එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන් ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් ඝාතන සැළැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනෙකු අත් අඩංඟුවට ගෙන තිබීමයි. මෙම ඝාතන සැළැස්ම විදේශගත දෙමළ අන්තවාදී කණඩායම් විසින් මෙහෙයවූ බව පොලිස් වාර්තා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

මාධ්‍ය වාර්තා පළ වූ පළියටම එවැනි ඝාතන සැළැස්මක් තිබෙන්නට ඇතැයි අපට නිගමනය කළ නොහැක.  මන්ද යත් ශ්‍රී ලංකාවේ බහුතර ජනමාධ්‍ය අයත් වන්නේ පශ්චාත්- සත්‍ය අක්ෂයට නිසාය. ඔවුන්ට අවශ්‍ය වන්නේ සත්‍ය නොව වෙළදාමයි. මාධ්‍ය වෙළදාමට වාසිදායක කුමක්ද එය සත්‍ය බවට පත්වේ.

පොලීසිය දැන් එවැනි සැළැස්මක් තිබූ බවට ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව නිල වශයෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් කියා නැත. එනමුත් ආරක්ෂක අමාත්‍යාංශය සුමන්දිරන්ගේ ආරක්ෂාව වැඩි කර ඇති අතර පෙනෙන්නට තිබෙන පරිදි සුමන්දිරන්ද සිය ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්නට පටන්ගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නැතත් යූඑස්ටීපැක් නම් දෙමළ ඩයස්පෝරා සංවිධානයක් විසින් එම ඝාතන තැත හෙළා දකිමින් නිකුත් කළ නිවේදනයක් බෙදා හරින ලදී.  ඉන් අදහස් වන්නේ එවැනි අනතුරක් ඇති බව දෙජාස ද පිළිගන්නා බවයි.

මෙැවැනි සැළැස්මක් නොතිබෙන්ට ඇතැයි ද අපට කීමට නොහැක. විදේශගත එල්ටීටීඊ සහ ඊට හිතවාදී පිරිස් සුමන්දිරන් සළකන්නේ නීලන් තිරුචෙල්වම් වැනි නැති කර දැමිය යුතු දේශපාලනඥයකු ලෙසය. එමෙන්ම මෙම ඝාතන තැත හෙළාදැකීමට කිසිදු එල්ටීටීඊ හිතවාදී සිංහල සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක් ඉදිරිපත් වී ද නැත.

සම්මුති විරෝධී දෙස් ව්දෙස් දෙමළ පිරිස්හි නායකයා බවට පත්ව සිටින  උතුරු මහ ඇමැති විග්නේශ්වරන් කියා ඇත්තේ මෙම ඝාතන සැළැස්ම ප්‍රබන්ධයක් බවය. එනයින් ඔහු උත්සාහ කරන්නේ එවැනි සැළැස්මක් තිබුණද එවැන්නක් නොතිබුන බවට මතවාදයක් ගොඩ නැගීමටය. කෙසේ වෙතත් ඔහුගේ මතවාදය පිළිගන්නා විශාල පිරිසක් දෙමළ උතුරු නැගෙනහිර දෙමළ ජනයා අතර සිටින බව පසුගිය 12වන දින මඩකළපුවෙහි ඔහුගේ නායකත්වයෙන් පැවැති ‘දෙමලුනි නැගිටිව් ‘ උද්ඝෝෂනයෙන් මොනවට පැහැදිළි විය.

විග්නේශවරන් නායකත්වය දරන ‘දෙමලුනි නැගටිව් ‘ ව්‍යාපාරයේ සහ එල්ටීටීඊය නායකත්වය දුන් පොන්ගු තමිල් ව්‍යාපාරය මතුපිටින් එක හා සමානය. එල්ටීටීඊයේ සහ පොන්ගු තමිල්හි වර්ණ වූ රතු සහ කහ පැහැති ධජ ගණනාවක්ම විග්නේශ්වරන් අතද ‘දෙමලුනි නැගිටිව් ‘ මඩකළපු ව්‍යාපාරය තුල ළෙල දෙනු දැකිය හැකි විය.  නිරනුමානවම විග්නේශ්වරන් උත්සාහ කරන්නේ එල්ටීටීඊ මතවාදය හා සිය දේශපාලනය අතර සම්බන්ධයක් පෙන්වීමටයි.

අනෙක් අතට දෙමළ ඩයස්පොරාව තුළ ශ්‍රී ලංකාවෙහි එල්ටීටීය හෝ එවැනි වෙනත් රණකාමී දේශපාලනයක් ගොඩ නැගිය යුතු බවට විශ්වාස කරන සැළකිය යුතු පිරිසක් සිටිති. ඔවුන්ට මුදල් අඩුවක් නැත.  තාක්ෂණික ඥාාණයෙන් දියුණුය. එබැවින් එවැනි පිරිස් සිය මතවාදී සහ මුල්‍යමය බලය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාව තුළ එල්ටීටීඊ දේශපාලනයක් ඇති කිරීමට මාන නොබලනු ඇතැයි කිසිවකුට සහතිකයක් දීමට නොහැකිය.

මේ සියල්ළටමත් වඩා දකුණේ සිංහල ආණ්ඩුව ගැන එන්නම එන්නම බිඳ වැටෙන  අපේක්ෂා භංගත්වයක් දෙමළ ජනතාව අතර මුල්බැස ගනිමින් තිබේ. තමන්ගේ ජන්දය ද ලබා ගෙන බලයට පත් වූ ආණ්ඩුවක් විසින් සිය ප්‍රජාවට යුද්ධයෙන් වූ විපත් ගැන සාධාරණ පරීක්ෂණයක් නොකරන බවටත් යුක්තිය ඉෂ්ඨ කිරීම නොපෙනෙන අනාගතයකට කල් දැමෙන බවත් ඔවුන්ට එන්න එන්නම පැහැදිළි වෙමින් තිබේ.  දෙමළ තරුණ පිරිස් මෙම යථාර්තය තුළ සන්නද්ධ නොවන නමුත් ආන්තික මත කරා ගමන් කිරීමට ඇති ඉඩ බොහෝය.

එල්ටීටීඊ සංවිධානයයේ සම්මුති විරෝධී දේශපාලන මතවාදය උතුරු නැගෙනහිර ජනයා අතර යළි කවර හෝ පදනමක් අල්ලා ගැනීමට ලොකුම දායකත්වය ලබා දෙන්නේ අන් කවරකුවත් නොව මෙම ආණ්ඩුවයි.  එය තමන් විසින් දෙමළ ජනයාට දෙන ලද පොරොන්දු අලුයම ලූ කෙළ පිඩක් තරම්වත් ගනන් ගන්නේ නැත..  ඔවුන්ගේ පාරම්පරික ඉඩම්, දේශපාලන සිරකරුවන් ලෙස රඳවා සිටින ඔවුන්ගේ දරැවන් සහ අතුරුදහන් වූ දහස් ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුව කර ඇති දෙයක් නැති තරම්ය. දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වූ දෙමළ ජාතික සන්ධානය මෙම ආණ්ඩුවට සහය දීම නිසා දිනෙන් දින දුර්වල වෙයි.  විග්නේශ්වරන් විසින් මතු පිටින්ද රණකාමී පිරිස් විසින් අභ්‍යන්තරයෙන්ද පුරවනු ඇත්තේ එම හිඩසයි.

‘දෙමලුනි නැගිටිව් ‘ යනාදී ලෙස මතුවනු ඇති මතවාදී සහ සංවිධානාත්මක ව්‍යාපාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ලැබී ඇති අවස්ථාව දිගටම පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. එය ප්‍රජාතනත්‍රවාදී සමාජයක ලක්ෂණයකි.  පවත්නා සමාජ දේශපාලන ව්‍යුහයෙන් ඔවුන් පිටමං නොකරනු පිණිස ද එවැනි දේශපාලන අවකාශයක් සහතික කිරීම වැදගත් ය.

දකුණේ සන්නද්ධ කැරලි දෙකක් මෙහෙයවා දැවැන්ත විනාශයන්ට මඟ පෑදු ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රසිද්ධ දේශපාලනයේ යෙදෙන පිළිගත් සැහෙන අනුගාමිකත්වයක් ඇති පක්ෂයකි. එහි නායක පිරිස් පාර්ලිමේන්තුවෙහි වැදගත් තනතුරු හොබවති.  සමාජයෙහිද ඔවුන්ට පිළිගැනීමක් තිබේ.

1971 කැරැල්ලෙන් පසු වසර පහකදී ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් මතුවිය. 1988 – 1999 දෙවසරෙහි නෑසූ විරූ භීෂණ දේශපාලනයක යෙදීමෙන් සහ දස දහසක් තරම්වත් අනුගාමිකයින් ඝාතනය වීමෙන් පසු වසර පහකදී එය ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් වශයෙන් යළි මතු විය.   අප මතකයේ තබා ගත යුතු කරුණක් නම් විශේෂයෙන්ම එල්ටීටීඊ මාදිලියේ දේශපාලනයකින් පසු 1994දී ජවිපෙ යළි මතුවන විට පැරණි නායක හෝ සාමාජික පිරිස් බහුතරය ඊට දායක නොවූ බවයි.

එසේ නම් එල්ටීටීඊ දේශපාලන මතවාදය යළි මතු නොවනු ඇතැයි අප කල්පනා කළ යුත්තේ ඇයි? ජවිපෙට යළි සංවිධානය වීමට අයිතියක් තිබුණි නම් එල්ටීටීඊයට එම අයිතිය නැති වීමට හේතුවක් තිබේද? එමෙන්ම උතුරෙහිදී එල්ටීටීඊ මතවාදී දේශපාලනය යළි මතුවනු ඇත්තේ පැරණි කාර්යධරයන් අතින් නොව නව පරපුරක් හරහා බව ද අප සැළකිල්ලට ගත යුතුය.  ජවිපෙ මෙන්ම එල්ටීටීඊය ද සංවිධානයකට වඩා වඩා මතවාදයකි.

එල්ටීටීඊ මතවාදී දේශපාලනය පෙරටුකර ගත් ව්‍යාපාරයක් යළි සන්නද්ධ ක්‍රියාකාරිත්වයන් කරා යොමු වනු ඇතැයි සිතීම උගහටය. මන්ද යත් දෙමළ ප්‍රජාව සාමූහිකව මුහුණ දුන් යුද්ධ ඛේදවාචකයෙන් පසු යළි එවැනි මාරාන්තික අත්හදා බැලීමකට එම සමාජය යොමුවීමට ඉඩක් නැති නිසාය.  එසේ නමුත් හුදකලා සන්නද්ධ සිදුවීමට ඉඩක් නැතැයි කිසිවකුට සහතිකයක් දිය නොහැක.

එල්ටීටීය යළි ප්‍රතිසංවිධානය වීම යනුවෙන් රාජ්‍ය ආරකෂක අංශ අදහස් කරන්නේ පැරණි තාලයේ සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා සූදානම්වීමක් ඒ පිළිබඳ පරීක්ෂාවෙන් සිටීම වැදගත්ය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවනු ඇත්තේ මතවාදී  වශයෙන් සම්මුති විරෝධී සහ    විරුද්ධත්වය පෑමේ දේශපාලනයක් මතුව ඒමයි.  එය දැනටමත් සිදුවන්නට පටන් ගෙන තිබේ. ඒ කොතෙක්ද යත් ජවිපෙ මාදිලියේ විරු සමරු දැන් උතුරු දේශපාලනයෙහි නිත්‍ය අංගයකි.

සහජීවනය සහ ප්‍රතිසන්ධානය යනු එවැනි ව්‍යාපාරයන්ට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සැළසීමයි.

එවැනි අවකාශයක් පවත්වා ගැනීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් අන්තවාදී දේශපාලනයක් මතු නොවනු ඇතැයි කිව නොහැක.

දිනපතාම වාගේ දහදහස් ගණන් ජනයාගේ ගමන් බිමන් අඩාල කරමින් කොලඹ පාරවල් අවහිර කිරීමට රාජපක්ෂවරුන්ට, ජවිපෙට සහ අන්තරයට අයිතියක් ඇත්නම්,  අධිකරණ තිරණයකට විරුද්ධව රෝහල් අඩපන කිරීමට වෛද්‍ය සංගමයට අයිතියක් ඇත්නම් උතුරෙහි  ද නොනවතින විරෝධතා මාලාවක් ඇති කිරීමට ඉහත කී විරුද්ධකම් පෑමේ දෙමළ දේශපාලනයට අයිතියක් තිබේ.

අප ඇතුල් වෙමින් සිටින්නේ දේශපාලන කුණාටු සමයකටයි!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya