ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරණමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ.

ඉර්දි බලයෙන් පොලිස් බලයද බණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ හැකි ඥනසාර ආශ්චර්යෙන් ගිනි කණ වැටුනු සිරිසේනයෝද වික්‍රමසිංහයෝද විජේදාසයෝද එකත්පස්ව එහිමියනට දොහොත් මුදුන් දී අනුසාසනා ලබන කල්හි,
එහිමියෝ අධිකරණ ශාලා තුළට කඩා පැන මහත් කළබලයක් ඇති කරමින් අධර්ම දේශණාවක් පවත්වන්නේ විනිසුරු තොමෝ අධිකරණට අපහාස නොකරන සේ බැගැපත් වූ බවත්, ඒ අප සගයකු වූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය අරභයා පැවැත්නා නඩු විභාගය කඩාකල්පල් කිරීමේ මහඟු කාරිය පිනිස බවත් නොලියා සිටිය නොහැක්කේමය.

ඒ මොහොතේම එහිමියන්ගේ අගසව් හිමිවරු බන්ධනාගාර බස් රථ රෝද අවහිර කර මහ මඟ සයන භාවනාවේ යෙදුණු යෙදී සිටි බවත් එකී භාවනාවන්ට අවහිර වන සේ අසළින් ගමන් ගන්නා සන්ධ්‍යා එක්නැළිගොඩ නම් වු අඟනක් දැක තුං නොදකින් යැයි ද ශ්‍රී මුඛයෙන් කෙළ පිඩක් සේ අපහාසකින් පින් වැඩූ බවත් ශ්‍රද්ධාවෙන් යුතුව දක්වම්හ.

එහිමියන්ගේ ආනුභාවය කොපමණ ද යත් මේ කිසිදු ක්‍රියාවක් නිසා හෝ එහිමියන්ට කිසිදු වරදක් සිදු නොවූ අතර යහතින් සුවෙන් වැජඹෙන බවත් පසවනක් ප්‍රීතියෙන් යුතුව සිරසේනයන්ට සහ වික්‍රමසිංහයන්ට සැළකර සිටිම්හ.

තවද කිව යුත්තක් වෙයි. එකල්හිම වචනයෙන් හෝ වරදක් නොකරන්නාවූ අප විමල් වීරවංශ මංත්‍රීවරයාණෝ දූෂණ චෝදනා ලබා අධිකරණයට ඉදිරිපත් කල්හි අවසිහියෙන් කෑ ගැසූ ඒ මහතානන්ගේ අතවැසියකු එවෙලේම සිරගත කරනු ලදුව වහාම දඩුවම්ද නියම කරනු ලැබුණේ අධිකරණයට අපහාස කළැයි කියමින් බවත් හුදී ජනයාගේ සංවේගය පිනිස ලියා තබම්හ.

ඊළඟ වතාවෙහි ඝෝෂාකරවනු පිනිස එහිමියන් කැඳවා ගන්නට හැකිදැයි වංශයෝ විමසා සිටියෝ ඒ එහිමියන්ගේ ඉර්දි බලයෙන් ආශ්චර්ය ඇති කරනු රිසියෙන් යැයි දැනමුත්තෝ වදාළහ.

තවත් වතාවෙක එහිමියෝ අන් ජනයාගේ රැස්වීමකට කඩා පැන මුසල්මාන යතිවරයකුට නොසෑහෙන ලෙස වාග් ප්‍රහාර දේශනාවක් මුදා හළ සේක.

ආණ්ඩුවේ බත්බැලකම කරන මුසල්මාන ඇමැති ගණයා කොතෙක් වෙතත් කටක් හැර එහිමියනට වචනයක් කීමට ආණ්ඩුවක් නොතිබුණ බව මුළු මුළුවල ජනයා පශ්චාත්තාප වූ නමුත් එහිමියෝ සිය ආශ්චර්ය පා විසිර වෙනතක අබ සරණ සේවය පිනිස වැඩියෝය.

