iMage: Reuters

ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස, ගෝඨාබය රාජපක්ෂ රුවන්වැලි සෑය, සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ඊයේ(18) දහවල්ය. එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ඇමතිවරුන් කිහිප දෙනෙක්ම සහභාගී වී සිටියේය.

සිය ධූරයේ දිවුරුම් දීමෙන් පසු, ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාතිය අමතා කළ මංගල කතාව මේ රටේ සිංහල නොවන ජනයා වෙත එල්ල කරන ලද ප්‍රභල අකුණු පහරකි. ‘…මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ රටේ සිංහල බහුතර ජනතාව බව අප මුල සිටම දැන සිටියා.‘ ඔහු සිය කතාවේදී ප්‍රකාශ කළේය.

ලංකාව වැනි විවිධ ජන වර්ග ජීවත් වන රටක ජනාධිපතිවරයෙක් ලෙස පත්වී කළ පළමු කතාවෙන්ම ප්‍රමාණයෙන් සුලුතර ජනයාගේ සිත් රිදෙන ආකාරයේ සිදු කරන කතා විසින් මතු කරන්නේ ඉදිරියේ ඇති බියකරු බවයි. එවැන්නක් මගින් එම ජනකොටස් තුළ ඇති වන්නේ භීතියකි. එම භීතිය නිසාම, වාර්ගික බෙදුම් රේඛාව, නැවත වරක් පුලුල් විය හැකිය. ඒ මගින් ජාතික සමගියට ඇති කරනු ලබන්නේ බරපතල හානියකි. නමුත්, ජනාධිපති ගෝඨාබය විසින් සිදු කරනු ලැබූ එම ප්‍රකාශය හොදින් ඇසුවහොත් ඔහුට එහි බරපතල කම පිළිබද අබමල් රේණුවක වත් වැඩක් නැති සේයකි.(ජනාධිපති ගෝඨාබයගේ එම අදහස යට ඇති දෙය නම්, ඔහු මුල සිටම ක්‍රියා කළ ඇත්තේ මේ රටේ සමස්ථ ජනයාගේ ඡන්දය මත නොව බහුතර සිංහල ජනයාගේ ඡන්දය ඉල්ලක්ක කර ගෙන බවයි. නීතියට අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවතා දමා තිබියදී පවා පංසල්වල එම කටයුතු සිදුවූයේ එම අදහසින් බව දැන් ඔප්පු වී හමරාය. නමුත් සිය දේශපාලනය වෙනුවෙන් පංසල අවභාවිතා කළ බවට බෞද්ධයාට තවම තේරුම් යන්නේ නැත.) ඔහුට පමණක් නොවේ, මැතිවරණයේදී ඔහු වෙනුවෙන් වැඩකල පිරිස් මේ වන විට සමාජ ජාල තුළ සහ භූමියේ හැසිරෙන අන්දම දුටු විට ද එය මනාවට සනාථ වේ. එනම්, සිංහල බෞද්ධ ජාතිවාදී රාජ්‍යක් සදහා තබන මුල් පියවරවල් වල ලක්ෂණයන්ය. එම ක්‍රියාවලියේ තවත් ලක්ණයක් සිය මංගල කතාවෙන් පසු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් ක්‍රියාවෙන්ම ඔප්පු කර සිටියේය. එනම් ‘ද්‍රෝහීන් එල්ලා මැරිය යුතු යැයි‘ පසුගිය කාලයේ ගෝරනාඩු කල විශ්‍රාමික හමුදා නිළධාරියෙක් වන කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කිරීමයි. ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය දැරීම මගින්ද නිරූපනය වන්නේ අධිපතිවාදී සිංහල බෞද්ධ රාජ්‍යකට අවශ්‍ය මුල් පියවරයන්ය. අනෙක් පසින් මිනිසුන් එල්ලා මැරිය යුතු යැයි, පැවසූ විශ්‍රාමික හමුදා නිළධාරියෙක් ගෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව කුමක් ද යන්න ඔබම, ඔබේ හදවතට තට්ටු කර අසාගන්න. කෙසේ නමුත් ගෝඨාබය රාජපක්ෂ, ජනාධිපතිවරයා වීමට ප්‍රථම හැසිරුනු, කළ ප්‍රකාශය ආහ්‍රයෙන් නැවත හැරී බැලූ විට සිංහල ඡන්ද(එවැන්නක් නැත) වලින් ජයග්‍රහණය කළා යැයි පැවසීම අරුමයක් නොවන්නේය. මේ ආරම්භය පමණි. එැවැනි කතා සහ ක්‍රියා ඔහුගෙන් ඉදිරියේදී ඕනැතරම් බලා ගත හැකිය. ඒ ගෝඨාබය රාජපක්ෂ ය. එය සිංහල නොවන ජනයා මත පමණක් නොවේ, සිංහල ජනයා වෙතත් කැරකී ඒමට නියමිතය. එවිට ඔබ ප්‍රමාද වැඩි විය හැකිය. එපමණක් ද නොවේ, දුටුගැමුණු රජතුමා විසින් සිය සතුරා වන එළාර රජතුමා පරාජය කළ පසු, පරාජය වූ එළාර වෙනුවෙන් සොහොනක් තනවා, එතැනින් ගමන් ගන්නා අයට, එළාරට ගරු බුහුමන් දක්වා යන ලෙස දුටුගැමුණු විසින් නියෝග කල බවට කියැවේ. ඒ දුටුගැමුණු රජතුමාගේ පිළිරුව ආසන්නයේ සිට ජනාධිපති ගෝඨාබය එවැනි ප්‍රකාශයක් සිදු කිරීම ද උත්ප්‍රාසයකි. ඒ බව බෞද්ධ ජනයාට තේරුම් ගැනීමට ඒතරම් කාලයක් ගත නොවනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ මෙසේය.

“…මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ සිංහල බහුතර ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගැනීමට හැකි බව මා දැන සිටියත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුනේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක් වන ලෙසයි…”

නැවත වරක් ලියන්නට ඇත්තේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ සිදුකර ඇත්තේ අරුම පුදුම ප්‍රකාශයක් නොවේ. ඒ ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රතිපත්තියයි. අදහසයි. චින්තන ධාරාවයි. ඉන් වැඩි යමක් ඔහුගෙන් බලපොරොත්තු වනවා නම් ඒ බලාපොරොත්තු වන්නාට ‘අමු කැවිලාය’.