සති කිහිපයකට පසු ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වන විට රැස් වෙමින් තිබේ. නායකයින් කාර්යය බහුල වීම සහ එකම අවස්ථාවේ සියලුම දෙනා එක් ස්ථානයකට රැස කර ගැනීමට නොහැකි වීම ආරක්ෂක මණ්ඩලය රැස් නොවීමට මූලික හේතුව විය. එසේම යුද්ධය පැවති කාලයේ සතියකට වරක් රැස් වූ ආරක්ෂක මණ්ඩලය වර්තමානයේදී සතිපතා රැස්වීම අවශ්‍යතාවයක් ලෙස සලකන්නේ නැත.

මේ වන විට පවැත්වෙන ජාතික අරාක්ෂක මණ්ඩලයේ ප්‍රධාන මාතෘකා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය සම්බන්ධයෙන් මතු වී ඇති ආන්දෝලනාත්මක තත්වය ඇතුළු කාරණා ගණනාවක් ප්‍රධාන විෂය බවට පත් වී තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකා යුදහමුදාවේ බුද්ධි අංශයේ 2008 – 2009 කාලවලදී කොළඹ දිස්ත්‍රික්කය භාරව කටයුතු කළ බුද්ධි අංශ සාමාජිකයින් දේශීය අසූවකට ආසන්න පිරිසකට අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම් ලැබී ඇත්තේ කටඋත්තරයක් සහ ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහාය. ඉන් ඇතැම් සාමාජිකයින් විශ්‍රාම ගොස් ඇත. ඇතැම් සාමාජිකාවන් ගැබිණි මව්වරුන්ය. ඇතැමුන් තවමත් සේවයේ නිරත වී සිටිති. ඇතැමුන් බුද්ධි අංශයේ සේවය කළා යැයි දන්නේ ආයතනයේ ඉතාම සීමිත පිරිසක් පමණි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පවා ඔවුහු චරපුරුෂයින් ලෙස සේවය කළා යැයි දන්නේ නැත. නමුත්, රහස් තවදුරටත් රහස් නොවේ. මෙම රටාව තුළ “රටේ ඔත්තු සේවය” දෝලනය වන ආකාරය තරමක් ගැටලු සහගතය. අපැහැදිලිය. මේ තුළ විදෙස් රටවල ඔත්තු සේවා වලට මෙරට බඩපිණුම් ගැසීම සඳහා කදිම තෝතැන්නක් තනා දී තිබේ. පකිස්තානයේ රාජ්‍යය ඔත්තු සේවය වන බුද්ධි අභ්‍යන්තර සේවය ( ඉන්ටර් සර්විසස් ඉන්ටෙලිජන්ස් – අයි. එස්. අයි.) මෙරට මෙහෙයුම් වැඩිකොට ඇතිබව වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙරය. මෙය ඉතා බරපතල කාරණයකි. නියෝගය ප්‍රකාරව දිනකට විසිදෙනා බැඟින් කණඩායම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යති. මෙම කාරණය මේ වන විට පැවැත්වෙන ජාතික ආරක්‍ෂක කවුසලයේ ප්‍රධාන මාතෘකා අතර එකකි. අනෙක් කාරණය උතුරේ තත්වය සහ ඊට ඇති දකුණු ඉන්දියානු මැදිහත්වීමයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ වීර වික්‍රම පදක්කම් ප්‍රධාන කිරීමේ උළලේදී, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තම ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සුපුරුදු දේශපාලන ප්‍රකාශයක නිරත වූයේය.මෛත්‍රීගේ වචන වල ගැබ් වී ඇති අපේක්‍ෂාව චිත්‍රණය වන්නේ අනෙකුත් දේශපාලනඥයින් සේම රණවිරුවන් ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කිරීමය.

වචන වලට වඩා වැදගත් වන්නේ ක්‍රියාවන්ය. එනයින් බලන කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවංක වුවමණාවක් තිබෙන බව පැහැදිලිය. නමුත් තනි පුද්ගලයෙකුගේ වුවමණාව ඔහු වටා සිටින අයවලුන්ගේ ආශාව සමඟ නොගැළපීමේදී සිදුවන දේ පිළිබඳ ඉතිහාසය මෙරට දේශපාලනයේ ඉතිහාසය වේ. හොරා නමැති නැට්ටුවාගේ ආශාවට අනුව තම බෙරයේ තනුව වෙනස් කිරීම දේශපාලන බෙරකරුවාගේ ගතිය බවට පත් වී තිබේ. මෙම සාම්ප්‍රදායෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ගැලවිය හැකිද?

සැබවින්ම, මෙරට ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වැරදි අර්ථකතන මෙන්ම දැඩි විවේචන එල්ල වී තිබේ. ඉන් ආරක්ෂක අංශවල සේවය කරන සියලුම දෙනා දුෂිතයින් හෝ වංචාකරුවන් වන්නේ නැත. සෑම රාජ්‍යය ආයතනයක් මෙන්ම ආරක්ෂක අංශද නඩත්තු වන්නේ රටේ මහජනතාව ගෙවන බදුවලිනි. එසේම දේශපාලනික වශයෙන් ප්‍රබුද්ධ සමාජයක් ගොඩ නැගීමේදී රටේ සෑම ක්ෂේත්‍රයක්ම සමාන තත්වයෙහිලා සැලකීම අතිශය තීරණාත්මක වේ. එය අත්‍යවශ්‍යය වේ. විශේෂයෙන් දීර්ඝ කාලීන යුද්ධයකින් පසු පවතින සමාජ ක්‍රමය යහපත් අතර පත්කිරීමෙහිලා වැදගත් වන්නේ මෙම මූලික කාරණය මනා ලෙස අවබෝධකරගෙන පවතින සමාජ තත්වය සකස් කිරීමය.

