”මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට සම්බන්ධ නෑ. ඒත් මගේ දරුවාව අරගෙන ගියා. මගේ දරුවට මොනවා වුණාද කියලා මම දැනගන්න ඕන. දැන ගත්තොත් තමයි මට නිදහසේ ඉන්න පුළුවන්. මගේ ළමයා මැරිලා කියලා දැනගත්තා නම්,ෆොටෝ එකක් තියලා පුජා කරන්න පුළුවන්. ඒත් මම දන්නේ නැහැ මගේ දරුවා මැරුණද නැද්ද කියලා. මගේ දරුවා කොහේ හරි පණපිටින් ඇති කියලා මගේ හිත කියනවා. රජය මගේ දරුවාව පණපිටින් ලබා දිය යුතුයි. නැත්නම්, මගේ දරුවට මොකද්ද කරේ කියලා කියන්න ඕන.” යැයි මන්නාරමේ උදයචන්ද්‍රා මව ‘විකල්ප‘ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය. විශේෂයෙන් අතුරුදන් වූවන් සමබන්ධයෙන් පිහිටුවන ‘අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය‘ (OMP) පිළිබදව ද අදහස් දක්වන උදයචන්ද්‍රා මව සදහන් කරන්නේ ‘අතුරුදහන් කරලා තියෙන බවට වන සහතිකයක් අපිට අවශ්‍යයි.‘ නමුත් එම සහතිකය මරණ සහතිකයක් නොවිය යුතු බව ඇය ප්‍රකාශ කරයි.

ඇය තවදුරටත් මෙසේ පවසයි…

මන්නාරමේ අතුරුදහන් වූ අය හොයලා අපි දැන් හෙම්බත් වෙලයි ඉන්නේ. යුද්දේ ඉවර වෙලා දැන් අවුරුදු 07ක් ගෙවිලා ගිහින්. මන්නාරමේ විශාල පිරිසක් අතුරුදහන් වෙලා ඉන්නවා. එයාලව හොයලා දෙන්න කියලා විවිද උද්ඝෝෂණ, උපවාස වැනි දේවල් වැඩි වශයෙන් සිදු වෙන්නේ මන්නාරමේ. ෆාදර් ශර්මාල්ගේ මුලිකත්වයෙන් අපි ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අතුරුදහන් වූවන් ව හොයලා දුන්නේ නෑ, මේ වන තෙක්. ඉතිං ජනතාවට එපා වෙලයි තියෙන්නේ දැන්. කිසිඳු විශ්වාසයක් නෑ.

යහපාලනේ, යහපාලනේ යැයි කියමින් සිටියත් යහපාලනයක් කරනවා කියලා නම් පෙන්නේ නෑ. දවස් 100 ඇතුළත අතුරුදහන් වූ ළමයින්ව හොයලා දෙනවා කිව්වා. දැන් අවුරුදු 2 ක් ගෙවිලා ඉවරයි. තාම හොයලා දුන්නේ නෑ අපේ දරුවන්ව.

ඒ නිසා රජය ගැන අපිට කිසිඳු විශ්වාසයක් නැහැ. තවමත් අතුරුදහන් වූවන් ගැන හිතලා මිනිස්සු කම්පනයකිනුයි ජීවත් වෙන්නේ.

අතුරුදහන් වෙලා නෑ අපේ දරුවෝ. අතුරුදහන් කරා. අතුරුදහන් කළ අපේ ළමයින්ව සොයලා දෙන්න කියලා මංගල සමරවීර අැමතිතුමාගෙන් අපි සෘජුවම ඇහුවා. මම ඇහුවා.

අතුරුදහන් වූවන් වෙනුවෙන් ආයතනයක් ගේන්න එපා කියලා අපි කිව්වා. ඒත් අද ඒ ආයතනය ආරම්භ වෙලා තියෙනවා. අපේ ළමයි අතුරුදහන් වෙලා නැහැ. අතුරුදහන් කෙරුවා. අපේ ළමයින්ව අතුරුදහන් කළ අය පරීක්ෂණවලට කැඳවන්න. කැඳවලා අහන්න ඕන. එතකොටයි අතුරුදහන් වෙලා ඉන්න අපේ ළමයින්ට මොකද වුණේ කියලා දැනගන්න පුළුවන්.

සංහිඳියාව වෙනුවෙන් ආයතන තිබුණත් එවැනි ආයතන වලින් වත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ නැහැ. මෙවැනි තත්වයක් තුළ අතුරුදහන් වූවන් වෙනුවෙන් පවතින කොමිසම පිළිබඳව අපිට විශ්වාසයක් ඇති වෙන්නේ කොහොමද?

අතුරුදහන් කරලා තියෙන බවට වන සහතිකයක් අපිට අවශ්‍යයි. ඒත් එම සහතිකය මරණ සහතිකයක් නොවිය යුතුයි.

