Colombo, end of the War, Featured Articles, Features

ව්‍යාජ නමකින් ලබා ගත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයකින් එක්සත් රාජධානියට යාමට ආඥාපති කරුණාට, ගෝඨාභය ‛උදව් කළ’ අයුරු

කුමාර් ගුණරත්නම් සහ දිමුතු අට්ටිගල්ල යන පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායකයන් පැහැර ගෙන ගොස් මුදා හැරීම පිළිබඳ මතභේදය උත්සන්න වෙමින් පවතී.

Pic by – globaltamilnews.ne

ගෝඨාභය රාජපක්ෂ සහ ආඥාපති කරුණා

වැඩි අවධානය යොමු වන්නේ ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ සහ ඔහු කරන ලදැයි කියන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් සංචාරය කිරීම සහ වීසා පතේ කාලය ඉක්මවා රට තුළ රැඳී සිටීම යන වැරදි පිළිබඳව ය. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට ද දෝෂාරෝපණය කරමින් සිටී.

ගුණරත්නම් නොහොත් මුදලිගේ සහ ඔහු කරන ලදැයි කියන වැරදි පිළිබඳව යොමු කරන අවධානය තීරණාත්මක සාධක දෙකකින් අවධානය පිට පන්නයි.

පළමුව, හැඳුනුම් පත, විදේශ ගමන් බලපත්‍රය, වීසා බලපත්‍රය යනාදිය සම්බන්ධයෙන් ගුණරත්නම් කළ වැරදි සැබෑ ඒවා යැයි සැලකූ විට වුව සුදු වැන් රියකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් ඔහු පැහැර ගෙන ගොස් වධබන්ධන පැමිණවීම සහ ප්‍රශ්න කිරීම යුක්ති සහගත නො වේ.

දෙවනුව, ගුණරත්නම් කළැයි කියන වැරදි පිළිබඳව කරන නුවුවමනා අවධාරණය නිසා මේ සිද්ධියේ දී රාජ්‍ය ත්‍රස්තවාදය කළ ප්‍රධාන ක්‍රියාව වන දිමුතු ආටිගල පැහැර ගෙන යාම යට ගැසේ. ඈ කොළඹ හිඳ විවෘතව දේශපාලන කටයුතුවල නියැළුණු දේශපාලන ක්‍රියාකාරිනියක් වූවා ය.

වෙනස් නමකින් ලබා ගත් වීසා බලපත්‍රයක කාලය ඉක්මවා රට තුළ රැඳී සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වී ය යන පදනම මත ගුණරත්නම්ගේ පැහැර ගෙන යාම ගැන නිදහසට කරුණු කියත් නම් දිමුතුගේ පැහැර ගෙන යාම ගැන රාජ්‍යයට කිව හැකි නිදහසට කරුණ කුමක් ද? ඈ වීසා බලපත්‍රයේ කාලය ඉක්මවා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි වෙනස් නමක් ගත් විදේශික තැනැත්තියක් නො වූවා ය. ඇය සුදු වෑන් රියකින් පැහැර ගෙන ගියේ මක් නිසා ද?

ගුණරත්නම් කළැයි කියන වැරදි ගැන බෙහෙවින් මත පළ කරන්නේ දිමුතු ආටිගලගේ පැහැර ගෙන යාමේ බරපතළකම වසං කිරීමට විය හැකි ය. නිර්මාණය කෙරෙමින් පවත්නේ අපහසුවක් ඇති නොවන කූටෝපායකි.

වෙනස් නමකින් වීසා බලපත්‍රයක් ලබා ගෙන ගුණරත්නම් කළ “වරද” ගැන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශීලාචාර කෝපයකින් කැකෑරෙමින් සිටී. මෙහි දී සිදු වුණු දෑ පිළිබඳ නිශ්චිත තොරතුරු මේ මොහොතේ මා නොදන්නා නමුත් ප්‍රවෘත්ති වාර්තාවලින් පෙන්නුම් කෙරෙන්නේ නම වෙනස් කිරීම නීත්‍යනුකූල වූ බව යි.

එහෙත් ව්‍යාජ නම්වලින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා පුද්ගලයන් ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් පළ වන නොරිස්සුම සහ කෝපාග්නිය මා ප්‍රීතියට පත් කරයි. අනෙකුන් වෙත ඇඟිල්ල දිගු කරන ගමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සැලකිල්ලට ගත යුත්තේ සිව් වසරකට පෙර තමන්ට එරෙහිව ද මීට සමාන චෝදනා එල්ල වුණු බව යි.

මා සඳහන් කරන්නේ සැබෑ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් යොදා ගෙන ව්‍යාජ නමකින් බ්‍රිතාන්‍යයට යාමට දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ නැගෙනහිර පළාත්බද අණ දෙන නිලධාරී විනයාගමූර්ති මුරලිදරන්ට නොහොත් ආඥාපති කරුණාට උදව් කිරීමේ දී ආරක්ෂක ලේකම්වරයා ඉටු කළ බව කියන කාර්ය භාරය ගැන යි.

තක්කු මුක්කු වූයේ කරුණා අත් අඩංගුවට ගෙන, රඳවා තබා, බ්‍රිතාන්‍ය උසාවියක දී වැරදිකරු කෙරුණු පසුව ය.