ජනාධිපති සිරිසේන මහතා රණවිරුන්ට සලකන බව කියන්නේය. ඔවුහු විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සේවය රටට ලබා ගන්නා බව කියන්නේය. මේ අතර තුර පසුගිය කාලය පුරාම, මහත් ආන්දොලනයකට තුඩු දුන්, ඇවන්ට් ගාඩ් සහ රක්නා ලංකා සමාගම් විසින් රටේ ජාතික ආරක්‍ෂාව නමැති විෂය ක්ෂේත්‍රය අළලා සිදුකළ අගතිය වෙනුවට නව මානයක් ලබා දෙන බව කියන්නේය.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු විශ්‍රාම ගැනීමෙන් හෝ සේවා කාලය නිමා කිරීමෙන් පසු ඔවුහු රාජ්‍යය සංස්ථාව යටතේ ක්‍රියාත්මකවන ආයතනයක් ඔස්සේ සේවයට බඳවා ගැනීම වැදගත් වේ. රක්නා ලංකා සමාගමේ මූලික අරමුණ මෙය වුවද, අන්ත දුෂිත සහ ඔලමොට්ටල කළමනාකරණ ක්‍රමවේදය යටතේ එය අසාර්ථක වෑයමක් විය. ඉන් පසු එම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා එහි කොටසක් ඇවන්ට් ගාඩ් වැනි සමාගමක් විසින් ගිල ගනු ලැබීය. එම අත්දැකීම් දෙකෙන් රටට සහ රාජ්‍යය කළමනාකරණයට විශාල පාඩමක් උගන්වනු ලැබීය. අදාළ සමාගම් විසින් රටේ සක්‍රීය ආරක්‍ෂක අංශ බෙලෙහීන කළා පමණක් නොව ඒවායේ සේවයේ නියුතු අන්ත දුෂිත නිලධාරීන් මාර්ගයෙන් එම ආයතන වල ශක්තිය හීන කළේය. මෙය වෙනස් කළ හැක්කේ, සිදු වූ ක්‍රමවේදය තුළ මඟ හරිනු ලැබූ කළමනාකරණ ප්‍රතිපත්ති හඳුන්වා දී ඒවා නිවැරදිව ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලකට නතු කිරීම මඟිනි. මෙවැනි වැඩපිළිවෙලක් නිවැරදිව කිරීමට තරම් රටේ මානව සම්පත සුපෝෂිතය. නමුත් හොරුන් ඊට කැමති නැත.

අවාසනාවට මෙන් බොහෝ දෑ වලින් පෙනී යන්නේ මුහුණු වෙනස් වෙමින් පැවති රටාව එලෙසම පවත්වා ගෙන යන ආකාරය පමණි. මෙහි කදිම නිදසුන, පසුගිය සැප්තැම්බර් 08 වැනි දින, මුදල් අමාත්‍යය රවී කරුණානායක විසින් මහබැංකු අධිපති ආචාර්යය කුමාරස්වාමි මහතාට යවනු ලැබූ ලිපියයි. එහි පිටපතක් මෙහි පලකොට තිබේ. ලිපියේ පරිශීලන අංකය. FM/KADS/E/4093/16.

letter_from_ravi_to_kumar

ලිපිය මඟින්, කරුණානායක, අමාත්‍යය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑණා වන දනුන තිලකරත්නගේ පෞදගලික ආරක්ෂක සමාගමකට මහබැංකුවේ ආරක්‍ෂාව භාර දීමට නියෝග කරනු ලබයි. මෙය අමු අමුවේ යහපාලන මුලධර්ම ඝාතනය කරමින් තම අධිපත්‍යය පතුරුවා හැරීමකි. මුදල් ඇමතිවරයා ටෙන්ඩර් කැඳවා ඇති අනෙකුත් සමාගම් වලට නොසලකා ෆීල්ඩ් මාර්ෂල්ගේ බෑණාගේ සමාගම යැයි හඳුන්වන සමාගමකට මහබැංකුවේ ආරක්ෂාව පැවරිය යුතු යැයි නියෝග කිරීම කෙතරම් විලිලජ්ජ්ජා නැති අප්‍රසන්න කටයුත්තක්ද යන්න වචනයෙන් පැහැදිලි කළ යුතු නැත. ලිපිය දකින ඕනෑම අයෙකුට මොවුන්ගේ ගඳ දැනෙනු ඇත. මෙම ලිපිය සහ එහි අඩංගු වචන මොවුන් නියෝජනය අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය මනාව පැහැදිලි කරනු ලබයි. වසර ගණනාවකින් පසු බොහෝ දෙනකුට ඉතිරු වී ඇත්තේ, අහෝ ෆීල්ඩ් මාර්ෂල් යැයි කියමින් තම ළතෝනිය ප්‍රකාශ කරන නිසදැස් ලියා වියෝව සමනය කර ගැනීම පමණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා යහපාලනය සහ තම නායකත්වය ගෞරවනීය, ප්‍රබුද්ධ සහ ශක්තිමත් නායකත්වයක් කිරීමට බලාපොරොත්තු වන්නේ මෙවැනි මිනිසුන් සමඟ නම්, ඔහු ගමන් කරමින් සිටින්නේ හවුලේ කැඳත් එපා වෙන ශ්‍රී ලංකික අත්දැකීමකටය. නමුත් මෙය ඔහු තේරුම් ගෙන නැතැයි කිව හැකි නොවේ. මන්ද කාටත් කලින් මෛත්‍රී, 2020 වසරේ නියම සටනට වැඩ මේවන විටත් අල්ලා තිබේ. කාටත් ඈතින් තිබෙන සත්‍යය එයයි.

නිලන්ත ඉලංගමුව