iMAGE: Gotabaya Rajapaksha FB Page 

කොවිඩ් 19 වසංගත තත්වය තුළ 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණ පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කොට ඇති මාර්ගෝපදේශ ගැසට් කොට නිත්‍යානුකූල භාවයට පත් කිරීම කෙරෙහි දිගින් දිගටම සිදු වී ඇති ප්‍රමාදය ගැන විමසමින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය විසින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගිය 12 වන දින ලිපියක් නිකුත් කොට තිබේ.

එළඹෙන අගෝස්තු 5 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කොට ඇත්තේ ජූනි මස 03 දා වූවත් මේ දක්වා එම මාර්ගෝපදේශ ගැසට් කර නොමැති වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද මීට පෙර මාධ්‍ය හරහා තම කනස්සල්ල පළ කොට තිබුණි.

ජුනි 03 වන දා සිට මේ වන විට සති 05 ක කාලයකුත් ඉක්ම ගොස් ඇති අතර,මැතිවරණ දිනයට ඇත්තේ තව සති 2 හමාරක වැනි සුළු කාලයකිමැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින් සහ පක්ෂ විසින් දිගින් දිගටම මහජනතාව රැස් කරමින් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් පවත්වා ගෙන යන විශාල ජනරැළි සම්බන්ධයෙන් ඉහත මාර්ගොස්පදේශ බලපැවැත්වෙන බවක් පෙනෙන්ට නැත. මීට ඇතැම් අවස්ථාවන් හිදී සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන්නට උත්සාහ කරන ලද සාමකාමී මහජන විරෝධයන්ට පහර පිට පහර එල්ල කරන ලද පොලිසිය ද නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය මේ ජන රැළි වලදී එකී ප්‍රභූන්ට ආරක්ෂාව සපයමින් සිටිම කනගාටුවට කරුණකි.

ඒ අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට යවන ලද ලිපියේ දක්වා ඇත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමෙහිලා සෞඛ්‍ය අමාත්‍යංශය කොවිඩ් -19 වසංගත තත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ මාර්ගෝපදේශ සංග්‍රහයක් මැතිවරණ කොමිෂන් සභාවේ ද සහයෙන් නිකුත් කොට තිබුණ ද එය මෙතෙක් ගැසට් කර නිත්‍යානුකුල තත්වයට පත් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් විසින් එකී මාර්ගෝපදේශ සංග්‍රහයේ දක්වා ඇති පරිදි රැස්වීම් පැවැත්වීම සහ කාර්යාලය පවත්වාගෙන යාම සිදු කිරීම නොකරන බවය. ඒවා විසින් කිසිදු නිරෝධායන ක්‍රමවේදයක් පිළිනොගනිමින් ද කටයුතු කරන බව එහිදී පෙන්වා දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 වසංගත තත්වය මැඩ පැවැත්වීමට මෙතෙක් ගන්නා ලද සියලු ක්‍රියාමාර්ග නිෂ්ඵල වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බව ලිපියෙහි අනතුරු අඟවා තිබේ.

එසේම දැන් නැවතත් කෝවිඩ් -19 ආසාධිතයින්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහල යාමේ ප්‍රවණතාවක් වාර්තා වීම හමුවේ එය සමාජ තුළ පැතිර යාමකට හේතූ විය හැකි වීමේ දැඩි අවධාමකට පත්ව ඇති හෙයින් මේ මොහොතේ කඩිනමින් ඉහත කී මාර්ගෝපදේශයන් ගැසට් කර නිත්‍යානුකුල කිරීමට පියවර ගැනීම කාලෝචිත බව ලිපියේ පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ කරුණ කෙරෙහි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැඩි සැළකිල්ල යොමුකර සුදුසු කඩිනම් පියවරක් ගනු ඇතැයි ද ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සාක්ෂාත් කර ගැනීමට සහයෝගය බලාපොරොත්තු වන බවද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් එහි ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා එම ලිපිය නිකුත් කරමින් කියා තිබේ.

කෙසේ වෙතත් ජනතාව ලෙස අපට ඇති පුදුමය නම් එක රැයකින් ඕනෑ තරම් ගැසට් මුද්‍රණය වෙන රටක, එසේ කළ හැකි බවට උදාහරණ ඕනෑ තරම් සපයා ඇති රටක මහජන සුබ සිද්ධිය පතා කඩිනමින් නිකුත් කළ යුතුව ඇති මේ මාර්ගෝපදේශ ගැසට් කොට නිත්‍යානුකුල තත්වයට පත් නොකරමින් කල් මරන්නේ ඇයිද යන්නය. සති 5 ක් පුරා ප්‍රමාද කරමින් කල් යවන්නට කොවිඩ් වසංගත තත්වය ආණ්ඩුවේ අවම ප්‍රමුඛත්වය ලැබුණු කාර්යය බවට පත්වුයේ කෙසේද? මහජනගේ ආරක්ෂාව හා සුබ සිද්ධිය ගැන නොතකමින් ඇත්තටම මහජන සේවය සඳහා කැපවිය හැකිද?