සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media, Peace and reconciliation, Stories from the silent

‛‛කිලිනොච්චිය තවමත් හමුදා පාලනයක්, උද්ඝෝෂණ බෑ’’

Update(11.15am)
මේ සම්බන්ධයෙන් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න අද(23) ‛විකල්ප’ වෙත මෙසේ අදහස් දැක්වීය.

“‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විදිහට අපි අතුරුදහන් වූ දෙමළ තරුණ තරුණියන් සොයා දීමට බල කරමින් පසුගිය කාලයේ ආරම්භ කරපු උද්ඝෝෂණ ව්‍යාපාරය ත්‍රිකුණාමල නගරයේ දී සහ වවුනියා නගරයේ දී පැවැත්වුවා. අද දිනයේ දී කිලිනොච්චි නගරයේ දී අප එම උද්ඝෝෂණය පවත්වන්න නියමිතව සිටියා. නමුත් මේ උද්ඝෝෂණයට යන්න එපා කියලා, ඊයේ සවස සිට කිලිනොච්චියේ හමුදා නිළධාරීන් දිගටම බාධා කිරීම් සිදුකරනවා. ඊයේ සවස ඔවුන් අතුරුදහන් වූවන්ගෙ ගෙවල්වලට ගිහිල්ලා තර්ජනය කරලා තිබුණා .

ඒ වගේම අප සංවිධානයේ සාමාජිකයෙක් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතියෙක් අද උදෑසන අත්අඩංගුවට ගත්තා. එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ කිලිනොච්චිය නගරය හමුදා පාලනයේ පවතින නගරයක්, එබැවින් උද්ඝෝෂණ කළ නොහැකි බව. කිලිනොච්චි නගරය සිවිල් පරිපාලන ප්‍රදේශයක් බවට පත් කළා කියලා ආණ්ඩුව ජාත්‍යන්තරයට කියනවා. නමුත් හමුදාව ප්‍රකාශ කරනවා මේක තවමත් හමුදා පාලන ප්‍රදේශයක් කියලා. මේක බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුත්තක්.

ආණ්ඩුව මේ වන විට බරපතල විදිහට හදිසි නීතිය උපයෝගී කොටගෙන හමුදාව ලවා සිවිල් ජනතාවගේ කටයුතු වලට බාධා කරමින් ඉන්නවා, ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරමින් ඉන්නවා. ඒ වගේම අද දින උද්ඝෝෂණයට පැමිණිලා ඉන්න අතුරුදහන් වූවන්ගේ දෙමව්පියන්ව විසුරුවා හරින්න හමුදාව කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු කිරීම නවත්වන්න, අත් අඩංගුවට ගත් අපගේ සාමාජිකයාත් සහ අතුරුදහන් වූවෙකුගේ ඥාතියාත් නිදහස් වහාම නිදහස් කරන්න, හදිසි නීතිය සහ හමුදාව යොදගෙන උතුරේ ගෙන යන මිල්ටරි පාලනය වහාම හකුළගන්න, ඒ වගේම අතුරුදහන් වූ තරුණ තරුණියන් තවදුරටත් නීති විරෝධිව අත් අඩංගුවේ තබාගෙන ඔවුන්ව නිදහස් කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා .”
———————————————————————————

පසුගිය යුධ සමයේ දී අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින්, අද (23) කිලිනොච්චි නගරයේ දී ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කර තිබෙන උද්ඝෝෂණයට සහභාගී නොවන ලෙසට, උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිත පවුල්වලට, ප්‍රදේශයේ හමුදා කඳවුරු වල සිටින හමුදාවෙන් බාධා එල්ල වෙන බව වාර්තා වේ. මෙහිදී හමුදා බුද්ධි අංශය විසින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ නිවෙස් වලට ගොස් උද්ඝෝෂණයට සහභාගී නොවන ලෙසට තර්ජනය කර ඇතැයි, අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානය පවසයි.

ඊයේ (22) සවස, අද උද්ඝෝෂණයට සහභාගී වීමට නියමිතව සිටි පවුල් කිහිපයක සාමාජිකයන් කිලිනොච්චියේ ‛ඩිපෝ’ හන්දියේ පිහිටා තිබෙන 16ක්‍ක්‍ෂ හමුදා කඳවුරට කැඳවූ හමුදා නිළධාරීන්, කිලිනොච්චිය තවමත් හමුදා පාලනයේ පවතින ප්‍රදේශයක් බවත්, එබැවින් හමුදාවගෙන් අවසරයක් නොමැතිව කිසිවෙකුට උද්ඝෝෂණ පැවැත්විය නොහැකි බවත් පවසා තිබේ.