සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා’’ – ටිල්වින් සිල්වා

“යුද්ධෙ තියෙනකොට සීනි කිලෝ එක 72 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, සීනි කිලෝ එක 98 යි. යුද්ධෙ තියෙනකොට ලොකු සැමන් ටින් එක 160 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, ලොකු සැමන් ටින් එක 235 යි. යුද්ධෙ තියෙනකොට පරිප්පු කිලෝ එක 140 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, පරිප්පු කිලෝ එක 148 යි. යුද්ධෙ තියෙනකොට පාන් ගෙඩිය 22 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, පාන් ගෙඩිය 50 යි. යුද්ධෙ තියෙනකොට මදුරු කොයිල් එක රුපියල් 6 යි. යුද්ධෙ ඉවර වෙලා මාස විස්සයි, මදුරු කොයිල් එක රුපියල් 12යි.”

අනවශ්‍ය නාස්තිය අවම කර, ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වහා අඩු කරන ලෙස රාජපක්‍ෂ ආණ්ඩුවට බලකරමින් අද (01) ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතා පාගමන අවසානයේ දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය. මෙහිදී තවදුරටත් අනුර කුමාර මංත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ, “රාජපක්ෂ පාලනය ජනතාවට සහන දුන්නෙ නැහැ. ඒ වෙනුවට කළේ මොකද නාස්තිකාර ඇමති මණ්ඩලයක් හැදුවා. කෝටි ප්‍රකෝටි ගණන් නැති කළා. ඒ විතරක් නෙමෙයි සැණකෙලි පැවැත්තුවා. මොණරාගල දැයට කිරුළ පැවැත්තුවා. පශු වෛද්‍යවරයා ගෙනිච්චා එතෙන්ට, විභාග දෙපාර්තමේන්තු නිළධාරීන් ගෙනිච්චා එතෙන්ට, වරායෙ කන්ටේනරය ගෙනිච්චා එතෙන්ට, වරායෙ දොඹකරේ ගෙනිච්චා එතේනට, රටේ හැම රාජ්‍ය සේවයක්ම ගෙනිච්ච එතේනට. ජනතාවට ඒකෙන් ඇතිවෙච්ච සෙතක් නෑ.”

සෝමවංශ අමරසිංහ ඇතුළු ජවිපෙ නායකයන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ මෙම විරෝධතා පාගමන, බොරැල්ල කැම්බල් පිටියෙන් අරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා ගමන් කෙරුණ අතර එහිදී රුස්වීමක් පැවැත්වීය.

එහිදී අදහස් දැකවූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙලෙස අදහස් දැක්වීය.

“ජනතාව දුක් විඳිද්දි, ජනතාවට බර පැටවිලා තියෙද්දි, බඩු මිල වැඩිවෙලා තියෙද්දි, රැකියා නැතුව තියෙද්දි, ජනතාවගේ ආදායම් වැටිලා තියෙද්දි සැප විඳින ආණ්ඩුවක් මේ රටට ඕනැද? නෑ. එහෙම ආණ්ඩුවක් එපා. ඒ ආණ්ඩුව පවත්වගෙන යන ක්‍රමයත් එපා.”

“මීට මාස ගාණකට කලින් ජනතාව ආණ්ඩුවට කිව්වා ආණ්ඩුවට විකල්ප දෙකක් තියෙනවා කියලා. ආණ්ඩුව එක්කො ජනතාවගෙ බඩුමිල අඩුකරලා, සහන දීලා, ජනතාවට හොඳ රටක් හදන්න ඕනෙ, නැත්නම් බැහැල යන්න ඕනෙ කියලා. අපි කියනවා දැන් විකල්ප දෙකක් නෑ, එකයි තියෙන්නෙ, මහින්ද රාජපක්ෂට සිංහාසනෙන් බහින්න වෙනවා, බැස්සෙ නැත්නම් එලවලා දාන්න මේ රටේ ජනතාව සූදානම් කියලා.”