රංජිත් ජයසුන්දර 2008 පෙබරවාරි 3 දා “සන්ඩේ ලීඩර්” පුවත්පතට ලියූ තියුණු ලිපියක දී මෙම පලහිලව්ව පිළිබඳ තොරතුරු ඉපැහැදිලිව විස්තර කෙරිණ. එය පළ වූයේ “කරුණා පිළිබඳ සිද්ධිය එළිදරව් වේ” යන මැයෙනි. එවකට කර්තෘත්වය දැරුවේ ලසන්ත වික්‍රමතුංග ය.

“‛ආඥාපති’ කරුණා බ්‍රිතාන්‍යයේ දී ආඥාපති ගෝඨාභය රාජපක්ෂ එළිදරව් කළ අයුරු” යන මැයෙන් නිසි අගය කිරීමක් ද සහිතව මම එම මුළු ලිපිය ම මගේ “ට්‍රාන්ස්කරන්ට්ස්” වෙබ් අඩවියට තැපැල් කළෙමි.

රංජිත් ජයසුන්දර ලියූ එම “සන්ඩේ ලීඩර්” ලිපිය ම මම දැන් නව මැයක් සහිතව මගේ බ්ලොග් පිටුවෙහි යළි පළ කරන්නෙමි.

මිතුරනි මෙන්න එය – ඩී.බී.එස්. ජෙයරාජ්

ව්‍යාජ නමකින් ලබා ගත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයකින් එක්සත් රාජධානියට යාමට ආඥාපති කරුණාට ගෝඨාභය ‛උදව් කළ’ අයුරු

රංජිත් ජයසුන්දර විසිනි

පසු ගිය සිකුරාදා බ්‍රිතාන්‍ය උසාවියක දී කරුණා අම්මාන්ට දඬුවම් නියම කිරීම නිසා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හිටි හැටියේ උභතෝකෝටික නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න රැසකට මුහුණ පා ඇත. කරුණා හොර රහසේ එක්සත් රාජධානියට පැටවීමට ආණ්ඩුව පෙරමුණ ගත් බව ඔප්පු කිරීමට සියලු මූලාශ්‍රවලින් කොතරම් සාක්ෂි ගොනු කර ගෙන තිබෙන්නේ ද යත් ඇති වන්නට යන ජාත්‍යන්තර ප්‍රතිවිපාක කෙටි කලකින් මග හැරිය නොහැකි වනු ඇත.

වාණිජමය වශයෙන් අතිසාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක විලාසයෙන් කරුණා ශ්‍රී ලංකාවෙන් පිටව යාම පිළිබඳව අතිශය සිත් කා වදිනසුලු සිතුවමක් ඇඳ ගැනීමට, බ්‍රිතාන්‍ය අධිකාරීන් හමුවේ කරුණා කළ ප්‍රකාශය හැරුණු විට (මින් උපුටා ගත් වැදගත් කොටස් සන්ඩේ ලීඩර් පුවත්පත සතු ය), ඇසින් දුටු සාක්ෂිකරුවන් අතර සිටින කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් සහ ආගමන නිලධාරීන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවලින් සමන්විත අප කළ විමර්ශන ද ප්‍රයෝජනවත් වී ඇත.

ප්‍රමුඛ මිනිසා

කරුණා පවසන පරිදි, ක්‍රියාකාරකම මෙහෙයවූ ප්‍රමුඛ මිනිසා වූයේ අනෙකෙකු නො ව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. සන්ඩේ ලීඩර් පුවත්පත කළ විමර්ශනවලින් පෙනී යන පරිදි, අඩු ගණනේ ආරක්ෂක ලේකම් රාජපක්ෂ තරම් බලවතෙකුගේ අනුමැතියෙන් තොරව එතරම් දේශීය සහ ජාත්‍යන්තර නීති එක පැහැර කඩ කළ හැකි වූයේ කෙසේ දැයි ඔප්පු කිරීමට යාමෙන් ආණ්ඩුව අමාරුවේ වැටෙනු ඇත.

එක්සත් රාජධානිය බලා යාම සඳහා තමන් මුල් වරට ආයාචනය ඉදිරිපත් කළේ “ආණ්ඩුව සමග සමගි වුණු” එල්ටීටීඊයෙන් “කැඩී ගිය කණ්ඩායමක” නායකයා ලෙස තමන් ගැන දැන හඳුනා ගෙන සිටි ආරක්ෂක ලේකම්වරයා වෙත බව කරුණා බ්‍රිතාන්‍ය පොලීසියට පැවසී ය.

ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසී තම පවුලේ අය බැහැ දැකීම සඳහා එංගලන්තය බලා යාමට පහසුකම් සපයන්නැයි ඉල්ලා සිටි බව කරුණා පවසයි. ඒ සියලු කටයුතු බලා ගන්නම් යැයි රාජපක්ෂ එකඟ වුණු බව පැවසෙන අතර, එතැන් පටන් තමන් බාධාවකින් තොරව කටයුතු කර ගත් බව කරුණා පවසයි.

සිදුවීම් පිළිබඳ මෙම විස්තරය පසු ගිය නොවැම්බරයේ සන්ඩේ ලීඩර් පුවත්පතෙහි පළ වුණු ලේඛනගත සාක්ෂි සමග නො ගැළපේ. පුවත්පත පෙන්වා දෙන්නේ, කරුණා එක්සත් රාජධානියට යැවීම පිළිබඳ අදහස පහළ වූයේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද, ඒෂියන් ට්‍රිබියුන් පුවත්පතේ කර්තෘ කේ.ටී. රාජසිංහම් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ජිනීවාහි දී සිදු වුණු හමුවක දී බව යි.

කරුණා ප්‍රයෝජනවත් නිසා ඔහු මුදා හරින්නැයි 2007 ජූනි 15 දා හමුවේ දී රාජසිංහම් යෝජනා කළ අතර, අවශ්‍ය ආරක්ෂක බලධාරීන්ට කතා කොට එතැන් සිට අවශ්‍ය විධිවිධාන යොදන්නෙමැයි ජනාධිපති රාජපක්ෂ පිළිතුරු දී තිබිණ.

‛අපරාධයෙහි හවුල්කරුවෝ’

කෙසේ වුව ද විධායක ජනාධිපතිවරයා සහ ඔහුගේ බාල සොහොයුරු ආරක්ෂක ලේකම්වරයා අතර විවාදයට ලක්ව තිබුණු කාරණා විසඳුණෙන් ආණ්ඩුමය යන්ත්‍රණයේ දැති රෝද කැරකෙන්නට පටන් ගත්තේ ය. 2007 අප්‍රේල් 30 දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව “කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන” නමට D1944260 දරණ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අංකය නිකුත් කළේ ය. විදේශ ගමන් බලපත්‍රයෙහි ඔහුගේ රැකියාව සඳහන් වූයේ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙනි.

විදේශ ගමන් බලපත්‍රයෙහි තිබුණු ඡායාරූපය කරුණාගේ විය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පාලනය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධුරය දරන ජනාධිපති රාජපක්ෂ අමාත්‍ය ධුරය දරන ආරක්ෂාව, මහජන සුරක්ෂිතතාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ බව මෙහි ලා සඳහන් කිරීම උචිත ය.

විදේශ ගමන් බලපත්‍රය සැබෑ එකක් නොවන බව යළි යළිත් පවසමින් විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම බෙරිහන් දුන්න ද එය සැබෑ එකක් බව අපගේ විමර්ශනවලින් ඔප්පු විය. බ්‍රිතාන්‍ය නිලධාරීන් වලංගු විදේශ ගමන් බලපත්‍ර හඳුනා ගැනීම සඳහා දැනට පවත්නා අතිනවීන තාක්ෂණයන් ද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් සපයා ඇති මාර්ගෝපදේශ ද යොදා ගෙන ඇති බවත් ඒ නිසා (ඔවුන් සන්තකව ඇති) කරුණාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය මුද්‍රණය කොට තිබෙන්නේ මුළුමනින් ම වලංගු ලෙස යැයි ඔවුන්ට නිසැක බවත් සන්ඩේ ලීඩර් පුවත්පත සොයා ගත්තේ ය. ශ්‍රී ලංකාවෙහි තිබුණු සියලු වාර්තා විනාශ කෙරුණා විය හැකි ය.

බ්‍රිතාන්‍ය පොලීසියට කළ සිය ප්‍රකාශයේ දී කරුණා ම ද පෙන්වා දුන්නේ “ශ්‍රී ලංකාවේ දී ආණ්ඩුවේ සහාය නැතිව කිසිවෙකුට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර ලබා ගත නොහැකි” බව යි. විදේශ ගමන් බලපත්‍රය නිර්මාණය කෙරුණු පසුව එය විදේශ අමාත්‍යාංශය වෙත යැවිණ. අනතුරුව විශ්වසනීය නිලධාරීහු අංක D1944260 විදෙශ ගමන් බලපත්‍රය සමග යැවුණු තෙවන පාර්ශ්වීය සටහන සහ තවත් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ඍජුව විදේශ අමාත්‍යාංශයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත යවා, ඇතුළත් කර ඇති පුද්ගලයන්ට එක්සත් රාජධානියෙහි පැවැත්වෙන දේශගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුවකට සහභාගි වීම සඳහා වීසා බලපත්‍ර ප්‍රදානය කරන මෙන් ඉල්ලා සිටියේ ය.

ආණ්ඩු දෙක අතර පවත්නා අවබෝධාත්මක විශ්වාසය පදනම් කර ගෙන අයැදුම් පත් නිසි පරිදි ක්‍රියාවලිගත කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2007 සැප්තැම්බර් 5 දා කරුණාගේ විදේශ ගමන් බලපත්‍රයට මාස හයක බහුවිධ පිවිසුම් වීසා බලපත්‍රයක් නිකුත් කළේ ය. පසුව තානාපති කාර්යාලය වෙත ගිය විදේශ අමාත්‍යාංශ නිලධාරීහු එය රැගෙන ආහ.

