සිංහල, Colombo, Democracy, Human Rights, Life quips

ද්‍රෝහී මැඬියා

[ඩයස්පෝරා සටහන්]

ලාංකීය දේශප්‍රේමී පා පහරින් විසි වී ගිය පුද්ගලයින් අතරින් මා එයට ගොදුරු වූ ඉතා අල්පමාත්‍ර ශද්‍ර ජීවියෙකි. ජීවත් වූ ජීවිතයේ බහුතර කාල ප්‍රමාණයක් සිහින දකිමින්, එම සිහින යථාර්ථයක් බවට පත් කිරීම පිණිස උදව් කරමින්, සංවාද කරමින්, වරෙක ඒ සදහා සංවිධාන නිර්මාණය කරමින් කරන ලද කටයුතුවල අභිමතාර්ථය වූයේ කුමක් ද? ඒවායේ අර්ථය වූයේ කුමක් ද? සමාජයට, මිනිසාට, පීඩිතයාට ආදරය කිරීම නොවේ ද? ආගමට, ජාතියට, කුලයට වඩා පංතිය ද? පංතිය ද වරෙක යටපත් කරමින් මනුෂ්‍යත්වයට ද ළංවීම මහා පාප කර්මයක් විය. ද්‍රෝහී විය. ඉතාම සමීපතමයා ද එයට එරෙහිව කටයුතු කරන්නට විය

ඉතින් දැන් ලාංකික ළිඳෙන් එළියට විසි වුණු මැඬියෙකි. වතුරවලවල් සොයා පැණ යමි.විශාල වූ විවිධ වූ විෂම වූ ජලාශයක මායිම කරා පැමිණ ඇත. පැවැත්මත්, ආරක‍ෂාවත්, නිදහසත්, ගෞරවයත් රැක ගනිමින් ජලාශයේ හිමි වූ කොටසක ජීවත් විය හැකිය. බොහෝ මැඬියන් පරිද්දෙන් සීතල ජීවිතයක් ගත කළ හැකිය. තමන්ගේ හෘද සාක්ෂිය රවටා ගැනීම උදෙසා ජාතික කොඩිය එසවිය හැකිය. ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගත හැකිය. එහෙත් එය කළ නොහැකි උමතුව කුමක් ද?

ළිඳට ආදරය කිරීමය. අසීමිත ලෙස ආදරය කිරීමය ළිඳෙහි මැඬියනට ආදරය කිරීමය. අපවිත්‍රව යමින්, විෂ බීජයන්ගෙන් ගහණ ළිද ද, මැඩියන් ද සුඛිත මුදිතව ජීවත් වනවා දැකීමය. එහෙත් ළිං මැඬි ඊනියා ජාතිවාදී දේශප්‍රේමීත්වයේ පා පහරින් එළවා දැමූ ද්‍රෝහියෙකුට කළ හැකි දේ කුමක් ද?

අසංවර අපවිත්‍ර විනාශය කරා ද වංචාව, දූෂණය,සූරා කෑම යන සමාජ අයුක්තිය දේශප්‍රේමී වර්ෂාවෙන් හා උල්පත්වලින් කූඨ ලෙස වංචාකාරී ලෙස රැවටීමෙහි ගිල්වීමෙන් ද සිටින මොහොතක අනන්‍යතාවයෙන් හා ජීවත් වීමෙන් පන්නා දැමූව ද ළිඳටද මැඬියන්ටද ආදරය කරන්නෙමි. පීඩිත මැඬියන්ගේ විමුක්තිය, අයිතිය, ගෞරවය වෙනුවෙන් කළ හැකි වන්නේ කුමක් ද යන ව්‍යධියෙන් අප වැන්නවුන් නිතර දෙවේලේ පෙළෙනුයේ ළිඳෙහි ජීවත්ව සිටි කාලයේ දුටු සිහිනය නිසාය. සමාජය කෙරහි වූ අපේක‍ෂාව නිසාය. වරෙක දකුණ ද, වරෙක උතුර ද නැති භංග වී විනාශය කරා ගමන් කළ ද විනාශයෙන් පසු ඇති වන අලූත් තත්ත්වයේ සමාජ ප්‍රගමන දයලෙක්තිකයට දායක වන්නේ කෙළෙසද, නිවැරදි මානයන් දැක හැදින තනි තනි හුදෙකලා රාමුවල සිට සිතනවාට වඩා සාමූහික උගැන්මෙන්, අධ්‍යයනයෙන් අවබෝධයෙන්, විශ්වාසයෙන් සහෝදරත්වයෙන් කැපවීමෙන් හා ආදරයෙන් යුතුව දූෂිත මැඬියන්ගේ රාජ්‍යය බිඳ හෙළා තවත් එවන් වූ මැඬියන්ට අවස්ථාව උදා නො කර දී, පෙර වැරදි හඳුනා ගනිමින්, යළි සකසා ගෙන පෙර දුටු පිරිසිදු සිහිනය වෙනුවෙන් එක්වීමට සිහින දකිමි. සකළ දේසවාසී මැඩියනි එක්වවි එක්වීමෙන් තොරව සමගියක් නොමැත සමගියෙන් තොර විමුක්තියක් නැත.

උදය ආර්. තෙන්නකෝන්[Udaya R Thennakoon]