මගේ දරුවා අතුරුදහන්. ඒ පිළිබඳව සහතිකයක් තිබුණොත් තමයි ඒ වෙනුවෙන් රජය සමඟ සාකච්ජා කරන්න සහ ප්‍රශ්න කරන්න මට පුළුවන් වෙන්නේ. මගේ දරුවා ව අතුරුදහන් කළ බවට වන සහතිකයක් අවශ්‍යයි මට. ඒත් එය මරණ සහතිකයක් නම් මම එය පිළිගන්නේ නැහැ. ඒත් සැකයක් තියෙනවා දැන් ඔය දෙනවයි කියන සහතිකය මරණ සහතිකයක් වෙයිද කියලා.

අතුරුදහන් කරලා තියෙන අයගේ ලිපි 14,000 ක් දැනට දීලා තියෙනවා. ඒ හැම එකක්ම නෙමෙයි 10 දෙනෙක් වත් සොයලා දෙන්න අපිට. එසේ නොකර කොහොමද අපිට විශ්වාසයක් ඇති වෙන්නේ?

කොපමණ ව්‍යාපෘති කළත් අපිට වැඩක් නැහැ. අපිව රවට්ටන්න කරන ඒවා වගෙයි පෙන්නේ. මේ වෙනුවෙන් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ. එහෙනම් අපිට වශය වෙන්නේ ජාත්‍යන්තර විසඳුමක්. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අපිට ඕන. ඒත් ඒ පරීක්ෂනය තුළ පීඩිත පන්තිය නියෝජනය විය යුතුයි.

සිංහල අයගෙනුත් ඕන තරම් හොඳ අය ඉන්නවා.

ජාත්‍යන්තරය මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුයි. එයාලා අපි ගැන සොයලා බලන්න ඕන. මේ ප්‍රශ්නයට සාධාරණ විනිශ්චයක් ඔවුන් ලබා දෙන්න ඕන.

ළමයි ඇති කරගත් අම්මලාට වඩා දුක් විඳින්නේ ස්වාමි පුරුෂා නැති කර ගත් බිරින්දෑවරු. වැන්දඹු කාන්තාවන්ට රජයෙන් මේ වනතෙක් කිසිඳු දෙයක් සිදු කරලා දීලා නැහැ. ඒ මිනිස්සු පුදුම විදිහට දුක් විඳිනවා. මේ හැම දෙයක් වෙනුවෙන්ම අපිට අවශ්‍ය ජාත්‍යන්තර විසඳුමක්. ඕනෑ තරම් සිංහල අය ඉන්නවා අපි වෙනුවෙන් කතා කරන. අපේ දුක තේරුම් ගෙන ඒ වෙනුවෙන් හඬක් දෙන අය ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා අපේ ළමයින්ව සොයලා දෙන්න ඕන.

මගේ දරුවා අරන් යද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි. පරීක්ෂණයකට කියලා අරගෙන ගියා. 2008. 09.18 වෙනිදා. ඊට පස්සේ ඔහුට මොනවා වුණාද කියලා දන්නේ නෑ. මගේ දරුවා වැරද්දක් කරලා නෑ. ඔහු කිසිම දේකට සම්බන්ධ නෑ. ඒත් මගේ දරුවාව අරගෙන ගියා. මගේ දරුවට මොනවා වුණාද කියලා මම දැනගන්න ඕන. දැන ගත්තොත් තමයි මට නිදහසේ ඉන්න පුළුවන්. මගේ ළමයා මැරිලා කියලා දැනගත්තා නම්,ෆොටෝ එකක් තියලා පුජා කරන්න පුළුවන්. ඒත් මම දන්නේ නැහැ මගේ දරුවා මැරුණද නැද්ද කියලා. මගේ දරුවා කොහේ හරි පණපිටින් ඇති කියලා මගේ හිත කියනවා. රජය මගේ දරුවාව පණපිටින් ලබා දිය යුතුයි. නැත්නම්, මගේ දරුවට මොකද්ද කරේ කියලා කියන්න ඕන.

මම අතුරුදහන් වූ අය වෙනුවෙන් පවතින සංවිධානයක ඉන්නවා. දිස්ත්‍රික් 05ක ප්‍රධානියා ලෙසත් කටයුතු කරනවා. අතුරුදහන් වූවන්ගේ ගෙවල් ගණනාවකට ගිහින් තියනවා. ඒ මිනිස්සු පුදුම මානසික පීඩනයක ඉන්නේ. දුක් විඳිනවා.

අපියි මේ රජය ගෙනාවේ. අපි තමයි ගෙවල් ගානේ ගිහින් රජය වෙනුවෙන් කතා කරේ. රජය අපිට පිහිට වෙයි කියන විශ්වාසය, බලාපොරොත්තුව නිසා තමයි අපි එහෙම කළේ. මේ වනතුරු කිසිඳු පිහිටක් ලැබුණේ නැහැ. මින් මතුත් ලැබෙනවා කියන කිසිඳු විශ්වාසයක් නැහැ.

ජනාධිපතිතුමා අපේ දුකට සවන් දිය යුතුයි. ඔහු ඇස් වහගෙනයි ඉන්නේ. ඇයි කියලා අපි දන්නේ නැහැ.
අතුරුදහන් වූවන් වෙනුවෙනුයි අපි ජීවත් වෙන්නේ. පණ පිටින් තවමත් ඉන්නෙත් අපිට සාධාරණ විසඳුමක් අවශ්‍ය නිසයි.

@VIALPA