආපසු ගෙදර එනවිට මෙතන අවුල් ජාලයක් වී තිබුණා. ඒ වන තුරුත් මගේ පුතා මගේ සොහොයුරාගේ නිවසේ සිට ආපසු විත් නොතිබුණ බැවින් මම ඔහු සෙවීමට ගියා. මම මගේ සොහොයුරාගේ නිවසට යන විට මගේ පුතා සහ සොහොයුරා කුඹුරේ මැරී වැටී සිටිනු දුටුවා. ඔවුන් දෙදෙනොවම ඝාතනය කර තිබුණා. එවිට මගේ පුතාගේ වයස අවුරුදු 11 ක් පමණයි. ඔහුගේ නම තමයි කමලේශ්වරන්. කරුණාකර ඔහුගේ නම ලියා ගන්න. ඔහුගේ නම කමලේශ්වරන්.”


සිවිල් සමාජය සහ ප‍්‍රාදේශිය කණ්ඩායම්වල සහාය

ප‍්‍රහාරයෙන් පසුව කුමාරපුරම් හි සිට වහාම පලාගිය ගම්වාසීන් 126 දෙනෙකුට තරුණ හින්දු සංගමය මගින් ආහාර ලබාදී ති‍්‍රකුණාමලයේ නවරත්නම් ශාලාව තුළ රැකවරණය සලසන ලදී. ගම්වාසීන් සිය නිවෙස් කරා ආපසු යාමට සැළැස්වීම පිණිස, තරුණ හින්දු සංගමයේ සාමාජිකයෝ හමුදාව වෙතින් තදබල ලෙස නිරීක්ෂණ සහ බිය වැද්දීම්වලට ලක්වූහ. ඒ ගැන නොතකා, ගමිවාසීන්ට සිය නිවෙස් කරා ආපසු පැමිණීම ආරක්ෂිත බව දැනෙන තෙක්, තරුණ හින්දු සංගමය විසින් ඔවුන් හට ඉඳුම් හිටුම් සපයන ලදී. අනෙකුත් ප‍්‍රාදේශීය සිවිල් සමාජ කණ්ඩායම් ද, තමන්ට ප‍්‍රබල ආරක්ෂක අවදානමක් තිබියදීත්, ගම්වැසියන් හට ඔවුන්ගේ දීර්ඝ අරගලය තුළ සහාය දැක්වූහ. නඩු විභාග සඳහා ප‍්‍රවාහන සහ අදාළ වියහියදම් සැපයීම සහ මෙම දශකයන් ඔස්සේ කේවල් කිරීමේ ව්‍යාපාරය නොනවත්වා ගෙන යාම මෙයට ඇතුළත් වේ. තවද, ප‍්‍රාදේශීය සිවිල් සමාජ කණ්ඩායම්, අධිකරණ නොතීසිවලට ප‍්‍රතිචාර දැක්වීමට පවුල් සොයාගැනීම සඳහා සහාය දීම සහ අධිකරණ සාක්ෂි විභාගවලදී ඔවුන් සංවිධානය කිරීම සහ අදාළ වියදම් සම්බන්ධීකරණය ආදිය සිදු කළහ. මානව හිමිකම් සංවර්ධනය සඳහා මධ්‍යස්ථානය වසර ගණනාවක් පුරා ගම්වාසීන් හට නීතිමය සහාය ලබාදී ඇත.