අනතුරුව තවදුරටත් සිය ආශ්චර්යය පාන්නේ එහිමියෝ අලුත්ගම නම් දනව්වෙහි චිරාත් කාලයක් වාසය කළ මුසල්මානයන් අබ සරණ යැවූහ. ගිනි බිදුණි. ගිනි තැබුණි. අහස ඒකාලෝක විය. ගේ දොර වැනසුනි. ආශ්චර්යයක්ම වූවෝය. එහිමියන්ට වරදක් නොවූහ.

ඉන් අනතුරුව සිරිසේනයෝද විජේදාසයෝද එහිමියන් කැඳවා ඔබ හිමියන්ගේ ආශ්චර්ය කෙසේ දැයි අනුසාසනා ලබා ගනු රටටම රූප පෙට්ටියෙන් ද පෙන්වූයේ අන් පෘතග්ජනයාට ද ආදර්ශයක් වනු පිනිසය.

යළිත් එහිමියනට කොළම්පුර අධිකරණයට එන්නැයි ධර්මානුකූලව දන්වනු ලදුව එහිමියනට ආශ්චර්යාත්මක ලෙස අසනීපයක් වැළදුණි. අසනීප බවට එවූ කරදාසිය ව්‍යජයක් වුවත් ඍර්දි බලය නිසා වරදක් සිදු නොවු බවත් තුඩින්තුඩ පැතිර යත්දී,
තමන්ට මරණ තර්ජන ඇතැයි අධිකරණයට නෑවිත්ම දිවයිනෙහි ගිනි අවුලවනු පිනිස තමන්ට අවශ්‍ය එක් දිනක් පමණකැයි හනුමා මාධ්‍යක් හරහා තර්ජනක්ද ලියා දැක්වූ අතර,

අස්ගිරිය නම් ශ්‍රී ලංකා බුදුදහමේ එක් මුදුන් මල්කඩක් වන නිකාය මේ ආශ්චර්යයන් ගැන සතුටට පත්ව වැරදි ඇතත් ඥනසාරයෝ අත්අඩං ගුවට නොගත යුතුයැයිද එසේ වුවහොත් මහත් විපතක් ඇති වනු ඇතැයිද බය හිතෙන සංදේශයක් එවූහ.

ඥනසාර හිමියන් වැනිම අයකු රහමෙර පානය කොට බුදුන්ට දෙව්දත් දමා ගැසූ අසැබි වචනයෙන් සතර දිග්බාගය ගඳ ගස්වනු දුටුවෙමියි නාහට නාහන අබිත්ත කොලුවකු ඇසූ කළ ඔය අන්තර් ජාල පජාල බුදුන්ගේ කාලයේ තිබුණාදැයි වදාළ අතරවාරයේම,

තවද එකී අස්ගිරිය නම් නිකාය මහානායක තෙර, ඥානසාර විවේචනය කළ නිසා තමන්ට නොනමින් බැණ වැදී ඇතැයි සිතූ කටකාර අමැත්තකු වන සුදු බංඩා වහාම දණ ගසා සමාව භාජනය කළ බවත් ජනයාට දැන්වූවෝය.

