iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක]

“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?”

මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට හිංසා කරමින්, පසුපස පැමිණ, ඇයගේ අවසරයෙන් තොරව ඡංගම දුරකතනයෙන් ඇයව වීඩීයෝ කල තරුණයාගෙන් ඇසු ප්‍රශ්නයකි. මෙය එක් අහඹු සිදුවීමක් වුවද එම ප්‍රශ්නය ඉතා ගැඹුරු සමාජ තත්වයක් පිලිබිඹු කරයි. එනම් ඡාතිවාදය හා පුරුෂාධිපත්‍යය නිසා ගැහැණියට එදිනෙදා සිදුවන අතවර හා හිංසනයන්යන් ගේ තරමය.

පාස්කු ප්‍රහාරයට පසු ක්‍රියාත්මක වු හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් වු එක් වස්ත්‍රයක් ය. එයට හේතුව ඇස් හැර සෙසු ශරීර අංග එමගින් ආවරණය වීමයි. බුර්කාව තහනම් වු විට මුස්ලිම් සමාජය එය පිළිගෙන එවකට තිබුණු නීතියට අවනතව කටයුතු කලහ. කෙසේ වුවද බුර්කා තහනම හදිසි නීතිය අහෝසි කිරීමත් සමග අහෝසි වු බව බොහෝ දෙනා නොදන්නා කරුණක් විය හැක. එයට හේතුව, එය දන්නේ නම් මෙම මුස්ලිම් කාන්තාවට හිරිහැර කරන පුද්ගලයා අද නීතියෙන් අසරණ නොවනු ඇත. එම මුස්ලිම් කාන්තාවට තමන්ට සිදු වු ඒ සිදුවීම හා තමන්ගේ කැමැත්තෙන් තොරව රූපගත කල කරුණු මත එම තරුණයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල හැක.

මෙම සිද්ධිය ලංකාවේ සිටින කාන්තාවන්ගේ එදිනෙදා යථාර්ථය ඉතා මනාව පැහැදිලි කරයි. මෙය මුස්ලිම් කාන්තාවකට සිදු වු නිසා ජාතිවාදයෙන් මෙය සාධාරණීකරණය කල හැකි වුවද, කාන්තාවන්ට කැමති ඇදුමකින් සැරසී යාමට ලංකාව තුල ඉඩ තිබේද යන්න අප ඇසිය යුතු ප්‍රශ්නයකි. බුර්කාව නිසා අද මෙවැනි තත්වයට මුහුන දුන් මෙම කාන්තාව ද සාරිය, සාය, ඩෙනිම් කලිසම ඇද විහිලු, තහලු වලට ලක් වන අනෙක් කාන්ත්වන් ද එක සමාජ ක්‍රමයක කාන්තා හිංසනයට මුහුණ දෙන බව පෙනෙන්ට තිබේ.

මුලු ශරීරයම ආවරණ කරන කාන්තාව අන්තවාදී ලෙස සලකන මෙම සමාජය කොට සායක් ඇද සිටින කාන්තාවට ‘බඩුව’ කියයි. එනම් කාන්තාව කුමන ඇඳුමක් ඇදිය යුතුද? මගේ Facebook හි යාහලුවෙක් මෙවැනි සටනක් තබා එයට පිළිතුරක් ද සපයා තිබිණි

“මුස්ලිම් ගර්ල් : දැන් ඔයාට මගේ මොනවද පේන්න ඕන..

සමාඡය : මූණ, කුක්කුවල උඩ හරිය, සාරියක් නම් බඩයි පිටයි බුරියයි, ෂෝටක් නම් පස්ස පේන්න ඕන, ස්කිනි අදින්න ඕන යකෝ. මේක අපේ රට”
(උපුටා ගැනීම රෝෂේන්)

තවත් එවැනි පද වැලක් බුර්කාව වන්නම ලෙස නම් කල මගේ මිතුරිය නම් උනේකා ලක්මිණි අබේරත්න ලියා තිබිණි.

“කොණ්ඩෙ කපන් එන්නද මං හෙට එනකොට වස්තුවේ
ඒ එක්කම බෙල්ලත් කපන් ආවොත් හොඳයි ගෑණියේ

යාලුවො කියනව ලස්සනයිලු මං කොට ගවුමට සුදු මහත්තයෝ
කඩනව කකුල් උඹෙ පෙන්නුවොත් හෙම එක එක බල්ලට ප්‍රසිද්ධියේ

ස්ලීව්ලස් බ්ලවුස් අඳින්න ආසයි අත් දෙක කලුවෙයි කියල බයයි
අත් ගොබ පෙන්නං පාරේ යන්නෙ ලැජ්ජා නැති වල් වේසාවියොයි

අන්න බලන්නකො සුදු මහත්තයො බුර්කා ඇඳලා අර ගෑණි
පට්ට බැල්ලිගේ ඇස් දෙක විතරයි පේන්න තියෙන්නෙ සුදු නෝනා
උඹ මේ මුල්ලෙ හිටින් හැංගිලා ගලවා එමි ඕකිගෙ බුර්කා”

බුර්කාව ගැන සමාජය තුල ඇති ආකල්පයන් ජාතිවාදය, ආරක්ෂක හේතු හා පුරුෂාධිපත්‍යය යන කරුණු මත පදනම් වී ඇති බව මගේ අදහසයි.