විසි වසර පුරා අරගලය : අධිකරණ නඩු විස්තර සහ යාවත්කාලීන කිරීම්

කුමාරපුරම් සමූල ඝාතන නඩුව දැනට වසර 20 ක් පුරා දිග්ගැස්සෙමින් මෙම මුළු කාලය පුරා අභියෝගවලින් පිරිී පැවතුණි. දින තුනක් පුරා පැවති 500 කට අධික සෙබළුන් සංඛ්‍යාවක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ සිට, පළමු නඩු විභාග කිහිපය තුළදීම විත්තිකරුවන් ඇපමත මුදාහැරිම, සිදුවී යැයි කියන පරිදි ද්‍රව්‍යමය සාක්ෂි ගින්නෙන් විනාශ වීම,[3]ටැමිල්නෙට්, කුමාරපුරම් සමූල ඝාතන නඩුවේදී ඉදිරිපත් කළ භාණ්ඩ ගින්නෙන් විනාශ වේ – https://www.tamilnet.com/art.html?catid=13&artid=15154 ] සම්පූර්ණයෙන් සිංහල ජූරි සභාවක් පත් කිරීම සහ බහුතරය සිංහල නරගයක් වන අනුරාධපුරයට නඩුව මාරු කිරීම දක්වා අභියෝග පැවතුණි.

සවස 5 සිට පසුදින සවස දක්වා 58 වෙනි සැතපුම් කණුව සහ සේරුනුවර අතර මාර්ගය හමුදාව විසින් කිසිවෙකු හට ගමට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට අවසර නොදී වසා දමා ඇත. ”සවස පහේ සිට පසුදින පාන්දර 3 පමණ දක්වා වෙඩි තබන ශබ්දය අපට ඇසුණා,” යැයි බොහෝ ගම්වාසීහු පැවසූහ.

පසුදින(12) උදෑසන, මුත්තූර් පොලීසිය පැමිණ සියළුම මෘත ශරීර සහ තුවාල ලැබූවන් දැක ගෙන ඇත. ඉන්පසුව උදේ 8.00 ට පමණ, සිද්ධිය වූ ස්ථානයට හමුදාව පැමිණ, තුවාල ලැබූවන් බසයක නංවා සේරුනුවර රෝහලට සහ එහි සිට ති‍්‍රකුණාමලය රෝහලටද ගෙන ගියහ. තවද හමුදාව මෘත ශරීර සියල්ල ට‍්‍රැක්ටරයකට සහ සන්නද්ධ රථයකට පටවා, මුත්තූර් රෝහලට ප‍්‍රවාහනය කළහ. ඒ පසුපස ඝාතනය වූවන්ගේ පවුල් ද, හමුදාව විසින් සපයන ලද බස් රථයක මුත්තූර් රෝහලට ගියහ.

ගම්වැසියන් හට සතිපතා කඳවුරු පිරිසිදු කිරීමට උදව් වීමට සහ හමුදාව සඳහා දර කැපීමට යාමට සිදුවූ බැවින්, ආසන්නව තිබූ කඳවුරු සහ මුරපොළ වල සිටි සෙබළුන් බොහෝදෙනෙක් ඔවුන් නිතර හොඳින් දැක පුරුදු අය වූහ. ”ඔවුන් එකිනෙකාට නමින් කතා කරනු අපි දැක සහ අසා තිබුණ නිසා, අපි ඔවුන් සමහරුන්ගේ නම් ඉගෙන ගත්තා,” යැයි ඔවුහු පැවසූහ. සෙබළුන් ගම්වාසීන් පසුකර යනවිට, ඔවුන්ගෙන් බඩඉරිඟු සහ මඤ්ඤොක්කා ඉල්ලීමට ද පුරුදු වී සිටියහ. ”ඔවුන් කෙරෙහි තිබූ බිය නිසා ඔවුන් ඉල්ලූ ඕනෑම දෙයක් අපි ලබාදුන්නා,” යැයි ගම්වාසීහු පැවසූහ.