නීතියේ පාලනය ගැනම කටමැත දොඩන සිරිසේනයෝද වික්‍රමසිංහයෝද මුවින් නොබා කල් බලත්දී,
අවසානයේදී අධිකරණයටම ගොස් ඉර්දි බලය පෙන්වමියැයි අධිෂ්ඨාන කොට අප මහා ඥනසාර හිමිපානෝ එහි යත්ම ඇප ලබා දෙන බවට බත්බැල සේවකයෝ වන්දනා කළ සේක. අධිකරණ භුමියෙන් රැස් විහිදුණූ බවත් අහස නීලංකාර වූ බවත් තුඩින් තුඩ පැතිර ගියෝ ය. එසැණින්ම එහිමියෝ යළි පොලිස් කරුණාව ලබා අත් අඩංගුවට ද ඇප නිදහසට වහා හිමිකම් ලබත්දී,
විනිසුරාණෝ මහත් වික්ෂිප්තියට පත්ව මේ මොන නීතියක්දැයි විමසන්නේ යහපාලන පොලිස් නිලදරුවෝ නැසු කන්ව ඇප දෙන්නැයිම කියා සිටියෝය. යහ පාලනය කොතරම් මුල්බැස තිබුණේද යත් විනිසුරාණෝ මෙලෙසද විමසුවේ යැයි අන්තර් ජාලකරුවකු බිය නැතිව ලියා දැක්වූයේ, සාමාන්‍ය සැකකරුවන් වෙනුවෙන් පොලිසිය මේ ආකාරයට ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසා පොලිසියේ ක්‍රියා පිළිවෙත කෙරෙහි අප්‍රසාදය පළ කළ බවත්ය.

මේ වනාහී දසවසරක් නඩු නැතිව දමිළ තරුණයන් සිරගත කරගෙන ඇති සිරිසේන – වික්‍රමසිංහ ධර්මදීපයේයැයි කියූ ජනයාට රාජ්‍ය නොවන සංවිධානකරුවෝයැයි සිරිසේනයෝද විජේදාසයෝද තර්ජනය කළහ.

මේ වනාහී කිතුණු මුස්ලිම් යනාදී ගණනින් සුලුතර ආගමික කොටස් නිරන්තරයෙන් බියට පත් කැරෙන සිරිසේන – වික්‍රමසිංහ ධර්මවීපයේයැයි කියූ මාධ්‍යකරුවනට ගාලු පුරයේ බල්ටි පැටියකු රෑප පෙට්ටියේ බැණ වැදුණහ.

ඥනසාරයන්ගේ ඉර්දි බල ආශ්චර්යය සිරි ලංකාවෙහි බලපවත්වන බැවින් එහිමියනගේ නීතියකට හෝ වරදක් නොවන වගට වග බලා ගැනීමට විජේදාසයෝ ශපත කර ඇතැයි පත් ඉරුකරුවෝ ලියූහ.

එරට කරවන සිරිසේන – වික්‍රමසිංහ දෙබෑයෝ ඥනසාර යනාදී අනේක හිමිවරුනට දොහොත් මුදුන් දී වන්දනා මාන කරන්නේ දැන් දැන් මේ සිරි ලංකාවෙහි ඒ අනුභාවයෙන් සතර මහා දෙව්ලොව පහළ වන පෙර නිමිති පෙනී නොපෙනී යති.

දෙබෑයන්ගේ සාදූ සාදූ හඩින් යහපාලනය පාදූර්භූත වන්නට ආසන්න බව උදේ හවා ස්ත්‍රෝත්‍ර ගායක රාජ්‍ය කුලී ලියන්නෝ ගායනා කරත්දි අප මහා ඥණසාර හිමිපාණෝ ඒ රැස්වළල්ල මැද උලුක්කරගත් සිය මැද ගිල්ල අන්‍ය සහ දුශ්ශිල ජනයාට පෙන්වමින් ඊළඟ ආශ්චර්යයට පැන් වඩමින් සිටින බවත්,

මෙකල්හිම ඥනසාරයන්ගේ බුරුම දේශයේ අතිජාත මිතුරු දේශකයා වූ විරතු නම් මැරවර හිමියකු බුදුදහම කෙළෙසන්නේ යැයි වසරකට දේශනා පැවැත්වීම තහනම් කිරීමට බුරුම දේශයෙහි මහනාහිමිවරු තීරණය කළ බවත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා තබම්හ.

ඒ අතර වාරයේ නව ව්‍යවස්ථාව නව ව්‍යවස්ථාව යැයි කියමින් මෙරට ගැලීලීයෝවරු සාදු හඬ උස්වම නැගූ බවත් නොලියා සිටිය නොහැක්කේමය.

සාදූ සාදූ සාදූ!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya