Image courtesy Consultation Task Force, submission by VIKALPA

සංහිඳියා යාන්ත්‍රණ සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ ඇතුලත් පිටු 131කින් යුතු වාර්තාව ඊයේ 03(සවස 7ට) කොළඹදී එළිදක්වන ලදි. ලංකාවේ ප්‍රභලතම මෙන්ම ප්‍රමුඛම ගැටලුවට ආමන්ත්‍රණය කිරීම සදහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් පසුගිය ජනවාරියේ පත්කළ මෙම කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව පිළිගැන්වීමට තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටය. නමුත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත එම අවස්ථාවට ජනාධිපතිවරයා සහභාගී නොවූ බව මාධ්‍ය වාර්තා කළේය.

එබැවින්, සත්‍ය, වගවීම, හානි පූරණය සහ නැවත සිදු නොවීම, යන කරුණු 4 පදනම්ව පත්කළ කාර්ය සාධක බලකායේ අවසාන වාර්තාව එහි සභාපතිනී නීතිඥ මනුරි මුත්තේට්ටුවේගම මහත්මිය විසින් පිළිගන්වන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියටයි.

රාජ්‍ය නායකයින් නැතිව පිළිගැන්වීමට සිදුවූ මෙම අතිශය වැදගත් වාර්තාව පිළිගැන්වීමේ නිළ උත්සවය සදහා විදේශ අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂනායක, දෙමළ ජාතික සංධානයේ ආර්. සම්බන්දන් ඇතුලු පිරිසක් සහභාගී විය.

කාර්ය සාධක බලකායේ නිළ ටවීටර් ගිණුම හරහා ඔවුන් කියා සිටියේ ‘CTF තම අවසන් වාර්තාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට පිළිගන්වයි ‘ යනුවෙනි.

එසේම මෙම වාර්තාව පිළිගැන්වීම දිගින් දිගටම කල්යෑම පිළිබද අදහසක් කාර්ය සාධක බලකායේ නිළ ටව්ටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කිරීමත් වැදගත් වේ. එහි එක් ට්විටර්යක සදහන් වූයේ ‘‘(3) කල්යාම තම පාලනයේ නොපවතින කරුණු නිසා බව CTF දැනුම් දෙයි. උත්සවය සංවිධානය කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි..‘‘ යනුවෙනි. එම නිළ උත්සවය සංවිධානය කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බවත් එහි සදහන් විය. එහිම තවත් ට්වීටර්යක දැක්වුණේ ‘‘ඉතාමත් ඉක්මණින් නව දිනයක් තහවුරු කරනු ඇතැයි CTF බලාපොරොත්තු වෙයි.‘‘ මෙසේ ද එහි තවත් තැනක සදහන් විය. ‘‘එසේ නොවෙන්නේ නම් CTF වාර්තාව එළි දක්වනු ඇත.‘‘

දැන් මෙම තත්ත්වයත්, ප්‍රධාන නිළ උත්සවයට රාජ්‍ය නායකියින් සහභාගී නොවීමත් අතර සම්බන්ධය පිළිබද සත්‍ය දන්නේ අප නොවේ. රාජ්‍ය නායකයින්මය.

කෙසේ නමුත්, ලංකාවේ මෙතෙක් පත්කළ කිසිදු කමිටුවක් සිය නිළ වාර්තාව පළමුවෙන්ම ජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කර නැත. උදාහරණයක් ලෙස කටුනායක පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය රොශේන් චානකගේ මරණය ගැන සෙවීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කල මහානාම තිලකරත්න කොමිසම් වාර්තාව, තවමත් නැත. එවැනි තත්ත්වයක් තුළ අතිශය වැදගත් ගැටලුවක් මුල්කරගෙන පත්කල මෙම සංහිදියා කමිටුවේ වාර්තාව ජනතාවට විවෘත කිරීම පිළිබද ‘සංහිඳියා යාන්ත්‍රණ සඳහා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය‘ පුරවැසියන්ගේ ඇගයීමට ලක් වන්නේ ය.

දැන් එම අවසන් වාර්තාවේ විධායක සාරාංශය සහ නිර්දේශ ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ලබා ගත හැකි අතර සම්පූර්ණ වාර්තාව ඉතාමත් ඉක්මනින් බලකායේ නිළ වෙබ් අඩවියට නිකුත් කරන බව කාර්ය සාධක බලකාය ප්‍රකාශ කරයි.

