Democracy, Features, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

යුක්තිය සොයා: හමුදා තර්ජන මැද දිවිගෙවන කේපාපිලාවු මිනිසුන්ගේ කතාව

[”මේ ජනතාව අතරින් කාන්තාවන් හය දෙනෙකු තමන්ව පත්කොට ඇති අසාධාරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් සිය මුල් ගම්බිම් ඉල්ලා සිටීමට තැත් කළ අවස්ථාවේ ඔවුන්ව කැඳවූ හමුදා ප‍්‍රධානීන්
ඔවුන්ට තර්ජනය කොට ඇත.සාධාරණත්වය ඉල්ලා ඔවුන් ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ග හේතුවෙන් ‘තියෙන ටිකත් නැති කරගන්නට සිද්ධ වෙතැ’ යි තවදුරටත් ඔවුන්ට අනතුරු අඟවා ඇති බව දැනගන්නට තිබේ. සාමාන්‍ය තත්ත්වය සහ අස්වාභාවික තත්ත්වය හමුදාව සිටීම නිසා ඇති කෙරෙන භීතිය සහ තැතිගැන්වීම ඕනෑම තැනක පෙනෙන්නට තිබේ.”]

v-keeppaapulavaa (16)

කෙපාපිලාවු ප‍්‍රදේශවාශීන්ගේ ජීවිතය සහ කාලය, අනන්ත දුක් ගැහැට පිළිබඳ අධ්‍යයනයකට කියාපු කතාවකි. යුද්ධයේ කුරිරුතම අවධිය අත්දුටු, විටින්විට අවතැන් වීමෙන් බැටකෑ, වැඩිම කාලයක් මැණික්ෆාම් කඳවුරේ හිර වී සිටි ජනතාවකට ඊටත් වඩා වින්නැහියක් නම් තවත් අත්නොවෙනු ඇතැ යි කෙනෙකුට සිතෙන්නට පුලූවන. එහෙත් ඔවුන්ගේ වර්තමාන තත්ත්වය අතීතයටත් වඩා අඳුරු ය. අනාගතය, සහමුලින්ම අවිනිශ්චිත ය.

කෙපාපිලාවු වාසී මේ මිනිසුන්ගේ කතාන්තරය අප සියල්ලන්ටම මතක් කර දෙන්නේ, වාර්ගික ගැටුම මොන විදිහකින්වත් තවම අහවර වී නැති බවයි. ඔවුන් දැන් මුහුණදෙන යථාර්ථය, පශ්චාත්-යුදකාලීන සීග‍්‍ර සංවර්ධනයට සහ පාලක පැලැන්තියේ වාගාලංකාරයට අහස පොළොව සේ වෙනස් ය. අයිතිවාසිකම් කෙසේ දැ යි කිවහොත්…

‘‘රටේ නීති සහ රෙගුලාසිවලට අනුගතව, රටේ ඕනෑම තැනක ඉඩම් හිමිකර ගැනීමට ඕනෑම පුරවැසියෙකුට අනන්‍යසන්තක අයිතියක් ඇත්තේය. කිසිම ආකාරයක බාධාවකියන් හෝ සීමාවකින් තොරව, තමන්ගේ කැමැත්ත පරිදි රටේ ඕනෑම තැනක පදිංචි වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය ඇත්තේය.’’ උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් වාර්තාව (6.104)

මුලතිව් දිස්ත‍්‍රික්කයේ කෙපාපිලාවු ප‍්‍රදේශයේ පිහිටි හමුදාංකය අක්කර දහසකටත් වැඩි ප‍්‍රදේශයක විසිරී පවතී. ඊට අයත් බිම් ප‍්‍රමාණයෙන් වැඩි හරියක්, පෞද්ගලික ඔප්පු තිරප්පු සහිත වාසස්ථාන සහ කෘෂිකාර්මික ඉඩම් ය. මේ ජනතාව මුහුණදෙන සියලූ ප‍්‍රශ්නවල මුල මේ හමුදාංකය යි. මැණික්ෆාම් රැඳවුම් කඳවුර වසා දැමීමට ටික දිනකට පෙර එහි පැමිණි යුද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සහ මුලතිව් දිසාපතිවරයා, මාස දෙකක් ඇතුළත එම මිනිසුන්ගේ මුල් ගම්බිම්වල ඔවුන්ව නැවත පදිංචි කරවන බවට පොරොන්දු වූහ. දැන් මාස තුනකුත් ඉක්ම ගොස් ඇතත් තවමත් පොරොන්දු ප‍්‍රකාරව මේ මිනිසුන්ව උපන් ගම්බිම්වල පදිංචි කරවා නැත. තවමත් ඔවුන් ජීවත් වන්නේ, නන්දිකාදල් කලපුව ආසන්නයේ සීනියමොට්ටෙයි නැමති නිසරු බිමක ය. මෙය, මැණික්ෆාම් කඳවුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු සරණාගතයන් වශයෙන් ඔවුන්ව තාවකාලිකව පදිංචි කැරැවූ ස්ථානය යි.

කෙපාපිලාවු හමුදා මූලස්ථානයේ ගොඩනගා ඇති යෝධ ගොඩනැගිලි අනුවත්, හමුදාව හැසිරෙන ස්වභාවය අනුවත්, මෙම හමුදාංකය පොරොන්දු පරිදි වසා දැමීමක් මෑතක දී සිදුවිය හැකි බවක් සිතාගත නොහැක. සීනියමොට්ටෙයි ප‍්‍රදේශයෙන් වෙන් කර දෙන ලද ඉඩම් කට්ටි, කෙපාපිලාවු පිහිටි ඉඩම්වලට වඩා නිසරු සහ ප‍්‍රමාණයෙන් කුඩා ඒවා ය. මේවා විකල්ප වාසස්ථාන වශයෙන් භාරගන්නා ලෙසට හමුදාව දැන් ජනතාවට බල කරමින් සිටී. මෙසේ අස්වාමී කරනු ලැබීම සහතික කරගනු වස්, මේ පවුල් සඳහා හමුදාව විසින් ස්ථිර නිවාස ද ගොඩනගමින් සිටී. මීට ප‍්‍රතිපක්ෂව, ජනතාවගේ අයිතීන් සහ ආශාවන් පරදුවට තැබිය හැකි කිසිදු ස්ථාවර ගොඩනැංවීමක් නොකිරීමට මානව හිතවාදී සංවිධාන තීරණය කොට තිබේ. මේ ජනතාව අතරින් කාන්තාවන් හය දෙනෙකු තමන්ව පත්කොට ඇති අසාධාරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් සිය මුල් ගම්බිම් ඉල්ලා සිටීමට තැත් කළ අවස්ථාවේ ඔවුන්ව කැඳවූ හමුදා ප‍්‍රධානීන්
ඔවුන්ට තර්ජනය කොට ඇත. සාධාරණත්වය ඉල්ලා ඔවුන් ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ග හේතුවෙන් ‘තියෙන ටිකත් නැති කරගන්නට සිද්ධ වෙතැ’ යි තවදුරටත් ඔවුන්ට අනතුරු අඟවා ඇති බව දැනගන්නට තිබේ. සාමාන්‍ය තත්ත්වය සහ අස්වාභාවික තත්ත්වය හමුදාව සිටීම නිසා ඇති කෙරෙන භීතිය සහ තැතිගැන්වීම ඕනෑම තැනක පෙනෙන්නට තිබේ.