බුර්කාව තහනම් කල අවස්ථාවේ ඊට සහයෝගය දුන් මුස්ලිම් කාන්තාවන් ආරක්ෂක හේතු මත බලධාරීන්ට මුහුණ පෙන්වීමට මැලි නොවන බව වත්තල සිද්ධියේ කාන්තාවද කියා සිටියා. රජය හා ආරක්ෂක අංශ විසින් ආරක්ෂක හේතුන් අවධාරණය කර මෙම තීරණය ගත යුතුයි. එසේ එලඹෙන නිගමනයන් වලට මුස්ලිම් සමාජය ගරු කරයි.

කිසිම නීතියක් නොමැති නම්, නීතිය අතට ගන්නන් හට නීතිය ක්‍රියාත්මක කල යුතුය. කෙනෙකුට බුර්කාව ඇද සිටින කාන්තාවක් ගැන සැක නම්, ඒ ස්ථානයේ බලධාරීන්ට පැමිණිලි කල හැක. එසේ වු විට තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරිම නීති ගරුක පුද්ගලයින් ලෙස මුස්ලිම් සමාජයේ කාන්තාවන් බැදී සිටිති.

අපිකෝ සිද්ධියට ලිංගික කුහකත්වය සමග ඇති වු ජාතිවාදය ද එක් කරුණක්. ජංගම දුකතනයෙන් වීඩියෝ කරන තරුණයා පිටුපස පැමිණි කාන්තාව, ඔහුට මුස්ලිම් කාන්තාවට කරදර නොකරන ලෙස කියනවා අසන්නට ලැබුනා. ඇස් විතරක් පේනවා යනුවෙන් ඔහු පවසන්නේ ජාතිවාදයෙන් ඇයගේ බුර්කාව ගැලවීම පමණක් නොව ඇය අපහසුතාවකට හා ලැජ්ජාවට පත් කිරීමටයි.

ඡාතික ආරක්ෂාව නිසා බුර්කාව ප්‍රශ්න කල කෙනෙකුට මගේ තවත් මිතුරියක් (ෆර්වින් මොහොමඩ්) ලියු සටහනක් මෙසේය.

“පහුගිය අවුරුදු දහයේ බුර්කාව පැළද එනම්(මුහුණ කාගේදැයි නොපෙනෙ ලෙස) සිදු කළ අපරාධ නම් අනන්තයි.

එයින් කිහිපයක් නම්,

මලවානේ සුපිරි මාළිගාවක් ඉදිවුවද, එහි අයිතිකරුගේ මුහුණ දැක්ක කෙනෙක් නැත.
මහබැංකුවෙන් හොරා කාපු මුදල්වලින් සුපිරි නිවාසයක් මිළදීගෙන පදිංචි වී පවුල් කෑවත් පුද්ගළයාගේ මුහුණ කවුරුවත් “දන්නේ නෑ”
222222222V නම් අංක දරණ ජාතික හැදුනුම්පතක් හිමි ගැහැණියෙක් හිටියත් කවුරුත් දැක නැත.
රගර් සෙල්ලම් කරන මනුස්සයෙකුට පහරදී, ඇටකඩු කඩා, ඉදිරි අසුනක තබා ගිනිතබා මරා සියදිවි හානිකරගත්තත් දැක්ක මනුස්සයෙක් නැත.
පිරුණු විදේශ සංචිත වලින් හා තඹේක ණයක් නැතිව 1947 දක්වා විරාජමානව වැජඹුණු රටක හෙට උපදින දරුපැටියා වසර 72 ක් පුරාවට ලක්ෂ පහහමාරක ණයකරුවෙක් කළ අයගේ මුහුණු දැක තිබු අයෙක් හෝ ඒ ගැන කථිකාවක් කරන්නට හැදු අයෙකුගේ මුහුණක් දැක්ක කෙනෙක් නැත.
සියළුම අදෘශ්‍යමාන අපරාධ වලට වගකිව යුතු බුර්කාව. ඔබේ සුන්දර මුහුණ නිරාවරණය කරන්න”

කාන්තාවට තමන්ට කැමති ඇදුමක් ඇදීමට මෙන්ම ගැලවීමටත් අයිතියක් ඇත. එම අයිතිය බුර්කාවට මෙන්ම බිකිනයට ද හිමි විය යුතුයි. සෘජුව හෝ වක්‍රව සිදුවන සෑම බලපෑමක්ම කාන්තාවන් හෙලා දැකිය යුතුයි. බුර්කාව ගලවන සමාජය හෙට බිකිනියට ඇදුම් අන්දවන්නේ නම්, මෙම විරුද්ධතාව එදා ද එක ලෙස හඩ නැගීමට කාන්තාවන් එක් වී තම සහය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක්ය.

2020 වර්ෂයේ පළමු දින 15 ලංකාවේ වාර්තා වු ස්ත්‍රී දුෂණ ගනන 142යි, බරපතල ලිංගික අපයෝජන 42 හා ළමා අපයෝජන 54යි. මෙවන් තත්වයක් තුළ, සමාජයට කාන්තාවන්ට ඇදුමක් ඇන්දවීමට හෝ ගැලවීමට අයිතියක් තිබේද?

ෂිෆානා නියාස් | Shifana Niyasa