ප‍්‍රහාරයෙන් දින තුනකට පසු, අපරාධකරුවන් හඳුනාගැනීම පිණිස මුත්තූර් උසාවියට පැමිණෙන ලෙස ගම්වාසීන්ට දැනුම් දී ඇත. හිස්වැසුම් දාගත් යුද හමුදා පිරිස් 500 ක් පමණ, දින 3 ක් පුරා ගම්වාසීන් ඉදිරියේ පෙරෙට්ටු කළ අතර, විශාල පිරිසක් මධ්‍යයේ තනි අපරාධකරුවන් විසුරුවා එවන ලදී. පෙරෙට්ටුවේදී ඔවුන්ගේ හිස්වැසුම් ඉවත් කරන ලෙස ගම්වාසීහු ඉල්ලා ඇත. ඉන්පසු, ගම්වාසීන් හට 58 වෙනි සහ දෙහිවත්ත කඳවුරු සහ කිලිවෙඞ්ඩි මුරපොළින් සෙබළුන් 8 දෙනෙක් හඳුනාගත හැකිවී ඇත. ”මම එක් සෙබළෙක් ලඟට ගොස්, ඔහුගේ අත තදින් අල්ලා, මගේ මව ඝාතනය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගත්තා. මම සෙබළාගේ අතින් ඇද්ද නිසා, එදින නඩු විභාගය අවසන් වන තුරු මාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා. ඔවුහු මගේ පවුල සහ මිතුරන් ඝාතනය කළා. ඒ වෙනුවෙන් ඔවුන්ට දඩුවමක් නැද්ද?” යැයි පිරපරානි තරහින් විමසුවාය.

”මම පසුගිය වසර විස්ස තුළ මුත්තූර්, ති‍්‍රකාුණාමලය සහ අනුරාධපුර උසාවි වලට විසිපස් වතාවකට වඩා ගොස් තිබෙනවා,” යැයි තවමණී පැවසුවාය.

2016 වසරේ ජූලි මස, සාක්ෂි දීම සඳහා ගම්වාසීන් 108 දෙනෙක් වෙත අධිකරණය විසින් නොතීසි නිකුත් කළ නමුත්, සොයාගෙන ඉදිරිපත් විය හැකිවූවේ 27 දෙනෙකුට පමණි. මෙම නඩුවේ පළමු සාක්ෂි විමසීම් කිහිපය තුළදීම, සෙබළුන් 8 දෙනාටම අධිචෝදනා ගොනු කිරීමෙන් පසු සියළු දෙනාගේම වැඩ තහනම් කර ඇත. මෙම නඩුව විශේෂයෙන් සැළකිය යුතු වන්නේ, නීතිපතිවරයා විසින් අනුරාධුපර මහාධිකරණය තුළ මෙම හිටපු හමුදා පිරිස් එක් එක් කෙනාට එරෙහිව වෙනස් අධිචෝදනා 101 ක් ගොනු කිරිමය. මේ අන්දමින් මෙය අනුරාධපුර මහාධිකරණයේ ඉතිහාසයෙහි අපරාධ නඩුවක මොනයම් හෝ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දිර්ඝතම අධිචෝදනා ලැයිස්තුව බවට පත්විය. මෙම නඩුවෙහි සාක්ෂිකරුවෝ 121[4]සිලෝන් ටුඬේ, කුමාරපුරම් සමූල ඝාතන නඩුවේ සෙබළුන් සයදෙනා නිදහස් කිරීම නීතිපති අනුරාධපුර මහාධිකරණ ජූරි තීන්දුව අභියාචනා කරයි http://www.ceylontoday.lk/print20161101CT20161231.php?id=8507] දෙනෙක් සිටියහ.

වසර 2016, ජුලි 27 වන දින සමූල ඝාතනය සිදුකර විසි වසරකට පසුව, ඉතිරිව හුන් හිටපු සෙබළුන් සය දෙනා (දෙදෙනෙක් ඇප මත සිටියදී මියගිය බැවින්) අනුරාධපුර මහාධිකරණයේ පුර්ණ-සිංහල ජූරියක් මගින් සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙසේ චෝදනාවලින් නිදහස් කළ වහාම, වින්දිතයින්ගේ පවුල් විසින් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සහ නීතිඥ මඩුල්ලක් ඉදිරියේ චූදිතයින් නැවත නඩු විභාගයට ලක්කරන ලෙස නීතිපතිට උපදෙස් දෙන ලෙසට සහ වින්දිතයින්ගේ පවුල්වලට පුළුල් වන්දි ගෙවීමේ ක‍්‍රමයක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති තුමා හට ආයාචනයක්[5] ඉදිරිපත් කරන ලදී.

ඉන්පසු, නීතිපති විසින් අනුරාධපුර මහාධිකරණයේ ජූරිය හිටපු සෙබළුන් 6 දෙනා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. ”විත්තිකරුවන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවලට වරදකරුවන් බව සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති අතර, ඔවුන්ව සියඵ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණයේ ජූරි තීන්දුව, වින්දිතයින් හට කරන ලද පුර්ණ අසාධාරණයකි,[6]” යැයි අභියාචනයේ සඳහන් කෙරුණි.

”පසුගිය විසි වසර තුළ ජනාධිපතිවරුන් තිදෙනෙක් පත්වී ඉවත්ව ගොස් ඇත. චුදිතයින් නිදහස් කොට ඇත. නමුත් අපි තවමත් යුක්තිය බලාපොරොත්තුවෙන් සිටිමු. යහපාලනය රජය පවා අපට කිසිවක් ඉටුකර දී නොමැත. අප හට සිදුවූ දේ ගැනවත් ඔවුන් දන්නේ දැයි අපට සැක සහිතය. ඝාතනයට ලක්වූ අපේ පවුල් සහ මිතුරන් වෙනුවෙන් යුක්තිය සහ ඔවුන්ගේ පවුල්වලට, සහ තුවාල ලැබූවන් හට වන්දි අපට අවශ්‍ය වී ඇත,”

යනුවෙන් එම පවුල් දැඩිව පැවසූහ.

[5]කුමාරපුරම් සමූහ ඝාතන අභියාචනය https://cl.ly/gqDe

[6]සිලෝන් ටුඬේ, කුමාරපුරම් සමූල ඝාතන නඩුවේ සෙබළුන් සයදෙනා නිදහස් කිරීම නීතිපති අනුරාධපුර මහාධිකරණ ජූරි තීන්දුව අභියාචනා කරයිhttp://www.ceylontoday.lk/print20161101CT20161231.php?id=8507

වින්දිතයින්ගේ නම්

1. සුබ්බයියා සේතුරාසා
2. අලූකුරාසා පරමේශ්වරී
3. අලූකයිත්තුරෙයි වල්ලිප්පිල්ලෙයි
4. කිඞ්නන් කෝවින්දන්
5. අරුණාසලම් තංකවේල්
6. සෙල්ලතුරෙයි පාක්‍යරාසා
7. වඩිවේල් නඩරාසා
8. රසේන්දිරන් කරුණාකරන්
9. සන්මුගනාදන් නිදන්දන්
10. රාමජෙයම් කමලේශ්වරන්
11. කාන්තාප්පුඩි කමලාදේවි
12. සිවාක්කොලූන්තු සින්නදුරෙයි
13. සිවපාක්කියම් නිසාන්තන්
14. පාක්කියරාසා වසන්තිනී
15. අමිර්තලිංගම් රැජිනිකාන්ති
16. තංගවේල් කලාදේවි
17. ස්ටීපන් පත්මිණී
18. සුන්දරලිංගම් ප‍්‍රපාකරන්
19. සුන්දරලිංගම් සුබාජිනී
20. කනකරාසා සුවතිරාසා
21. සුබ‍්‍රමානියම් පාක්කියම්
22. විනයාගමුර්ති සුදාකරන්
23. ආනන්දන් අන්නම්මා
24. විජයකාන්ති ලෙඞ්සුමි
25. අරුමයින්තුරෙයි දනලෙඞ්සුමි
26. පවුල අතුරුදහන් නිසා, නොදනී.

මරිසා ද සිල්වා | Marisa de Silva