සීනියමොට්ටෙයි සරණාගත කඳවුරේ වෙසෙන සිවිල් ජීවිතයට කෙරෙන හමුදා මැදිහත් වීමේ තරම, මැණික්ෆාම් කඳවුරේ ගත කළ ඉහත දවස් පිළිබඳ කුරිරු මතකය ඔවුන්ගේ සිහියට නංවන්නකි. සමහර ප‍්‍රශ්නවලට මේ මිනිසුන් දෙන ඒකාකාරී පිළිතුරු, ඔවුන් දැඩි නියෝග යටතේ ජීවත් වන බව පෙන්නුම් කරයි. සාමාන්‍ය මිනිසුන්ගේ ආසන්තම ප‍්‍රමුඛතාව වන්නේ, නොමැරී ජීවත් වීමයි. මිනිසුන් අතරේ අසරණ භාවය ජනිත කිරීම, පවතින තත්ත්වය සාමාන්‍යකරණය කිරීම සඳහා ආණ්ඩුව පාවිච්චි කරන සරළ ක‍්‍රමවේදය යි. ඔවුන්ගෙන් නැගෙන හඩ මර්දනය කිරීම සඳහා සාමාන්‍ය හමුදා කණ්ඩායම්, හමුදා බුද්ධි අංශ සහ දාමරිකයෝ විවිධ තලවල ක‍්‍රියාත්මක වෙත්. දාමරිකයෝ විරෝධතාකරුවන් වෙත පෙට‍්‍රල් බෝම්බ දමා ගසති. ලිහිසි තෙල් වීසි කරති. උසස් බලධාරීන් සඳහා ඔත්තු සොයති. මොවුන් අතර සමාදානය රැක දෙන සාමාන්‍ය හමුදාව, ඒ අතරේ ප‍්‍රචාරක වැඩකටයුතු වල නියැලෙති. දේශපාලනික සවිඥානකත්වයක් යාන්තමට හෝ පෙන්වන
කෙනෙකු වෙතොත්, එම පුද්ගලයාව වහාම එතැනින් ඉවත් කිරීම හමුදා බුද්ධි අංශයේ කාර්යයි. උතුරේ සහ නැගෙනහිර මෙය සාමාන්‍ය තත්ත්වය වෙතත්, වන්නියේ දී එය තවත් දරුණු ය. එම ප‍්‍රදේශයේ අස්වාභාවිකත්වය සාමාන්‍යකරණය වන දිනය වැඩි ඈතක නැත. කෙපාපිලාවු ජනතාව සම්බන්ධයෙන් එය දැනටමත් සිදු වී තිබේ.

අතීතයෙන් පාඩම් උගෙනීමට ඇති නොකැමැත්ත

කෙපාපිලාවු පවුල්වලට සළකන ආකාරය මගින් කියාපාන්නේ, ශ‍්‍රී ලංකාව ස්වකීය මුල් පාපය ගැන, එනම්, සුළුජාතික ප‍්‍රජාවන් සමාන පුරවැසියන් සේ සැළකීමට අසමත් වීම ගැන, තවමත් පසුතැවීමකට සූදානම් නැති බවයි. උපන් ගම්බිම්වල ජීවත්වීමට ඇති නිදහස කෙනෙකුගේ මූලික අයිතියකි. මේ අයිතිය අහිමි කිරීම, වාර්ගික ගැටුමට පාර කැපූ එක් ප‍්‍රධාන සාධකයකි. කෙපාපිලාවු ජනතාව සම්බන්ධයෙන් එම වරදම නැවතත් සිදුකිරීම ඉතා අවාසනාවන්ත ය. ඇත්තෙන්ම අප දැන් දකින්නේ අළුත් දෙයක් නොවේ. මිනිස් අයිතිවාසිකම් ප‍්‍රතික්ෂේප කිරීමේ උද්ධච්ච කමේ ප‍්‍රතිවිපාක ශ‍්‍රී ලංකාව දැනටමත් අත්දැක තිබේ.

අද ශ‍්‍රී ලංකාවේ, මීට පෙර කිසි දිනෙක නොවු ආකාරයෙන්, සුළුජාතීන්ගේ තත්ත්වය අනතුරට හෙලමින් තිබේ. රට බෙදීමට එරෙහිව පෙනී සිටින දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා පිරිස්, දෙමළ අරගලයට තුඩුදුන් හේතූන් දැනුවත්වම නොසලකා හරිමින් සිටිති. දෙමළ දේශපාලන නායකයන් ද අළුත් මුලෝපායක් සකසා ගැනීමෙහිලා අසමත් ය. තම ගැලවුම්කරුවන් වන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව යැයි ඔවුන් සළකන බවක් පෙනේ.

එම ප‍්‍රජාව වරක් දෙමළ ජාතිය අතහැරියෝය. නැවතත් ඔවුන් එය කැමැත්තෙන්ම කරනු ඇත. මධ්‍යස්ථ පිරිස් ගින්නට රට බිළිවෙන හැටි නිහඩව බලා සිටිති. ශ‍්‍රී ලංකාව කවදාවත් පාඩමක් උගනී ද? ස්වාභාවික යුක්ති ධර්මය, අගවිනිසුරුවරිය සහ කෙපාපිලාවු ජනතාව උත්ප‍්‍රාසය වන්නේ, එල්.ටී.ටී.ඊ, ග‍්‍රහණයෙන් තමන් විසින් මුදවාගත්තේ යැයි ආණ්ඩුව ආඩම්බරෙන් පාරම්බාන පිරිස වන්නේ ද මේ කෙපාපිලාවු ජනතාවම වීම යි. මෑතක දී, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව ක‍්‍රියාන්විත සැලැස්මක් සකස් කෙළේය. එසේම, ශ‍්‍රී
ලංකාවේ මානව හිමිකම් ඉතිහාසයේ නව උදාවක් තමන්ගෙන් බිහි වෙති යි ද සපථ කෙළේය. යුද්ධය අවසන් වී වසර තුනහමාරක් ගතව ඇති අද පවා කෙපාපිලාවු ජනතාවගේ ජීවිත තුළ අළුත් කිසිවක් සිදුව නැත.

‘‘මට ඕනේ කරන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි. මං උපන් බිමේ මැරෙන්න.’’ සමස්ත ප‍්‍රජාවගේම අසරණ භාවය කුළුගන්වමින් එක් මැදි වියේ මවක් කීවාය. ආපසු ගම්බිම් බලා යාමට ඔවුන් තුළ ඇති ආශාව ආර්ථික හේතු ඉක්මවා යන්නකි. එසේම, එය ජනවාර්ගික-දේශපාලනික දෘෂ්ටිවාදයකට නෑකම් කියන්නක් ද නොවේ. හතර වටේ හමුදා කඳවුරු ගොඩනගමින්, පෞද්ගලික ඉඩකඩම් පැහැර ගැනීම කිසිවකින් යුක්තිසහගත කෙරෙන්නේ නැත. හමුදාව සිදු කරන මේ ඉඩම් කොල්ලය නීති විරෝධී ය. හමුදා මූලස්ථානය වසා දැමිය යුතුව තිබේ. නොඑසේ නම්, වෙනත් ස්ථානයකට ගෙන යා යුතුව තිබේ. තමන්ගේ ගම්බිම්වල නැවත පදිංචි වීමට ජනතාවට ඉඩ දිය යුතුව තිබේ.

ස්වභාවික යුක්ති ධර්මය අනුව, බලවතා සහ දුබලයා අතර හෝ වෙනස් ජනවර්ග අතර වෙනස්කමක් කිරීමට පුලූවන් කමක් නැත. යුක්තියේ ඇස් ඉදිරියේ, අගවිනිසරුවරියත්, කෙපාපිලාවු ජනතාවත් සමානයෝ වෙත්. ස්වාභාවික යුක්ති ධර්මයේ නාමයෙන් තේරීම් කාරක සභාවේ දෝෂාභියෝග යෝජනාව අවලංගු කිරීම ඉල්ලා සිටින්නන්, ඒ උනන්දුවෙන්ම, කෙපාපිලාවු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ද උරදිය යුතුය. අවසානයේ බලන විට, ආණ්ඩුව අගවිනිසුරුවරියට නඩුවක්වත් දුන්නේය. කෙපාපිලාවු ජනතාවට, පෙත්සමක් ඉදිරිපත් කිරීමටවත් වරම් නැත.

එලිජා විසිනි

(සිංහල පරිවර්තනය අනුග‍්‍රහය: ‘යහපාලනය ලංකා’)