වොක්ස් වැගන් සහ සංහිදියාව

කෙසේ නමුත් සංහිදියා වාර්තාව පිළිගැන් වූ දින දහවල්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත්, වොක්ස්වැගන් නාමය යටතේ වන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් සදහා මුල්ගලතැබීමේ උත්සවයකට සහභාගී වීම සදහා කුලියාපිටියට ගොස් තිබිණි.

සංහිදියා වාර්තාව පිළිගැන්වීමේ නිළ උත්සවය ජනාධිපති කාර්යාලය පාර්ශවයෙන් කල්යාමත්, කෙසේ හෝ සංහිදියා වාර්තාව පිළිගැන්වීමේ නිළ උත්සවයට රාජ්‍ය නායකයින් දෙපළම කුමන හේතුවක් මත හෝ සහභාගී නොවීමත්, පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබද සංවාදයක් ආරම්භ වී ඇති මොහොතක සිදුවන ‘නොතැකීම‘ පශ්චාත් යුද සමාජයකට කොහොමත්ම ගුණ නැත.

මාස කිහිපයකට කලින් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා JDS වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ ‘මට විශ්වාසයක් නැහැ. නමුත් බලාපොරොත්තුවක් තිබෙනවා‘ යනුවෙනි.

සංහිදියා වාර්තාව

යුද්ධයෙන් විනාශ කෙරුණු කිලිනොච්චිය, මුලතිව් ඇතුලු උතුරු සහ නැගෙණහිර ප්‍රදේශ මෙන්ම දකුණ ඇතුලු ලංකාව පුරා ප්‍රසිද්ධ සභාවන් 4872ක්ද, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා 1386ක්ද, ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් 1048ක්ද පවත්වා මෙම වාර්තාව සකසා ඇති බව වාර්තාවේ සදහන් වෙයි. එය පසුගිය වසරේ ජනවාරි මස දී ආරම්භ කෙරුණු ක්‍රියාදමයකි.

එහිදී විශේෂයෙන් ලංකා ආණ්ඩුවේ සංහිදියාව පිළිබද උත්සහය කිසියම් හෝ සාර්ථකත්වයක් දකින්න නම් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් අවශ්‍ය බව යුද්ධයෙන් විනාශ කළ උතුරු සහ නැගෙණහිර ප්‍රසිද්ධ රැස්වීම්වලදී ජනතාව ඉල්ලා සිටි බවට වාර්තා විය.

නිකුත් කරන ලද සංහිදියා වාර්තාවේ නිර්දේශ අතර විශේෂ නිර්දේශයක් වන්නේ ද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ප්‍රකාර ‘‘සෑම නඩුවාරයකදීම දේශිය විනිශ්චයකාරවරුන් බහුතරයක් සහ අවම වශයෙන් එක් ජාත්‍යන්තර විනිශ්චයකාරවරයෙක් සිටිනා බවට අධිකරණය සහතික විය යුතුය‘ යන්නය.

එසේම විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්ඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතු බවත් ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය සිය වාර්තාවෙන් යෝජනා කරයි.

එම වාර්තාවෙන් තවදුරටත් යෝජනා කරන්නේ ‘‘යෝජිත හයිබි‍්‍රඞ් අධිකරණය සැකසීමේදී බැංගලෝර් ප‍්‍රතිපත්ති හා ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ වගකීම පිළිබඳ වෘත්තිකයන්ගේ මාර්ගෝපදේශයද ඇතුළත්ව යුධ අපරාධ පිළිබඳ නඩුඇසීමේ අධිකරණයන් සඳහා අදාල වන ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මතයන් පැහැදිලි ලෙස දක්වා ඇතුළත් කළ යුතුය. සාක්ෂි සංග‍්‍රහගත කිරීම සහ අධිකරණ පරිපාටිය විශිෂ්ට ජාත්‍යන්තර පරිචයන්ට අනුගත විය යුතු අතර දේශීය නීතියට ඒ අන්තර්ගත කල යුතුය.‘‘ යනුවෙනි.

සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න

සංක්‍රාන්ති යුක්තිය හා සංහිඳියාව සඳහා යෝජිත යාන්ත‍්‍රණයන් පිළිබඳ ජනතාවගේ අදහස් හා විචාර ලබා ගැනිම සඳහා ශ‍්‍රී ලංකාව පිළිබඳ 2015 ඔක්තෝම්බර් පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කවුන්සිලයේ තීරණය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රහය ඇතිව අග‍්‍රාමාත්‍යවරයා විසින් 2016 ජනවාරි අගභාගයේ දී සිවිල් සමාජයෙන් තෝරා ගත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පත් කෙරිණි.


@Sampath Samarakoon | @sampathslk