“තෙල් මිල වැඩි වෙනකොට, කිරිපිටි මිල වැඩි වෙන කොට, පාන් පිටි මිල වැඩි වෙන කොට, ගෑස් මිල වැඩි වෙන කොට ආණ්ඩුවෙ මහත්තුරු කිව්ව අපිට කරන්න දෙයක් නෑ. ලෝක වෙළඳ පොළේ නගිනවා, ඉතින් අපිත් නග්ගනවා කියලා. අද බලන්න එළවළු මිල නැගලා තියෙනවා ලෝක වෙළඳ පොළේ සම්බන්ධයක් නෑ. අපේ රටේ නිෂ්පාදනයන් වල මිල ඉහළ ගියේ ඇයි? මුළු නිෂ්පාදනයම වැටිලා. වී නිෂ්පාදනය වැටිලා. මේ විදිහට නිෂ්පාදනය වැටිලා නම් අපි අහනවා කෝ අර කලින් තිබුණු ‛අපි වවමු රට නගමු’. මෙන්න මේ බොරුව තමයි ආණ්ඩුව හැමදාම කළේ. ඒ බොරුවට තිත තියන්න, හමාර කරන්න කාලය ආැවිත් තියෙනවා.”

“පහුගිය දවස් වල අනුරාධපුරයට, පොළොන්නරුවට,මඩකලපුවට, අම්පාරට මේ ප්‍රදේශවලට මහා වැසි ඇද හැලුනා. ජනතාව අවතැන් වුණා. ගොවිතැන් පාළු වුණා. ජනතාව තාම කඳවුරුවල. ආණ්ඩුව මොකක්ද කළේ මේ ගංවතුරෙන් පීඩා වින්ඳ මිනිස්සුන්ට පිටරටවලින්, සංවිධාන වලින් කෝටි ගණන් ආධාර හම්බවුණා, ආරංචියි මේ ආධාර හම්බන්තොට බෙදනවා ඡන්දෙට කියලා.”

“මේ යුගය ජනතාව මත බර පටවන, ජනතාවට නොසලකා ඉන්න, ජනහඬට ඇහුම්කන් දෙන්නෙ නැති නායකයින්ට හොඳ යුගයක් නෙමෙයි. අද උතුරු අප්‍රිකාවෙන්, මැදපෙරදිගෙන් ආරම්භ වෙලා තියෙනවා ජනයා පාරට බැහැලා ජන හඬට ඇහුම්කන් දෙන්නෙ නැති පාලකයො, හොර ඡන්ද වලින් දිනලා බලයේ ඉන්න පාලකයො එලවා දැමීමේ අරගල මතුවෙලා තියෙනවා. ආණ්ඩුවෙ මහත්තුරු හිත හදාගන්න කියනවා ඒවා ඒහෛ වුණාට මෙහෙ එහෙම වෙන්නෙ නෑ කියලා. ටියුනීසියාවෙ විතරක් නෙමෙයි, ඊජිප්තුවෙ විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම රටක ජනතාවට ඇති වුණොත් පාලකයෙක්, ජනතාවට තීන්දු කළොත් උඹලා දැන් හිටිය ඇති ගෙදර යන්න කාලෙ හරි කියලා ඒ තීන්දුව බෙන් අලීට, මුබාරක්ට වගේම ලංකාවෙ මහින්ද රාජපක්ෂ මහත්තයටත් වලංගුයි කියලා අපි කියනවා.”

විශාල ජනකායක් මෙම විරෝධතා පාගමනට සහභාගී වූ අතර එහිදී ජනතාව තම විරෝධතාවය ප්‍රකාශ කළේ මේ ආකාරයටයි.

“මෙන්න බොලේ – ආණ්ඩුවක්
සහන කපන – ආණ්ඩුවක්
ජනයා මත – බරපටවල
ජනය මරන – ආණ්ඩුවක්

ඉස්කෝලෙට – සල්ලි ඕනෙ
බේත් ගන්න – සල්ලි ඕනෙ
සුභ සාධන – කපලා දාලා
රාජපක්ෂ – රජ කරන්නෙ

රාජපක්ෂ – හිතන් ඉන්නෙ
හැමදාමත් – රජ කරන්න
ලෝකෙ පුරා – සිද්ධ වෙන්නෙ
රජවරුන්ට – ගෙදර යන්න

More Photos