(ඡායාරෑපය, මාධ්‍යවේදීන් සදහා වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබු, කොළඹ ජානකී හෝටලයේ, පාලනාධිකාරයට තර්ජනය කරමින් එම හෝටලය ඉදිරිපිට දමාගොස් තිබූ තර්ජනාත්මක පෝස්ටරය)

“රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් මෙහෙයවන සිවිල් සංවිධාන ඉලක්ක කරගනිමින් සිදුකරන මරණ තර්ජන දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම තර්ජන එල්ල කළ පිරිසට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කර, තම අනුග්‍රහය ඔවුන් වෙත නොමැති බව ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටින බව ඒම නිවේදනය මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පවසා සිටිියි.

#පහත පලවන්ෙන් ඒම සම්පූර්ණ මාධ්‍ය නිවේදනයයි.

[මාධ්‍ය නිවේදනය] 2014 ඔක්තෝබර් 17


මාධ්‍යවේදීනට මරණ තර්ජන කරන ඊනියා “රට රැකගත් දේශප්‍රේමී බලකාය” බුද්ධි අංශයේ අතකොළුවකි

“රට රැකගත් දේශප්‍රේමී බලකාය” නමින් තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් මෙරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් මෙහෙයවන සිවිල් සංවිධාන ඉලක්ක කරගනිමින් සිදුකරන මරණ තර්ජන දැඩි ලෙස හෙළාදකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම තර්ජන එල්ල කළ පිරිසට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කර, තම අනුග්‍රහය ඔවුන් වෙත නොමැති බව ප්‍රදර්ශනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටී.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන්වලට සහභාගී වූ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් පිරිසකට සහතික පත් බෙදාදීමේ උත්සවයක් පසුගිය 15 වැනිදා කොළඹදී පැවැත්වීමට සංවිධානය කර තිබියදී එයට සහභාගී වීමට නියමිතව සිටි සහ එයට සහභාගී වූ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වි ඇති අතර එයට අමතරව අදාළ වැඩසටහනේ සංවිධායකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද තර්ජන එල්ල කර ඇත. මේ ආකාරයට තර්ජන එල්ල වූ අය අතර ජයසිරි ජයසේකර, ජනුර් කිචිලාන් සහ අමදෝරු අමරජීව යන මාධ්‍යවේදීහු වෙති. එයට අමතරව මෙම වැඩසටහනේ සංවිධයක ශාන් විජේතුංගට සහ ආරාධිත දේශකයෙකු ලෙස එයට සහභාගී වූ රාවය උපදේශක කතෘ වික්ටර් අයිවන් මහතාටද තර්ජනාත්මක දුරකථන සහ කෙටි පණිවිඩ ලැබී ඇත.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල කුලුනක් ලෙස ක්‍රියාකරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ට මේ ආකාරයට මරණ තර්ජන එල්ල කරන ත්‍රස්ත කල්ලි රජ කරන රටක ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම තුළින් රජය හා ආරක්ෂක අංශ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනමාධ්‍ය නිදහස කෙරෙහි ඔවුන් තුළ පවත්නා භීතියයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයන්ට වසන් වී මේ ආකාරයට මාධ්‍යවේදීන්ට හා සිවිල් ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල කිරීමට කිසිවෙකුට හැකියාවක් ඇතැයි විශ්වාස නොකරන අපි, ඉතාමත් අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ මෙම “රට රැකගත් දේශප්‍රේමී බලකාය ” ද මේ රටේ බුද්ධි අංශයන්හි රැකවරණය ලබන තවත් රූකඩ ඒකකයක් බවය.

මෙම පුහුණුවට සහභාගී වූ මාධ්‍යවේදීන් රාජ්‍ය මාධ්‍යද ඇතුළුව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සදහා විවිධ ප්‍රදේශවල සිට ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ දිගු කාලයක් තිස්සේ පොදු ජන සේවයක නිරත වූ පිරිසක් වන අතර, එබදු පිරිසකට එල්.ටී.ටී.ඊ ලේබලය අළවමින් මේ ඊනියා දේශප්‍රේමී බලකාය පසුපස සිටින්නන් විසින් කළ අවමානය අපි බලවත් පිළිකුළෙන් හෙළාදකිමු.

එබැවින් අප මේ මොහොතේ රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාදාමයට රජයේ අනුග්‍රහයක් නොමැති නම් මෙවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියත්මක කර, ඒ බව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කරන ලෙසය.

එයට අමතරව නිතිය හා සාමය අගයන සියලු සිවිල් සංවිධානවලින් සහ මහජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මෙවන් ත්‍රස්ත කල්ලිවලට එරහිව අත්වැල් බැඳගන්නා ලෙසය.

එමෙන්ම තමන්ට එරහිව බරපතළ තර්ජන එල්ලවෙමින් තිබෙන පසුබිමක එයට මුහුණදීමට සහ මාධ්‍ය නිදහස උදෙසා පෙනීසිටීම සඳහා පිහිටුවා ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාලයට සහ එහි සියලුම සාමාජිකයන්ට අපගේ සහෝදරාත්මක සුබපැතුම් පිළිගන්වන්නෙමු.

සුනිල් ජයසේකර, සම්පත් සමරකෝන්
කැදවුම්කරු ,ලේකම්