ප්‍රභූතම පුද්ගලයෙකුට (වී.අයි.පී.) මෙන් සැලකීම

වීසා බලපත්‍රය නිකුත් කෙරුණු පසුව, සැප්තැම්බර් 18 දාට ඔහුට පිටත් වීම සඳහා සූදානම් කර තිබුණු චාරිකා සැලසුම ක්‍රියාත්මක කෙරිණ. ආරක්ෂක සංස්ථාපිතය යටතේ පවතින හමුදා බුද්ධි අංශයෙන් පරිවාර පුද්ගලයෙකු ද තමන්ට සමාන පෙනුමැති පුද්ගලයෙකු ද කරුණාට ලැබිණ. කොළඹ පිහිටි සිය රහසිගත නවාතැනේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඔහු කැටුව ගියේ එම පුද්ගලයන් දෙදෙනා ය.

කරුණා ගුවන් තොටුපළ බලා යමින් සිටිය දී ගුවන් තොටෙහි නොයෙක් නිලධාරීන්ට උපදෙස් ලැබුණේ අතිප්‍රභූතම පුද්ගලයන් (වී.වී.අයි.පී.) සඳහා සැපයෙන අනන්‍යතාව හෙළි නොකළ චාරිකාවක් සම්පාදනය කරන ලෙස ය. දෝෂාභියෝගයට ලක් කළ නොහැකි මූලාශ්‍ර සන්ඩේ ලීඩර් පුවත්පත හමුවේ තහවුරු කළේ, ගුවන් තොටේ දී කරුණාට සහාය වන ලෙස ජනාධිපතිගෙන් උපදෙස් ලද්දවුන් අතර නාලක බමුණුසිංහ (එවකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ – ඒ.ඒ.එස්.එල්. – අධ්‍යක්ෂ සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්) සහ ශාලිත විජේසුන්දර (එවකට උපසභාපති) සිටින බව යි.

පෙ.ව. 1.45ට පමණ ප්‍රධාන ගුවන් හමුදා මුර පොළේ දී කරුණාගේ රථය සමග සන්නද්ධ ගුවන් හමුදා ආරක්ෂක රථයක් එක් වුණු අතර, ගුවන් තොටුපළ ප්‍රධාන මාර්ගය දිගේ ආරක්ෂා සහිතව එකට ගමන් කළ රථ පෙළ, පිටත් වීමේ පර්යන්තය පසු කර ගොස්, පැමිණීමේ පර්යන්තයට කලින් වමට හැරී, වී.අයි.පී. විවේකාගාරය කරා දිවෙන පටු මගකට අවතීර්ණ විය.

ඇසින් දුටු සාක්ෂිකරුවෝ

මේ මොහොතේ දී කරුණා තම හමුදා බුද්ධි අංශ ආරක්ෂකයන් දෙදෙනාත් සමග වාහනයෙන් බසිනු තමන් සියැසින් දුටු බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ තහවුරු කළහ. එක් බුද්ධි අංශ නිලධාරියෙක් පිරිස එන තෙක් පොරොත්තු වෙමින් සිටි ගුවන් තොටුපළ උපසභාපති ශාලිත විජේසුන්දර වෙත කරුණා භාර කළ අතරවාරයේ කරුණාට සමාන පෙනුමැති පුද්ගලයා ඒ මොහොතේ වී.අයි.පී. විවේකාගාරයේ රාජකාරියෙහි යෙදී සිටි ආගමන නිලධාරියාට කතා කරනු වස් විජේසුන්දර පසු කර ඉදිරියට ගියේ ය. අනතුරුව විජේසුන්දර ආගමන මග හරහා කරුණා කඩිනමින් රැගෙන ගිය අතර, ඔවුන්ගේ රැකවරණය පිළිබඳ වගකීම ගුවන් තොටුපළ උපසභාපතිවරයාට භාර කරමින් බුද්ධි අංශ නිලධාරීහු දෙදෙනා පසුබැස්සහ.

මේ අතරතුර ලන්ඩනය බලා යන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යූ.එල්. 505 ගුවන් යානය සැප්තැම්බර් 18 දා පැය 0215ට පිටත් වීමට නියමිතව තිබිණ. සියලු මගීන් යානයට ගොඩව සිටි අතර, ගුවන් යානය ධාවන පථය හරහා පිහිටා ඇති ගුවන් පාලම යට ගාල් කෙරිණ. ප්‍රභූතම පුද්ගලයෙකු ගුවන් යානයට ගොඩ වීමට යන නිසා සියලු මගීන් සන්සුන්ව සිටිය යුතු යැයි ඉල්ලමින් මගී නිවේදනයක් නිකුත් විය.

ගුවන් යානයේ මැදිරි කාර්ය මණ්ඩලය ලාභදායී ම පන්ති මැදිරිය ව්‍යාපාරික පන්ති මැදිරියෙන් වෙන් කරන තිර වසා දැමීමට ක්‍රියා කළේ ය. මගීන් සාමාන්‍යයෙන් ගොඩ වන්නේ ගුවන් යානයේ වම් පසින් බව සියලු ගුවන් මගීහු දනිති. කෙසේ වුව ද පැය 0205ට පමණ, ගුවන් යානය ගුවන් පාලම යටින් ඉවත්ව යාමට කලින්, ඉදිරි දකුණු පස පිහිටි දොර විවෘත කොට හදිසි අවස්ථාවල දී පාවිච්චියට ගන්නා ඉණිමං වාහනයක් ගුවන් යානයට සම්බන්ධ කෙරිණ.

ගුවන් යානය තෙක් රැගෙන යාම

කරුණා සහ ශාලිත විජේසුන්දර රැගත් වාහනයක් ඉණිමං වාහනය කරා පදවා ගෙන ගොස් නතර කෙරිණ. දෙදෙනා වාහනයෙන් බැස, විජේසුන්දර ම කරුණා කැටුව ඉණිමග දිගේ නැග ගුවන් යානයට ගොඩ විය. කරුණා වාඩි කොට බඳ පටියේ ගාංචුව ලෑ පසුව විජේසුන්දර අංක D1944260 දරණ සුප්‍රකට විදේශ ගමන් බලපත්‍රය පෙන්වා එය ඔහුට දුන්නේ ය. විජේසුන්දර ගුවන් යානයෙන් පිට වන්නට කලින් කරුණා හිස සලා ඔහුට ප්‍රශංසා කළේ ය.

එල්ටීටීඊයෙන් ද අනතුරුව ආණ්ඩුවෙන් ද වාසි භුක්ති විඳි කරුණාට වසර කිහිපයක් තිස්සේ දැක්වුණු වී.අයි.පී. සැලකිල්ල මෙලෙස අවසන් විය. විජේසුන්දර ගුවන් යානයෙන් බිමට බැස්සේ ය, ඉණිමග පස්සට ඇදුණේ ය, අහස් යානයේ දොර වැසිණ, ව්‍යාපාරික පන්ති මැදිරියේ පළමු පෙළෙහි අසුන් ගත් කෝකිල ගුණවර්ධන නොහොත් විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් කැටුව යූ.එල්. 505 ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිම්මේ පියාසර කිරීම ආරම්භ කළේ ය.

කරුණා පොලීසිය හමුවේ කළ ප්‍රකාශය මෙම සිදුවීම් මාලාව සැබෑ බව ඔප්පු කරන අතර එතැන් සිට සිදු වුණු දෑ පිළිබඳ විත්තිය පවසයි. තමිල් මක්කල් විඩුදලෙයි පුලිකල් (ටී.එම්.වී.පී.) හිටපු නායකයා හීත්‍රෝ ගුවන් තොටේ 4 වන පර්යන්තයේ දී යූ.එල්. 505 ගුවන් යානයෙන් ගොඩ බට නමුත් එහි කිසිදු විශේෂ පිළිගැනීමක් නො වී ය. ඔහු ගුවන් තොටේ සාමාන්‍ය ආගමන මග දිගේ ඉදිරියට ගිය අතර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය දුටු ආගමන නිලධාරියා කිසිදු ප්‍රශ්න කිරීමක් නො කර සහ ගොඩ බැසීම් පතක් නො සකසා කරුණාට එතැන පසු කර යාමට ඉඩ දුන්නේ ය.

කූටෝපාය වරදී

සැප්තැම්බර් 18 දා පෙ.ව. 9:30ට පමණ ලන්ඩන් කුලී රියකින් කරුණා ගුවන් තොටෙන් පිටව ගිය අතර, ඔහු ගියේ ඉන් සති හයකට මඳක් ඔබ්බේ දී ඔහු අත් අඩංගුවට පත් වුණු සිය කෙන්සිංටන් නිවසට බව පමණක් සිතා ගත හැකි ය.

කරුණා සිටින බවට ඉඟියක් ලැබ සහ කරුණාගේ ලන්ඩන් කෙන්සිංටන් තට්ටු නිවාසයෙහි නිවැරදි ලිපිනය සැපයී බ්‍රිතාන්‍ය පොලීසිය තට්ටු නිවාසය වට ලෑවේ ය, කරුණා රඳවා තබා ගෙන ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය තහනම් කළේ ය, එක්සත් රාජධානියට නීති විරෝධී ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් 1974 ආගමන සහ රැකවරණ පණත යටතේ ඔහුට ලියකියවිලි භාර දුන්නේ ය. අනතුරුව කොලිංවුඩ් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගිය කරුණා වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන තෙක් එහි රඳවා තැබිණ.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය පරීක්ෂා කළ අවස්ථාවේ පරීක්ෂකයෝ විස්මයට පත් වූහ. කරුණාගේ විදේශ ගමන් බලපත්‍රය නීත්‍යනුකූල වූ බැවින් අතිප්‍රබල පරීක්ෂාවකට ලක් කළ ද ව්‍යාජ ලේඛනයක් බවට කිසිදු සලකුණක් සොයා ගත හැකි නො වී ය. කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිල වශයෙන් නිකුත් කරන ලද්දක් වූ බැවින් ඔහුගේ වීසා බලපත්‍රය ද වලංගු එකක් විය.

කරුණා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට කිසිදු අසත්‍ය ප්‍රකාශයක් කර නොතිබිණ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ස්තුති වන්නට ඔහුගේ වීසා බලපත්‍රය සම්පාදනය කිරීමේ දී ඔහු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නොතිබිණ.

ඔහුගේ වීසා බලපත්‍රය ප්‍රදානය කෙරුණේ රාජ්‍ය තාන්ත්‍රික සහ වී.අයි.පී. චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විධිමත් ලෙස නිකුත් කළ තෙවන පාර්ශ්වීය සටහනක යෝග්‍යතාව සැලකිල්ලට ගෙන ය යන කරුණ නිසා, කරුණා ආගමන නීතිය යටතේ වරදක් කළ බව ඔප්පු කිරීම නඩු පවරන්නෙකුට මුළුමනින් ම පාහේ කළ නොහැකි දෙයක් බවට පත් වේ.

අවසානයේ, බ්‍රිතාන්‍ය පොලීසිය සැලසුමක් හදා ගත්තේ ය. දෙසැම්බර් 22 දා කොලිංවුඩ් රැඳවුම් මධ්‍යස්ථානයේ දී කරුණා කැඳවූ නිලධාරීහු 2006 අංක 15 දරණ හැඳුනුම් පත් පණතේ 25 වන වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු නීත්‍යනුකූලව ‛අත් අඩංගුවට ගත්තේ ය’. අනතුරුව කරුණා හීත්‍රෝ පොලිස් ස්ථානය වෙත ගෙන ගිය අතර “නියත අභිප්‍රායක් සහිතව ව්‍යාජ අනන්‍යතා ලියවිල්ලක් සතු කර ගැනීම” සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ගැනිණ.

චෝදනාවෙන් අදහස් වූයේ කරුණා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සතු කර ගත්තේ තම අනන්‍යතාව සැඟවීම සඳහා යොදා ගැනීමේ අභිප්‍රායෙන් බව වන අතර ඒ සඳහා වසර 10ක උපරිම සිර දඬුවමක් නියම කළ හැකි විය. කරුණා සිය ප්‍රකාශයේ දී තම නම කෝකිල ගුණවර්ධන නොවන බව පිළිගත් අතර තම සැබෑ අනන්‍යතාව හෙළි කළේ ය. (කරුණා උසාවියේ දී කළ ප්‍රකාශයෙන් උපුටා ගත් කොටස් සඳහා මෙහි ඇතුළත් කොටුව බලන්න.)

පිළිගනී

එමෙන් ම, තමන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නොවන බව, දේශගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුවකට සහභාගි නොවන බව සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවන බව ද කරුණා එක හෙළා පිළිගත්තේ ය. කෙටියෙන් කිව හොත්, එල්ටීටීඊයේ හිටපු නියෝජ්‍ය නායකයා තමන් පිළිබඳ මුළු කතන්දරය ම පොලිස් නිලධාරීන්ට හෙළි කළේ ය.

කරුණා තමන්ට පැවසූ කවර හෝ කරුණකට විරුද්ධව තර්ක කළ හැකි කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය නිලධාරීන් අසමත් වුණු අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට කලින් ඔහු කවර හෝ බ්‍රිතාන්‍ය නිලධාරියෙකු සමග කවර හෝ වෙනත් වාර්තාගත ස්වරූපයක ලිඛිත හෝ වාචික අදහස් හුවමාරුවක යෙදී නොතිබුණු නිසා එක්සත් රාජධානි හැඳුනුම් පත් පණතේ 25 (1) වගන්තියෙන් පැනවෙන නියත අභිප්‍රාය කරුණාට තිබුණේ දැයි පරීක්ෂා කොට ඔප්පු කිරීමේ අවදානමට පරීක්ෂකයෝ මුහුණ පෑහ.

පණතේ දී නියත අභිප්‍රාය අර්ථ නිරූපණය කෙරෙන්නේ “තමන් පිළිබඳව ලියාපදිංචි කළ හැකි තොරතුරු තහවුරු කරන ලියවිල්ල යොදා ගැනීමේ අභිප්‍රාය” යනුවෙනි. තමන් පිළිබඳව තොරතුරු ලියාපදිංචි කිරීම සඳහා තම විදේශ ගමන් බලපත්‍රය යොදා ගැනීමට කරුණා සැලසුම් කළ බවට සාක්ෂි නොමැති වීම නිසා බ්‍රිතාන්‍යයන් කරුණාට චෝදනා කළේ හැඳුනුම් පත් පණතේ 25 (5) වගන්තිය යටතේ “අනෙකෙකුට අදාළ අනන්‍යතා ලියවිල්ලක්” “යුක්ති සහගත නිදහසට කරුණකින් තොරව තමන් සතු කර ගැනීම” සම්බන්ධයෙන් පමණකි.

බෙහෙවින් අඩු බරපතළකමකින් යුතු මෙම වරදට නියම කළ හැකි වූයේ මාස 24ක උපරිම සිර දඬුවමක් පමණකි. කෙසේ වුව ද නඩුව ඔප්පු කළ නොහැකි වූ අතර, රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සතු කර ගැනීම සම්බන්ධයෙන් තමන්ට “යුක්ති සහගත නිදහසට කරුණක්” නොපවතින බව හොඳින් ම දැන කරුණා වරද පිළිගත්තේ ය.

දඬුවම

ජනවාරි 25 වන සිකුරාදා කරුණාට නව මසක සිර දඬුවමක් නියම කෙරුණු අතර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට කාලය ලැබිණ.

