සිංහල, Batticaloa, Democracy, Education, Human Rights, Human Security

උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළෙත් හමුදා නීතිය ක්‍රියාත්මක වෙනවා – සංජීව බණ්ඩාර, අන්තරය

නැගෙණහිර විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල පද්ධතිය අද මුහුණ දී ඇති තත්ත්වය පිළිබදව ‛විකල්ප’, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සැකසිනි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඇතිවෙලා තියෙන තත්වය මොකක්ද?

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මහා සංගමයේ ලේකම් සහෝදරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කරලා තියෙනවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දිගටම ප්‍රශ්නයක් තිබුණා. ඒකට පොලීසිය මැදිහත්වෙච්ච ආකාරය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගතවුණත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල තවමත් හමුදා පාලනයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල ඇතුළෙත් හමුදා නීතිය ක්‍රියාත්මක වෙනවා. ශිෂ්‍යන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ගණුදෙනු කරන්න තියෙන අවස්ථා අඩුයි. විශ්ව විද්‍යාලෙ ඇතුළෙ තියෙන පොලිස් මුර පොළ ශිෂ්‍යයන්ට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පොලීසියන් විසින් ශිෂ්‍යන්ගෙ ප්‍රශ්න වලට වාර කිහිපයකදි මැදිහත් වෙලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට පොලිස් නිළධාරීන් උසුළු විසුළු කරන බව හා අඩන්තේට්ටම් කරන බවට ශිෂ්‍යයෝ ප්‍රකාශ කරනවා. ඒ නිසා පොලිස් මුරපොළ ඉවත් කරන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉල්ලා සිටිනවා. නමුත් ආණ්ඩුව විසින් පොලිස් මුරපොළ ඉවත් කිරීම වෙනුවට ශිෂ්‍ය සංගමයේ ලේකම් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම පොලීසිය බැරිවුණොත් හමුදාව වුණත් යොදවනවා කියලා උසස් අධ්‍යාපන ඇමති කියලා තියෙනවා. ඒ ප්‍රකාශයෙන්ම ආණ්ඩුව මේ විශ්වවිද්‍යාලය පාලනය කරන ආකාරය පිළිබඳව පැහැදිලි අදහසක් එනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල තුළට පොලීසිය හා හමුදාව යොදාගෙන කරන මැදිහත් වීම නතරකරලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිදහසේ ඉගෙන ගන්න වටපිටාව සකස්කරලා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

මෙම ගැටළුව තුළ යම් වර්ගවාදී පසුබිමක් තියෙනවද?

දකුණෙ විශ්වවිද්‍යාල තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ශිෂ්‍යයෝ හිටියා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ ආකාරයට උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාල වලත් සියළු ජාතීන්ට අයත් ශිෂ්‍යයෝ හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. මුල් අවස්ථාවලදි යම් යම් ප්‍රශ්න ඇතිවුණත් ඒවා සාමකාමීව විසඳගැනීමට ක්‍රියාකිරීම පාලකයන්ගෙ වගකීමක් වෙනවා. මම දකින ආකාරයට උසස් අධ්‍යාපන ඇමතිවරයා උත්සාහ කරන්නෙ සිංහල දෙමළ ශිෂ්‍යයන් අතරෙ ගැටුමක් ඇතිකරලා ඒක පාවිච්චි කරල තමන්ගෙ බලය තහවුරු කරගෙන තමන්ට උවමනා න්‍යාය පත්‍රය විශ්වවිද්‍යාල ඇතුළෙ ක්‍රියාත්මක කරන්න. ඒක හරිම පිලිකුල් සහගතයි. ඇත්තටම දෙමළ ශිෂ්‍යයන්ටත් සිංහල ශිෂ්‍යයන්ටත් පොදු ප්‍රශ්න ඇරෙන්න ඒ ජාතීන් දෙක ඇතුළෙ ප්‍රශ්නයක් නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ තියෙනව කියලා මම දකින්නෙ නැහැ. නැගෙනහිර විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලයක මට්ටමට සංවර්ධනය වෙලා නැහැ. නැගෙනහිර විශ්වවිද්‍යාලය ගත්තම ඒක ඉතාම ප්‍රාථමික මට්ටමක තියෙන්නෙ. නැගෙනහිර විශ්වවිද්‍යාලය වල්වැදුණු කැලයක්. අදාල පහසුකම් මුකුත්ම නැහැ. උද්‍යාන සැලැස්ම සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාලයකට ගැලෙපෙන්නෙ නැහැ. අචාර්යවරු හිඟයි. පුස්තකාලය වහිද්දි තෙමෙනවා. පුස්තකාලයට අළුතින් පොත් ලබා දීලා නැහැ. ඒව තමයි ශිෂ්‍යන්ට තියෙන පොදු ප්‍රශ්න. එහෙම නැතුව දෙමළ ද සිංහල ද කියන ප්‍රශ්නය නෙමෙයි.

වර්තමානයේ විශ්ව විද්‍යාල නිර්දේශපාලනීයකරණය පිළිබඳ කතා කළොත්?

විශ්ව විද්‍යාල කියලා කියන්නෙ සමාජය කියන පොදු කුලකයේ උප කුලකයක්. පුද්ගලයා අදේශපාලනය වීමේ ඛේදවාචකයක් සමස්ත සමාජයේම තියෙනවා. ආණ්ඩුව කියන්නෙ ශිෂ්‍යයො දේශපාලනය කරන්න ඕනෙ නෑ කියලයි. ඒකෙ වාසිය තියෙන්නෙ ආණ්ඩුවට. ආණ්ඩුවෙ දේශපාලනය කළාට කමක් නෑ. හැබැයි ආණ්ඩුවට එරෙහි දේශපාලනය කරන්න එපා කියන එක තමයි ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කියන්නෙ. නමුත් උපකුලපතිවරු ආණ්ඩුව එක්ක සෘජුව දේශපාලනය කරනවා. ඒක හොඳයි. නමුත් ශිෂ්‍යයෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව දේශපාලනය කරන එක නරකයි. අපිට අනුව ශිෂ්‍යයො කරන දේශපාලනය තමයි රටට ඕනෙ. මොකද ඒක ජනතාවගෙ දේශපාලන නිසා. නමුත් ඒ වගේ දේශපාලනයකට විශ්ව විද්‍යාලවල ඉඩක් නෑ. දේශපාලනය කිරීම තමන්ගෙ ජීවිතයට කරගන්නා හානියක් විදිහට දකින්න අද ශිෂ්‍යාව පොළඹවලා තියෙනව. අද විශ්ව විද්‍යාල ඇතුළෙ සංවාද කරන්න ඉඩකඩ නෑ. අපි උත්සාහ කළත් සංවාදයක් තියන්න ඒකට අනුමැතිය දෙන්නෙ නෑ. ඒකට විවිධ බාධක පනවනවා. මේ විදිහට සිදුවන ශිෂ්‍යයාගෙ අදේශපාලනිකභාවය තමයි ප්‍රධාන ප්‍රශ්නෙ. ශිෂ්‍යයා දේශපාලනික වුවොත් ශිෂ්‍යන්ට තියෙන ප්‍රශ්න භාගයක් විතර විසඳගන්න පුළුවන්.

බාහිර උපාධි කප්පාදුව සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ කතා කළොත්?

බාහිර උපාධි කප්පාදුව කියන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භයේම කොටසක්. මේ බාහිර උපාධිය කරන විදිහ වැරදියි කියලා අපි ඉතිහාසය පුරාම සටන් කලා. මෙහිදි ආණ්ඩුව සල්ලිත් අරගෙන කිසිම ගුණාත්මක නොවන උපාධියකුත් දෙනවා. විශ්ව විද්‍යාල වල මූල්‍ය අර්බුදය විසඳන්න මුදල් ඉපයීම තමයි ආණ්ඩුවෙ අරමුණ බවට පත්වෙලා තිබුණෙ. විශ්ව විද්‍යාලවල දේපළ, විශ්ව විද්‍යාලවල දේශන ශාලා, විශ්ව විද්‍යාල වල මහාචාර්යවරු බාහිර උපාධි වලදි භාවිතා කරනවා. විශ්ව විද්‍යාලයේ තවත් පිරිසකට ඉගෙන ගන්න ඉඩකඩ තියෙනවා කියලා මේකෙන් තේරෙනවා. එහෙනම් සල්ලි ගන්නෙ ඇයි? ඒක අසාධාරණයි. නමුත් අද ආණ්ඩුව මොකක්ද කරන්න යන්නෙ? අද ආණ්ඩුව බාහිර උපාධි කප්පාදු කරන්න යනවා. මෑතකදි පෞද්ගලික විශ්ව විද්‍යාල පැත්තෙන ඉල්ලීමක් ආවා, විශ්ව විද්‍යාල ඇතුළෙ ඉතා අඩු මුදලට බාහිර උපාධි දෙද්දි පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළාට වැඩක් නෑ කියලා. එතකොට පෞද්ගලික විශ්ව විද්‍යාල වල එම ඉල්ලීම සලකා බලලා තමයි මේ විදිහට බාහිර උපාධි කප්පාදු කරන්නෙ. වර්තමානය වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් බඳවගන්න කට්ටිය අඩු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයට ඉඩකඩ තියෙනව තවත් සීයක් බඳව ගන්න හැබැයි බඳවගත්තෙ නෑ. විද්‍යාපීඨයේ විතරක් ශිෂ්‍යයො සීයක් කප්පාදු කරලා තියෙනවා. මේකෙ අරමුණ මොකක්ද? පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යයන් අද්දවා ගැනීම.

සංජීව බණ්ඩාර
කැඳවුම්කරු, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය