සිංහල, Democracy, Governance, Human Rights, Kurunegala, Life quips, Peace and reconciliation

ඒ වු නිදහසේ සවර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ….


පටු අදහස් නම් පවුරින් ලෝකය කෑලි කෑලි වලට කැඩී බිදී යන බව මහගම සේකරයන් කිවුවේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. ඒත් බුද්ධ ශ්‍රාවක වහන්සේලා විසින්ම පටු අදහස් පතුරුවනු ඇතැයි මහගම සේකරයන් කවදාවත් සිතන්නට නැතිව ඇති.

අප පොඩි කාලයේ අසා ඇති බණ කතා වල හැමදාම කියවුණේ නරක ගති ඇති පුද්ගලයන් බුදු බණ අසා දමනයවූ ආකාරයයි. බුදුන් මරන්නට පැමිණි දේවදත්තයන් පවා බුදු බණ අසා ධර්ම මාර්ගය තෝරා ගත්තේ බදු බණෙහි ඇති බලයෙන් බව අප කුඩා කලදී උගත්තෙමු. එමෙන්ම, මහණ වීමෙන් පසුවද නරක ගති දිගටම පවත්වා ගත් තෙරුන් වහන්සේලා ගැනද අප බණ කතා වල අසා ඇත්තෙමු. ඒ ඔවුන් පෙර ආත්ම වල සිදු කළ පාප ක්‍රියා නිසා බව අප උගත්තෙමු. බුදුන් වහන්සේ මෙවැනි මහණුන්ට අනුකම්පා කළහ, පවු වලින් නිදහස් වී සසර කෙළවර කර ගැනීමට මාර්ගය පෙන්වූහ.

දැං බලමු මේ බණ කතාව.

මේ කතාවේ නායකයා, ඉන්දියානු සාගරයේ පිහිටි ලංකාව නැමති කුඩා දූපතේ ඉපිද බුදුන් වහන්සේගේ ධර්ම යැයි යමක් තියෙනවා යැයි දැන ධර්මශ්‍රාවකයෙකු වීමෙන් ලැබෙන පිළිගැනීමට සහ බලයට ලොල් වී ඉනාමළුවේ සුමංගල නමින් පැවැදි වූහ. ඓතිහාසික වැදගත්කමත් ඇති දඹුල්ල රජමහා විහාරයේ පදිංචියට ගිය හෙතෙම මහණ කමේ සිටිමින්ම විවිධ නරක ගති පැවතුම් වර්ධනය කර ගත්හ.

දිනක් මේ මහණ තෙමේ තමන් නියෝජනය කරනවායැයි හෙතෙම සිතන ආගම හැර වෙනත් ආගම භක්තිකයින් පන්සල අවටින් පන්නා දැමීමට තීරණය කළහ.

මේ කාලයේ ලංකාව පාලනය කළේ දෙමළුන්ගෙන් රට බේරා ගත් දුටුගැමුණුට නොදෙවෙනි රජ පරම්පරාවක් විසිනි. මේ කාලය දෙමළුන් සමූල වශයෙන් ඝාතනය කිරීමෙන් පසු රට ඉතාමත් සමෘද්ධිමත් අවධියක් කරා ගමන් කරමින් තිබුණි. ඒ වාගේම යුද්ධ මානසිකත්වය මේ රටේ වැසියන්ගේ සිත් වලට කා වද්දවා තිබුණි. මේ රජතුමා පෙර ආත්මකදී කළ පාප ක්‍රියාවක් නිසා මෙසේ යටත් වැසියන්ගේ සිත් යුධ මානාසිකත්වයෙන් දූෂණය කරන්නට යෙදුණි.

