[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි]

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව ඝාතනය කිරීමේ සැලසුම් ප්‍රසිද්ධියේ, සජීවීව ප්‍රචාරය කර ඇතැයි වාර්තා වෙයි. රට යන අත වැඩසටහනට දුරකථන ඇමතුම් ලබා දෙමින් එහි පාඨකයන් යැයි කියා ගත් පිරිස් විසින් නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කළ යුත්තේ කෙසේ ද? ඝාතනය කළ යුත්තේ ඇයි? යන්න මෙන්ම ඇයට අපහාස වන අයුරින් විවිද ප්‍රකාශ සිදුකරමින් පැය ගණනාවක් මෙම වැඩසටහනින් අපහාස සිදුකර ඇත. මෙම ‘රට යන අත‘ වැඩසටහන මෙහෙයවා ඇත්තේ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහයි.

කෙසේ නමුත් මෙම හඩ්සන් සමරසිංහ නම් සභාපතිවරයා පසුගිය කාලය පුරාම සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය වේදීන් එල්ල කරමින් ඔවුන්ට අපහාස වන අයුරැන් මෙන්ම වෛරී ස්වාභාවයෙන් එම වැඩසටහන මෙහෙයවනු ලැබූ අවිචාරවත් සභාපතිවරයෙක් බව සිහිබුද්ධියක් ඇති පාඨකයන් දන්නා කරැණකි. විශේෂයෙන් අශිලාචාර ලෙස මෙවැනි සාහාසික ප්‍රකාශයන් සිදු කරන, ජනතාවගේ මුදල් වලින් යැපෙන මෙම නාලිකාවේ සභාපතිවරයාගේ හැසිරීම මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් යහමින් ඇතැයි කියන රාජපක්ෂ පාලනය මෙය අනුමත කරන බවක් පෙනෙන්ට තිබීමත් විශේෂයකි.

ගෝඨාගේ ‘ක්ලීනින් යුනිට්‘ එක?

ඉතාමත් ප්‍රසිද්ධියේ ස්ත්‍රියක් ඝාතනය කිරීමට සැළසුම් කිරීම, අපහාස කිරීම මෙන්ම ‘ගෝඨාබයගේ ක්ලීනින් යුනිට් එකට නිමල්කාව බාර දීම‘ වැනි ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම තුළ රාජපක්ෂ පාලනයේ ෆැසිස්ට් බව දැන් එල්පිටම හඩ්සන් සමරසිංහ නම් ගුවන් විදුලි සභාපතිවරයා විසින් එලි දක්වා තිබේ. එපමණක් ද නොවේ, හෙට අනිද්දා ‘ලොවක් හමුවන රටේ‘ ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂට ක්ලීනින් යුනිට් එකක ඇති බව රජයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙයි. මොකද්ද මේ ක්ලීනින් යුනිට් එක? මොකටද එහෙම එකක්? යන්න දැන් එළිපිටට ම පැමිණ තිබේ. එපමණක් ද නොවේ දැන් සත්‍ය ලෙසම දැන් ‘රට යමින් සිටින අත‘ මෙන්ම සත්‍ය ලෙසම ‘රට යන අත‘ මෙම ප්‍රකාශ වලින් මනාවට පැහැදිලි වෙයි.

මේ තර්ජනයන්, අපහාස කිරීම් පිළිබදව විකල්ප වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, ’’ඊයේ උදෑසන 09.00.ත් 09.30ත් අතර විකාශණය උනු වැඩසටහනට මට සවන් දීමට අවස්ථාවක් ලැබුනා. අසන්නන් කියලා කණ්ඩායමක් 4, 5දෙනෙක් ගේ ටෙලිෆෝන් පණිවිඩවලට මට අසන්න අවස්ථාව ලැබුණා. එක මහත්මයෙක් ටෙලිෆෝන්කරලා ‘මේ නිමල්කා ප්‍රනාන්දුලා වගේ අයව මේ සමාජයේ තියා ගන්න හොද නැහැ. නමුත් ඔවුන්ව විනාශ කිරීමට රජය මැදිහත් වෙන්න ඕන නෑ. ලොරියක් හරි ඒ වගේ වාහනයක් යොදා ගනිමින්, හදිසි අනතුරක් ඇති කරලා ඇයව විනාශ කරන්න ඕන.‘‘ දැන් මෙය දුරකතන මාර්ගයෙන් එන්නේ කාටද හඩ්සන් සමරසිංහ මහත්තයාගේ මේ වැඩසටහනට. ඔහු කිසිසේත්ම මෙය රටේ සාපරාධි අපරාධයක් කිරීම සදහා වාතාවරණයක් සකස් කරන මතයක් හැටියට ඔහු හෙලා දැක්කෙත් නැහැ, ඔහු එය අනුමත කරමින් ‘අන්න, පේනවා නේද….‘ කියලා එයට ඔහු අත්පුඩි ගැසුවා. තවත් එක් අයෙක් මගේ චරිතය ඝාතනය වන අකාරයට මේ මාධ්‍ය හරහාම අදහස් ප්‍රකාශ කළා. කාන්තාවක් ලෙස මට අපහාසයට ලක්වීමට ඔහු එයට ඉඩ කඩ දුන්නා. මේ ගුවන් විදුලිය, මේ රජයේ ආයතනය එය හෙළා දකින්න කටයුතු කළේ නෑ. තවත් මහත්මයෙක් ටෙලිෆෝන් කරලා කිව්වා‘ ගෝඨාබය රාජපක්ෂ මහත්තයාට තියනවලු ක්ලීනින් යුනිට් එකක්. සාමාන්‍යෙයන් හමුදාවේ ක්ලීනින් යුනිට් එකක් තියනවා කියලා හැමෝම දන්නවාලු. ඒ කිලීනින් යුනිට් එකට මාව බාර දෙන්න ඕනලු‘. ….මේ සියලු කරැණු එකතු කෙරැවොත් ඔවුන් කතා කරන්නේ අපරාධයක් කිරීම ගැන. යම් ඝාතන සැළසුම් ගැන. ඉතාමත් විවෘතව රජයේ මාධ්‍ය හරහා. සභාපති තුමාත් ඉන්න තැන.විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් සභාපතිතුමා හෙළා දැක්කෙත් නැහැ. අපරාධයක් නොවිය යුතුයි කියලා කතා කලෙත් නැහැ.’’ යනුවෙන් ඇය විකල්ප වෙබ් අඩවිය සමග ප්‍රකාශ කළාය. ඇය සමග සිදුකල සම්පූර්ණ සාක්ච්ඡාවේ වීඩියෝ සටහන පහතින් පළවේ.