ඉන්දියාවේ නවදිල්ලියේ එරොසිටි හි දී පැවැත්වෙමින් ඇති cyberspace පිළිබද ලෝක සමුලුවට විශේෂ ආරාධිතයෙක් ලෙස එම සමුලුව ආරම්භක දිනයේදී සහභාගී වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින් පවසා සිටියේ ‘වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බව ත්, ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බව අවධාරණය කළබව මාධ්‍ය වාර්තා කළේය. එසේම ‘මේ නිසාම මානව සමාජයට අලූත් අභියෝගයන් ද එල්ල වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා පැවසූ බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහභාගී වූ GCCS 2017 හි අරමුණු වනුයේ,

සයිබර් අවකාශය ප්‍රවර්ධනය කිරීම, තිරසාරත්වය, සංවර්ධනය, ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ නිදහස, තාක්ෂණය සහ සහයෝගිතාව සඳහා ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා ප්‍රතිපත්ති සහ රාමුව කෙරෙහි අවධානය යොමු කිරීමයි. ආරක්ෂාව හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ සහයෝගිතාවය වැඩිදියුණු කිරීම සහ සංවාදය සඳහා සහාය වීම ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීමත්

එහි අරමුණු අතර විය.

එවැනි දියුණු අදහස් සමග පැවැත්වෙන සමුලුවට සහභාගී වූ වික්‍රමසිංහ අගමැතිවරයා සිය අදහස් ප්‍රකාශ කළේ, කෙසේද? කොහොමද? යන්න මේ මොහොතේ පවතින උබතෝකෝටිකයයි.

එය එසේ වන්නේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සාකච්ඡා කරන ලෝක සමුලුවකදී විශේෂ දේශණයක් සිදුකරන රාජ්‍ය නායකයෙක් ගේ රටේ කිසිදු හේතුවක් නොදක්වා, කිසිදු නීතිමය තත්ත්වයකට යටත් නොකර වෙබ් අඩවියකට පිවිසීම එරටේ සියලු අන්තර්ජාල සේවාදායකයින්ගෙන්(ISPs) අවහිර කර තිබිමයි. ඒ වෙබ් අඩවිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒ රට ශ්‍රී ලංකාවයි. ඒ දේශණය කළ රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයයා.

වික්‍රමසිංහ අගමැතිවරයා මෙසේද පවසා ඇත.

‘වර්තමානයේ තොරතුරු සහ දැනුම ලබාගැනීමේ ප්‍රධාන වේදිකාවක් බවට සයිබර් අවකාශය පත්ව ඇති බව ත්, ජීවන තත්වය උසස් කිරීම, මානව සංවර්ධනය හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිර්ණායකයක් බවට සයිබර් අවකාශය පත්වී තිබෙන බවත්ය’

එසේ කියන විට ලංකා ඊ නිව්ස්(www.lankaenews.com) අවහිර කර දින 15ක් ගෙවෙමින් තිබේ. නමුත් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය සහ එය සුරැකීම පිළිබද ලෝක පරිමාණයෙන් සාකච්ඡා කරන සමුලුවකදී විශේෂ දේශණයක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිධූරය දරණ ආණ්ඩුව පවතින විට කිසිදු නීතිමය විචාරයක් හෝ කිසිදු හේතුවක් නොදක්වා ලංකාව තුළ, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර වී තිබීම ගැන මේ දක්වා කිසිදු නිළ ප්‍රකාශයක් ආණ්ඩු විසින් සිදුකර නැත. එසේ තිබියදී ලෝකයේ රටවල් 135ක් හමුවේ, දසදහසක සහභාගීකයන් ඉදිරියේ එවැනි දේවල් කියන්න කාට හෝ ලැජ්ජාව නම් නැති විය යුතුය.

බිදක් හෝ ලැජ්ජාවක් තිබෙනවා නම් එසේ කියන්නට නොව එවැනි දියුණු වේදිකාවකට යෑමට පෙර සිය දහස් වරක් සිතන්නට අවශ්‍ය වන්නේය. නමුත් තවමත් එසේ වීමක් දක්නට නැත්තේ රාජපක්ෂ මෙන් වික්‍රමසිංහත් සිතන්නේ ලෝකය ඇත්තේ ලංකාව තුළ කියාද?

තමන්ගේ රටේ වෙබ් අඩවියකට පිවිසීම සියලු අන්තර්ජාල සේවාදායකින්ගෙන්(ISPs) අවහිර කර ඇති මොහොතේ එවැනි දියුණු වේදිකාවකට ගොඩවැදී එන නැවත එන මොහොතේ හෝ තමන්ගේ රටේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්ණකාරී ස්ථානයක තිබෙන බව වත් සිතන්නට අගමැතිවරයා යොමු විය යුතුය. එසේ නොවුනහොත් ලෝකය ඉදිරියේ ලැජ්ජා සහගත ආණ්ඩුවක් බවට ‘යහපාලනය’ පත්වීම වලක්වාලීමට වික්‍රමසිංහ අගමැතිවරයා වදින්න ගිය ඉන්දියාවේ ‘දෙවියන්ට’ පවා නොහැකි වනු ඇත.

හෙට අවසන්වීමට නියමිත සමුලුවේදී ඉන්දීය මාධ්‍ය වේදියෙක් බැරිවෙලාවත් මෙහෙම ඇහුවොත්, ‘මේ සමුලුවේදී කතා කළ ඔබතුමාගේ රටේ වෙබ් අඩවියක් කිසිදු හේතුවක් නොදක්වා අවහිර කරලා නේද?’

අගමැතිවරයාගේ පිළිතුර කුමක් විය හැකිද?

(මෙයත් නැවත වරක් සිහිපත් කළ යුතුය – 2015 ජනවාරි 8වනදා බලයට පත්වූ ‘යහපාලන’ ආණ්ඩුව එතෙක් ලංකාව තුළ රාජපක්ෂ ආණ්ඩුව විසින් අවහිර කර තිබූ ලංකා ඊ නිව්ස් ඇතුලු වෙබ් අඩවි 5ක අවහිරතාවය ඉවත් කරමින් ඉදිරිගාමී පියවරක් තැබුවේය. නමුත් වසර 2කකට පසු එම ‘යහපාලන’ ආණ්ඩුව යටතේම ලංකා ඊ නිව්ස් නැවත වරක් අවහිර වී තිබීම ලංකාව තුළ අන්තර්ජාල අවකාශයේ අනාගතය පිළිබද බියකරු හැගීමක් එක් කරන්නේය.)

සම්පත් සමරකෝන් | Sampath Samarakoon