පන්සල අවටින් අන්‍යාගමිකයන් පන්නා දැමීමට තීරණය කළ මහණ තොමෝ සිය පිරිවරද සමග එළි පෙහෙළියට බැස්සේය. වට පිට බැලූ හෙතෙම දුටුවේ තමන් පන්සලේ පදිංචියට පැමිණෙන්නටත් පෙර පැවත වෙනත් ආගමික ස්ථානයකි. අවට සිටි ගිහි සහ පැවැදි පිරිවරද රැගෙන මේ ස්ථානයට කඩා වැදි හෙතෙම පරුෂ වචනයෙන් එතැන සිටි පිරිසට බැණ වැදුණේය. එතැනින් ඔවුන්ව පන්නා දමන බවට තර්ජනය කළ මේ මහණ තෙමේ මීළගට තවත් ආගමික ස්ථානයකට ගොස් පරුස වචනයෙන් බැණ වැදුණේය. වෙනත් ආගමක් අදහන නිසා මේ පිරිසව කපුටන්ට සමාන කළ මහණ තෙමේ “කපුටෝ ඔලුව උඩින් පියාඹනවා මදිවට දැං කූඩු හදන්නත් එනවා ” යැයි බැණ වැදුණේය. කපුටන් යැයි ‍එම පිරිසට නිග්‍රහ කළ මේ මහණ තෙමේ පසුව කපුටෙක් වී ඉපදුණේය.

එතැන සිටි පිරිස කිසියම් දෙයක් මේ මහණ තෙමේ ඇතුළු පිරිරවරට පැහැදිළි කරන්නට උත්සහ ගත්තද ඥානය මද කම නිසා එය තේරුම් ගැනීමට මේ මහණ තෙමේට නොහැකි විය. ඒ අතර බුදු බණ සහ බුදුන් වහන්සේ ගැන පෙර කිසිදාක අසා නොතිබුණ බුද්ධිය හීන ගිහියෙකු සිටියේය. ඔහුට බුදු බණ ගැන අසන්නටවත් පිනක් තිබුණේද නැත. කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද නොදත් මේ ගිහි තොමෝ රෑපවාහිනියේ නිතර අසන්නට ලැබෙන හඩක් වන සාදු සාදු යැයි කීවේය. මැර කම්, ජඩ කම් සහ අපරාධ වලට සාදු සාදු යැයි කියා ආ වැඩීමේ මේ රාජ්‍යයේ සිරිත විය.

තවද, නිරුවත පෙන්වීම කෙතරම් අශෝබන දෙයක් දැයි අව‍බෝධ කර ගැනීමට බුද්ධි ශක්තියක් නොමැති තවත් පැවිද නමක් හැද සිටි සිවුර ගලවා රැස්ව සිටි අන්‍ය ආගමික මිනිසුන්ට පෙන්වූහ. පෙර කළ පවු නිසා මිනිසුන් ඇදුම් අදින්නේ ඇයි දැයි යන්නවත් තේරුම් ගැනීමට මේ මේ මහණ තෙමේ අපොහොසත් විය. මේ නිසා ඒ මහණ තොමෝ ඊළග ආත්මයේදී විලි වසා ගැනීමට ‍නූල් පටක් ගැනීමටවත් නොහැකි තරම් දුප්පත්ව ඉපදුණ අතර කොළ අතු වලින් විළි වසා ගැනීමට සිදු විය. මේ සිද්ධිය නරක දෙයක් බව මේ රටේ වැසියන්ට අවබෝධ වූයේ නැත. එයට හේතුව වූවේ රට පාලනය කරන රජතුමාගේ අනුවණ කමයි. පෙර ආත්මකදී කළ පවු නිසා හීන බුද්ධියක් ඇතිව සිටි රජතුමාද මේ ප්‍රචණ්ඩ පිරිසේ පැත්ත ගත්තෝය.
බුදුන් වහන්සේ වැඩ සිටි කාලයක නම් මේ පව්කාර පිරිසට බණ දේශනා කර පවින් මුදා ගන්නවා ඇත. දැං මේ පිරිසට මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වන තුරු සසරේ සැරි සරමින් කළ පවුකම් වලට විපාක ලබන්නට සිදු වෙනවා ඇත. සියළු සත්වයෝ මොවුන්ට අනුකම්පා කරත්වා … සාදු සාදු සාදු…….

පබා ‍මැණිකේ