කරුණාගේ පැන යාමට සම්බන්ධ නැතැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යළි යළිත් කරන ප්‍රතික්ෂේප කිරීම අනුකම්පා සහගත ය, සාහසික ය, නිරර්ථක ය. නඩුවට අදාළ තොරතුරු පිළිබඳව අදහස් දැක්වීම එක දිගට ම ප්‍රතික්ෂේප කරන නමුත් කරුණාගේ විදේශ ගමන් බලපත්‍රය තම පරිශ්‍රය වෙත ගෙනැවිත් භාර දුන්නේත් එහි සිට රැගෙන ගියේත් විදේශ අමාත්‍යාංශ නිලධාරීන් බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සාක්ෂි සපයා ඇත.

පවත්නා සියලු උපක්‍රම උපයෝගී කර ගත්ත ද කරුණාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස තැනූවක් බවට කිසි යම් ම හෝ සාක්ෂියක් බ්‍රිතාන්‍යයෙහි පරීක්ෂකයන් සොයා ගෙන නැත. මෙම සුවිශේෂ හෙළිදරව්ව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය අනුගමනය කරන ආගමන ප්‍රතිපත්තිය කෙරෙහි අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කරයි. කරුණාගේ පැන යාම සමග කිසි ම සම්බන්ධයක් නැතැයි ආණ්ඩුව කරන ප්‍රකාශය විශ්වාස කරන්නේ නම් ඉන් අදහස් වන්නේ එක්සත් රාජධානි අධිකාරීන් පමණක් නො ව ශ්‍රී ලංකාවේ ආගමන නිලධාරීන් ද මුළා කිරීමට තරම් ප්‍රමාණවත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස තනා ගැනීමට කරුණා සමත් වුණු බව යි.

ආරක්ෂක පිරික්සුම්වලින් පිරුණු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී, විශේෂයෙන් ම වී.අයි.පී. විවේකාගාරයේ දී සැකයක් ඇති නොවන පරිද්දෙන් ලියවිලි ඉදිරිපත් කොට, කරුණාට යූ.එල්. 505 ගුවන් යානයට නැග ගත හැකි වූයේ කෙසේ ද?

පණිවුඩය

කිසි යම් ම ශ්‍රී ලාංකික ආගමන නිලධාරියෙකු කරුණා හඳුනා ගෙන නැද්ද, ඔහු වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා නොවන බව හොඳින් ම දැන සිට නැද්ද? මෙය විය හැකි නම්, මුහුදු කොටි අණ දෙන නිලධාරී සුසේ හෝ එල්ටීටීඊ බුද්ධි අංශ ප්‍රධානී පොට්ටු අම්මාන් වැනි එතරම් හුරු පුරුදු නොවන පුද්ගලයෙකු ව්‍යාජ ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තනා ගෙන තමන් රිසි පරිදි රට තුළට ඒම සහ රටින් පිටව යාම වැළැක්විය හැකි කිසි ක්‍රමයක් නැත. වඩා වැදගත් කරුණ නම් සම්බන්ධයක් නැතැයි ප්‍රතික්ෂේප කිරීම හරහා ආණ්ඩුව ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රවල මුහුණත වටිනාකම බැරෑරුම්ව සැලකිල්ලට නො ගත යුතු බවට පැහැදිලි පණිවුඩයක් යවා ඇත යන්න යි.

ආරක්ෂක ලේකම් රාජපක්ෂ, මෙහෙයුමේ මහ මොළකාරයා බවට සහ අවකාශ ඇති පරිදි එක්සත් රාජධානියට යාමට සහ එහි සිට ඒමට හැකි යැයි කරුණාට පොරොන්දු වුණු බවට චෝදනා ලැබ, උසාවියේ දී තමන්ට චෝදනා එල්ල වුණු පසුව ඉන්දු-ආසියානු පුවත් සේවය (අයි.ඒ.එන්.එස්.) හමුවේ සැබෑ අගනා ප්‍රකාශයක් කළේ ය.

කරුණාගේ ප්‍රකාශය තහවුරු කිරීම

රාජපක්ෂ කරුණාගේ ප්‍රකාශය තහවුරු කිරීම ආරම්භ කළේ තම පවුලේ අය සමග එංගලන්තයට සංචාරය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කරුණා සැබවින් ම තමන්ට හමුවට පැමිණි බව පිළිගනිමිනි. “මිත්‍රශීලී තෙවන රටක” අනුග්‍රහය ලබා ගැනීම සඳහා කරුණාට සහාය වීමට තමන් උත්සාහ කළ බව ඔහු තහවුරු කළේ ය. “මේ කාරණය සම්බන්ධයෙන් කරුණාට උදව් කිරීමේ අදහස මා පසුව අත හැර දැම්මා. ඒක සිද්ධ වුණේ බොහොම කාලෙකට ඉස්සර,” ඔහු සිහිපත් කළේ ය.

දෙදෙනා කුලුපග බව පිළිගැනීමෙන් ඒ වන විටත් තම පයට වෙඩි තබා ගෙන සිටි නොවළහා කතා කරන ආරක්ෂක ලේකම්වරයා අනතුරුව පළපුරුදු මිලිටරි වෙඩික්කරුවෙකුගේ කුසලතාවෙන් යුතුව තම පා ඇඟිලි එකින් එකට වෙඩි තබා ගත්තේ ය.

“ඔහු ශ්‍රී ලංකාවේ දී ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙද්දී මා ඔහු පිටත් කොට යවන්නේ මොකට ද?” රාජපක්ෂ ප්‍රශ්න කළේ ය. ආරක්ෂාව, මහජන සුරක්ෂිතතාව, නීතිය හා සාමය පිළිබඳ ලේකම්වරයාට නිරායුධ පොලිස් නිලධාරින් 700කට වැඩි ගණනක් පෙළ ගස්වා අමු අමුවේ මරා දැමූ මිනිසෙකුගෙන් ඇති ප්‍රයෝජනය කුමක් දැයි තීරණය කිරීම අපි පාඨකයන්ට භාර කරන්නෙමු.

තම ආණ්ඩුවේ රැකවල යටතේ කරුණාට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් පිරිනැමුණේ කෙසේ ද යන ප්‍රශ්නය මග හැර ගිය ආරක්ෂක ලේකම්වරයා කරුණා බ්‍රිතාන්‍ය වීසා බලපත්‍රයක් ලබා ගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය මතු කර අවධානය වෙනතකට යොමු කළේ ය. “කරුණා විදේශ ගමන් බලපත්‍රය ලබා ගත්තේ කෙසේ දැයි මා දන්නේ නැහැ. හැබැයි මට හිතෙන හැටියට නම් ඇසිය යුතු ප්‍රශ්නය වෙන්නේ ඔහු බ්‍රිතාන්‍ය වීසා බලපත්‍රයක් ලබා ගත්තේ කොහොම ද කියන එක යි.” බ්‍රිතාන්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට වඩා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පහසු යැයි නොදැනුවත්ව ඉඟි කිරීමෙන් රාජපක්ෂ කළේ ඒ පිළිබඳව පරිස්සමින් සිතා බැලීමට අයි.ඒ.එන්.එස්. යොමු කිරීම යි.

“බ්‍රිතාන්‍ය වීසා බලපත්‍රයක් ලබා ගන්න ලේසි නැහැ. සියුම් පරීක්ෂාවන් රැසක් සිදු වෙනවා. වීසා බලපත්‍රය ලබා ගන්න උත්සාහ කරන තැනැත්තා ආණ්ඩුවේ ඇමතිවරයෙකු නො වේ නම් ඔහුට සිදු වෙනවා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගිහින් සවිස්තරාත්මක සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න. මේක වෙන්නේ එහෙම නම් කරුණාට වීසා බලපත්‍රයක් ලබා දුන්නේ කොහොම ද?” ඔහු ඇසුවේ ය. ඒ කෙසේ දැයි අපි හොඳින් දනිමු. එය සිදු වූයේ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහයෙනි.

බොළඳ සිතා බැලීම්

මෙලෙස ආරක්ෂක ලේකම්වරයා ද එල්බ ගෙන සිටින්නේ වීසා බලපත්‍රය ලබා ගැනීමට කරුණාට උදව් කිරීම සමග ආණ්ඩුවට කිසි සම්බන්ධයක් නැතැයි යන මතයෙහි ම ය. ඒ රාජපක්ෂ ද ඒ ගැන කතා කළ විදේශ ඇමති බෝගොල්ලාගම ද කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ලියවිලිවලට එරෙහිව තමන් කී දෑ මහජනයා විශ්වාස කරතැයි අපේක්ෂා කරතත් දුරකථන වාර්තාවලින්, අධිකරණ වෛද්‍ය වාර්තාවලින් සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් කරන විස්තර කිරීම්වලින් කෙරෙන්නේ ඔවුන්ගේ බොළඳ සිතා බැලීම් සහ ඔවුන් කුරිරු ලෙස ජාත්‍යන්තර සම්බන්ධතා නො තකා හරින බව තව දුරටත් ඔප්පු වීම පමණකි.

කරුණාට ආධාර කිරීම පිළිබඳව බ්‍රිතාන්‍යයන් උසාවියේ දී තමන්ට චෝදනා කර ඇතැයි සාවද්‍ය අනුමානයක යෙදෙමින්, අයි.ඒ.එන්.එස්. සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී රාජපක්ෂ තමන්ගෙන් ප්‍රශ්න කරන්නැයි බ්‍රිතාන්‍ය අධිකරණයට ද ආරාධනා කළේ ය. “විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්න මා කරුණාට උදව් කළා යැයි පළමුව මගෙන් ඇත්ත නැත්ත විමසා බලන්නේ නැතුව බ්‍රිතාන්‍ය අධිකරණය පවසා තිබීම වැරදි යි.”

බ්‍රිතාන්‍ය අධිකාරීන්ට ආරම්භයක් වුවමනා කරන්නේ නම් ඔන්න දැන් අඩුවකින් තොරව ගෝඨාභයගෙන් එය ලැබී තිබෙන්නේ ය.

රංජිත් ජයසුන්දර[Ranjith Jayasundera]

[www.dbsjeyaraj.com වෙබ් අඩවියේ පළවූ How Gotabhaya ‘helped’ Col. Karuna go to UK on a diplomatic passport under a false name ලිපියේ සිංහල පරිවර්තනයයි]