දණ්ඩ නීති සංග්‍රහයේ අංක 346 සාපාරාධී අඩන්තේට්ටම් කිරීම සහ අංක 486 සාපාරාධී බිය ගැන්වීම් චෝදනා යටතේ වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර නැමති සිවුරුදාරියා ට එම දඩුවම නියම කිරීම සදහා ජූනි 14 දක්වා කල්තැබීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දු කළේය. ඒ සදහා ඇත්තේ තවත් දින 5ක් පමණි.

කෙසේ නමුත් වත්මන් ‘යහපාලන’ ආණ්ඩුවට මුක්කු ගසමින් ඇති ඥානසාරට එැවැනි හෝ දඩුවමක් ප්‍රකාශයට පත්කිරීම සදහා තිබූ ධෛර්යට මෙන්ම අධිකරණය පිළිබද ජනතාවට ඇති විශ්වාසය තහවරු කිරීම පිළිබදව හෝමාගම මහේස්ත්‍රාත්වරයාට අප ගෞරව කළ යුතුය.

කෙසේ නමුත් මේ වන විට ඥාණසාර වරදකරු කර ඇත. නමුත් ජූනි 14වනදා එක්කෝ අදාල වරදට අනුව දඩුවම් නියම කිරීම හෝ අත්හිටවූ සිරදඩුවමක් දීමට හැකියාවක් පවතින බව නීති විශාරදයින් පෙන්වා දෙයි. නමුත් එය එසේ වන්නේ මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය මත බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

එැබැවින් අධිකරණයේ ‘යුක්තිය’ පිළිබද ක්‍රියාවළිය දෙස මේ රටේ පුරවැසියන් බලා සිටින්නේ බලාපොරොත්තු සහිතව බවද ලියා තැබිය යුතුය. ප්‍රකාශ කර ඇති දඩුවම වෙනස් කර ගැනීම සදහා ඥාණසාර විසින්, සිරිසේන ජනපති සහය පතන බවද සැලවෙයි. පසුගියදා ජපාන වේදිකාවේ මුලසුන ද, දුමින්ද දිසානයක ඇමතිවරයාගේ සාකච්ඡාවක ප්‍රධානියෙක් ලෙසද මෑතක සිට යහපාලනය තුළ සැරිසරන ඥාණසාරට එය කර ගැනීම ‘එතරම් කජ්ජක් නොවේ’ යැයි යහපාලනය තුළ සිටින එක් නිළධාරියෙක් ලියුම්කරු සමග කීවේය.

තවද, එකම දින දෙවතාවක් ඇප මත මුදා හල කෙනෙක් වේ නම් ඒ ඥාණසාරය. ඒ යහපාලන ආණ්ඩුවක් පවතින විටදීය. එය ඓතිහාසික තත්ත්වයකි. එය තවත් ලංකාවේ මලකඩ වලින් දිලිසෙන උදාහරණයකි.

දැන් වරදකරු ලෙස ප්‍රකාශ කර ඇති නිසාදෝ ඥාණසාර එකවර බණ දේශනා කරන්නට පටන් ගත් බව පෙනේනට තිබේ. ඒ බව ඥාණසාරගේ අනුගාමිකයන් විසින් ෆේස්බුක් හරහා ප්‍රචාරය කරමින් ඇති සේයකි. එ්ත් සමග ඥාණසාරට සෙත් පතා බෝධිපූජාවන් පැවැත්වීමට ද බොදුබල සේනාව සූදානම් වෙයි. කෙසේ නමුත් ඥාණසාර ප්‍රචලිත වී තිබුණෙ හිංසාව වැපිරීමේ ඡායාරූප සහ වීඩියෝ තුළිනි. සිංහල නොවන ජාතීන්ට සිදුකරන වෛරී ප්‍රකාශණ, පොලිස් නිළධාරීන්ට, දේශපාලන ක්‍රියාකාරීන්ට, මානව හිමිකම් ක්‍රිවාකාරීන්ට ආදී බොහෝ දෙනෙක් ඔහුගේ වෛරී කථනයේ ගොදුරු බවට පත් වූයේ බුද්ධ දර්ශණයේ මූලික හරය ද කුඩු පට්ටම් කරමිනි. නමුත් දැන් ඥාණසාර බණ කියන ඡායාරූප දැමීම ඇත්තටම ඥාණසාරට සහ ඔහුගේ අනුගාමිකයන්ට සුවිශේෂී වූවකි. කෙනෙක්ට පාපයේ උපරිම මොහොතේ දී එැවැනි සිතුවිලි පහළ වීම අරුමයක් නොවේ. තමන් කල හිංසනීය කටයුතු පිළිබද කාටත් වඩා දන්නේ තමන්ය. ඒ බව දැන් ඥානසාරට නැවත මෙනෙහි වෙමින් තිබේද?

