අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය 2014 නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරුදහන් කරන ලද ඇගේ සැමියා වන මධුෂ්කව සොයා ගැනීමට වෙහෙසෙන අතර තුරයි.

අනුරාධපුරේ නව බස්නැවතුම්පොලේ පළතුරු කඩයක් පවත්වාගෙන ගිය ඇගේ සැමියා වන මධුෂ්ක හරිෂ් ද සිල්වා පැහැරගනු ලබන්නේ 2013 සැප්තැම්බර් 02වන දා. ඒ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග ත්‍රීවිලරයකින් එමින් සිටින අතර තුර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මධුෂ්ක අතුලු ඔහුගේ මිතුරන් දෙදෙනා පැහැර ගන්නවා. නමුත් පසුව මිතුරන් දෙදෙනා නිදහස් කළත් මධුෂ්ක ගැන කිසිදු ආරංචියක් අද වනතුරුත් නෑ.

මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය කාලයේදී මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම් වල නියැලුනා. පසුගිය කාලය පුරාම අනුරාධපුර අධිකරනය ඉදිරිපිටත්, පොලීසිය ඉදිරිපිටත් සිය දරුවන් දෙදෙනාද තුරුලු කරන් ඇය මහපාරේ වාඩි වී ඉල්ලා සිටියේ ඇගේ සැමියා මධුෂ්කව හොයා දෙන ලෙසයි. නමුත් ආශ්චර්යමත් රටේ, ආඩම්බරකාර තාත්තාගේ අදිකරණයත්, පොලීසියත් එදෙස බලා සිටියා මිස ඇයගෙන් කිසිදු දෙයක් විමසීමටවත් පැමිණියේ නැහැ. ඒ තරමටම ඒ පද්ධතියම කාලකන්නිවෙලා තිබුණු වකවානුවක්.

නමුත් මයුරිත්, මයුරිගේ සමීපතමයනුත් 2015 ජනවාරි 8න් ඇරඹි නව ආණ්ඩුව පිළිබද බලාපොරොත්තු පොදි බැදන් බලා සිටියේ මධුෂ්ක සොයාගැනීමේ නොසිදිනු අධිෂ්ඨානයෙන්. ඒ අධිෂ්ඨානයත් සමග 2015 මාර්තුවේ දී ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට ඇය සිය දරුවන් දෙදෙනාත් සමග මහමග වාඩි වී සිටියේ ජනාධිපතිවරයාට මේ බව සෘජුවම දැනුම් දීමටයි. නමුත් ඇය පවසන්නේ 2015 මාර්තුවෙන් පසු විවිද අන්දමේ ලිපි ජනාධිපති, අගමැති කාර්යාලයෙන් ලැබුනු බවත්, නමුත් මධුෂ්ක පිළිබද කිසිදු වැදගත් තොරතුරක් නොලැබුනු බවත්ය.

‘මම ජනාධිපති ලේකම් කාර්යාලය ළග වාඩි උනේ මධුෂ්කට සිදුවුනු අපරාධය පිළිබද සාධාරණ පරීක්ෂණයක් පවත්වලා දෙන්න කියලා. එතනිනුත් කල්මරණ ලිපි පමණයි මට ලැබුනේ. ඒ ගැන මට කිසිම පැහැදීමක් නෑ. ඒ ලිපිවල තියනවා මට නිවසක් ලබා දෙනවා කියලා. මම එතන ගිහින් කිව්වේ, මට ඉන්න තැනක් නැතිනම් ගහක් යට ඉන්නවා, කන්න නැතිනම් බඩගින්නේ ඉන්නවා, මම ඉල්ලුවේ මගේ රත්තරං ස්වාමිපුරුෂයා හොයා දෙන්න කියලා‘

යැයි මයුරි ජයසේන ‘විකල්ප‘ වෙබ් අඩවිය හා පැවසීය.

*ඇය හා පැවති සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වෙන අතර 2014 නොවැම්බරයේ ඇයව පැහැරගෙන යාමෙන් පසු ඇය හා පැවති සාකච්ඡාවේ වීඩියෝ පටය සදහා මෙතැනින් පිවිසිය හැකිය.