පිළලයක්

ඥාණසාර වැන්නන් මේ රටට පිලලයකි. අලුත්ගම ගැටුමට තත්ත්වයන් නිර්මාණය කිරීම ට මූලික වූයේ ඥාණසාර ඇතුලු බොදුබල නඩය බවට නීතිය හමුවේ තවමත් තහවරු නොවුනත් සත්‍ය කවුරුත් දන්නේය. අලුත්ගම/දර්ගා නගර් මුස්ලිම් ජනයාට එරෙහි ඒ බියකරු ප්‍රචණ්ඩත්වයන් සිදුවී මේ මසට වසර 4කි. නමුත් ඒ කිසිවකට වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට බලයේ සිටි රාජපක්ෂ කිසිදු උත්සහයක් ගත්තේ නැත. යහපාලනය ද ඒ ප්‍රචණ්ඩත්වය අවුලුවා ලූ කිසිවෙක් මේ වන විටි නීතිය හමුවට පමුණුවා නැත. ඒ අතර ද ආසන්නම දිගන සිදුකරන ලද ප්‍රචණ්ඩත්වයේ දී ද තැන් තැන් වල රිංගමින් ඒ හිංසන ක්‍රියාවන් සිදු කිරීමට පෙර හිංසකයන් අතර පෙනී සිටියේද නිකමට නොවන වග මුලු ලෝකයාම දන්නේය. නුවර සිදුවීම මෙහෙයවූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන සිටින අමිත් වීරසිංහ නැමැත්තා බැලීමට අනුරාධපුර බන්ධණාගාරයට යන ඥාණාසර ඔහුට ආශිර්වාද කරයි. පසුව එම ඥාණසාරම යහපාලන කාමරවල ළගියි. මේ තත්ත්වය මේ රටේ ජාතීන්ගේ සමගියට ආශිර්වාද කරන සියලුම දෙනා හොදින් තේරුම් ගත යුතුය.

එබැවින් ඥාණසාර ලා සිටිය යුත්තේ පංසල්, යහපාලන කාමර තුළ හෝ ගෙවල් වල නොව සිරගෙවල් වලය. නීතියට අභියෝග කරමින් උසාවිවලය කඩාපනිමින්, සිංහල නොවන ජනයා හිංසාවට පත්කරමින් හැසිරුන, හැසිරෙන ඥානසාරලා සිටිය යුත්තේ සිර ගෙවල්වලය. ‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්කිරීමේ දී බලාපොරොත්තු වූ එකක් නම් ජාතිවාදය අවුලුවමින් රට ගිනි තැබූවන් නීතිය හමුවම පමුණුවා දඩුවම් කිරීමය.

නමුත් දැන් සිදුව ඇත්තේ සිරගෙවල් වල සිටිය යුත්තන් සමග යහපාලන නායකයන් එකට ලැගීමය. මෙයින් සිදුවන අනතුර ඉතා විශාල විය හැකි බව ඔවුන් දැන දැනත් එසේ කරමින් සිටී. ඒ බලයට ඇති කෑදර කම නිසා බව පුරවසියන් දන්නේය. නමුත් මෙවැනි තක්කඩි ක්‍රියා හමුවේ පුරවැසියන්ටත් කළ හැකි කෙන්ගෙඩියක් දැන් මේ දූපතේ තවත් ඉතිර තිබේදැයි ප්‍රශ්ණයකි.

එමනිසා ජූනි 14 වනදා ඥාණාසරට හිමි වන දඩුවම දෙස බලා සිටින්නේ ඥානසාරගෙන් හිංසාවට පත් වින්දියන් පමණක් නොවේ. මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් වෙහෙසෙන සියලුම දෙනා ඒ දෙස ඉතාමත් උනන්දුවෙන් බලා සිටියි. එසේම බුද්ධ දර්ශණය පිලිගන්නා අයද ඒ දෙස බලා සිටින්නේ ඉතාමත් උනන්දුවෙන් වන බවටද කිසිදු සැකයක් නැත්තේ, ‘මේ වගේ අයගෙන් තමයි දැන් බුදුදහම බේරා ගන්න වෙලා තියෙන්නේ’ යැයි අදහසක් පසුගිය කාලයේ දී මතුව ආ නිසාය. එය ද සත්‍යක් බව නොහරහසකි.

එසේම එදින තීන්දුව ‘ලංකාවේ අධිකරණයේ ගෞරවය’ පිළිබද ව වන තීන්දුවක් ද ලෙස යම් අයෙක් සලකන්නේද, එය නිවැරදි ද වන්නේය..