Colombo, end of the War, Featured Articles, Features

අපගේ අනාදරයට අපම වන්දි ගෙවිය යුතුය

[Photo by www.eelanatham.info]
යමක් ඉල්ලන යාචකයෙක් නොතකා හැරීම සඳහා අපට ඕනෑ තරම් හේතු ඇත. ‘ඔය බොරු කරන්නෙ’, ’මිනිහට හොඳට සල්ලි තියෙනවා’, ‘ඔය මිනිහා හොරෙක්, ඔය විදිහට සල්ලි එකතු කරලා හවසට බොනවා’, ‘හිඟන්නන්ට දෙනවට වඩා පින් අතේ වැඩ අපි කරගන්නවා’. වැනි විවිධ හේතු යාචකයෙක්ගේ ආයාචනයක් නොතකා හැරීම සඳහා අප සතුව ඇත. ඉතින් මේ හේතුවලට පින්සිදුවන්නට බරපතල ලෙස ආබාධයකට මුහුණ දුන් යාචකයෙක් පවා නොතකා හැරීමේ ශක්තියක් අපට ඇත. ඕනෑම අසරණයෙක් පැමිණ අප අසල රැුඳෙන විට කිසිවක් සිදු නොවුවා සේ අහක බලා ගැනීමට තරම් ශක්තියක් ඉහත කී හේතු නිසා අපට ලැබේ. යාචකයා යාචකයෙක් වීම යනු ඔහුගේ වැරැුද්දකි. නැතිනම් ඒ හරහා ඔහු අපට හොරෙන් යම් විනෝදයක් ලබනු ඇත. එබැවින් යාචකයා යනු අනුකම්පා කළ යුත්තෙක් නොවේ.

අද අප අපගේ සහෝදර ජාතීන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ යාචකයන්ට බඳු වූ ප‍්‍රතිචාරයකි. ඉතිහාසයේ කවරදාටත් වඩා ජාතීන් අතර සහයෝගය පිළිබඳව කතා කරන මෙවන් යුගයක අපගේ සහෝදර ජාතීන් අපට යාචකයන් බඳු වී ඇත. යාචකයෙක් විසින් ජීවත් වීමට තමාට ඇති අපහසුතාවය අනෙකාට දනවන්නට කොතෙකුත් උත්සාහ කළද ඒ පිළිබඳව අංශු මාත‍්‍රයක්වත් නොසිතා සිටීමට අප පුරුදු වී ඇත්තේ යම් සේද, ඒ ආකාරයටම අපගේ සහෝදර ජාතීන්ගේ දුක් කම් කටොළු සතපහකටවත් ගණන් නොගෙන සිටීමට අද අප පුරුදු වී ඇත. මන්ද යාචකයා පිළිබඳව හිත කලබල කර නොගැනීමට, අප හේතු සොයා ගත් අකාරයටම අන් ජාතිකයා කෙරෙහිද නොසිතා සිතීමට ඕනෑ තරම් හේතු අපට ඇති බැවිනි.

යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී ඇති මොහොතේ දී දෙමළ ජාතිකයන්, තමන් දෙමළ වූ නිසාම විඳින අපමණක් ගැටළු පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පරාජය වූයේ ප‍්‍රභාකරන් පමණක් නොවන බවයි. විෂකූරු බූවල්ලෙක් පරිද්දෙන් මිල්ටරීකරණය සමස්ත උතුරු-නැගෙණහිරම වෙලා ගනිමින් පසුවන මෙවන් යුගයක දෙමළ ජාතිකයාට උරුම වී ඇත්තේ නිහඬව හීල්ලීම පමණි. උතුරු-නැගනෙහිර ලැගුම් ගෙන සිටින හමුදාවෝ විසින් දෙමළ ජාතිකයන්ගේ ඉඩම් වල අයිතිය ඩැහැගන්නා පුවත් දිනෙන් දින වාර්තා වේ. මේ සියළු අසාධාරණයන් හමුවේ දෙමළ ජාතිකයා කල් ගෙවන්නේ ඉතිහාසයේ කවරදාකවත් නොගෙවූ වන්දියක් ගෙවමිනි. නමුත් සිංහලයන් වන අපට මේ සහෝදර දෙමළ ජාතිකයා පිළිබඳව ඇත්තේ ඉහත කී යාචකයාටත් වඩා අඩු අවධානයකි. එසේ වන්නේ යාචකයාට මෙන්ම දෙමළ ජාතිකයා විඳින වේදනාවන්ද අමතක කිරීමට අපට ඕනෑතරම් හේතු ඇති නිසාවෙනි. දෙමළ ජාතිකයා නිසා අප අවුරුදු 30කට ආසන්න කාලයක් දුක් වින්දේය. එබැවින් මොවුන් අද විඳින ගැහැට ඔවුන්ට උරුම වූවකි. ඒ ගැහැට ඔවුන්ට උරුම වී ඇත්තේ ඔවුන්ගේම වරදිනි. අනික කොයි වේලේ හෝ නැවතත් ඔවුන් අපට එරෙහිව ආයුධ ගැනීමට ඉඩ ඇත. එබැවින් ඔවුන් විඳින දුක පිළිබඳ කලබල විය යුතු නැත. දකුණේ සිංහල ජාතිකයා හිත හදාගන්නේ මෙවන් වූ මනස්ගාත වලට පින්සිදු වන්නටය. දෙමළ ජාතිකයා පිළිබඳ මෙවන් සිතුවිලි දකුණේ ජන විඥානයේ පතුළටම කිඳා බැස ඇත. එබැවින් දෙමළ ජාතිකයාගේ ඉඩම් හමුදාව විසින් අත්පත් කර ගැනීම අපට දැනෙන්නේ නැත.

මෑතකදී වව්නියා බන්ධනාගාරයේ සිදු වූ සිදු වීම අපගේ හෘදය සාක්ෂියේ තරම උරගා බැලීමට කදිම උදාහරණයකි. වව්නියාව බන්ධනාගාරයට පිවිසි විශේෂ කාර්ය බලකායගේ ක‍්‍රියා කලාපය අපට එතරම් ගැටළුවක් නොවන්නේ දෙමළ ජාතිකයා පිළිබඳ වූ යාචක චින්තනය නිසාය. දෙමළ ජාතිකයන් බොහෝ දෙනෙක් මෙම සිදු වීමේදී තුවාල ලැබූ අතර, එක් අයෙක් මිය ගියේය. නිමලරූබන් කොපමණ වධ හිංසා වලට ගොදුරු වූවාද යන්නට හොඳම සාක්ෂිය ඔහුගේ මරණයයි. එය එකවර සිදු වූ මරණයක් නම් අනපේක්ෂිතව වැදුණු උණ්ඩයක් නිසා මිය ගිය බවට අපට හිත හදාගන්නට තිබිණ. නමුත් ඔහු මිය ගියේ තැලූම් පහරවල් දරාගන්නට නොහැකිවය. නිමලරූබන් කොපමණ පාපී වූ ප‍්‍රහාරයකට ලක් වූයේද යන්න මෙයින් පැහැදිලි වේ. නමුත් දකුණේ අපට මෙය තවත් මරණයක් වත් තරමට වැදගත් නොවන්නේ ඔහු අපට එරෙහිව යුධ වැදුණු ජාතියේ සාමාජිකයෙක් වූ නිසාය. පසුගිය දින වල පොලිස් බාරයේදී දකුණේ මිනිසුන් මිය යන විට පොලීසිය ගිනි තැබීමට උත්සුක වූවෝ නිමලරූබන්ගේ මරණය ඉදිරියේ නිරුත්තරය. නිමලරූබන්ගේ මරණය යාචක මරණයක් බවට පත් වී ඇත. ඔහුගේ මරණය වෙනුවෙන් හඬක් නගන්නට සහෝදර ජාතිකයන්ට නොහැකි වීම තුළ අපට කියා පාන්නේ ලංකාවේ ජාතීන් අතර ගොඩ නැගී ඇති සහෝදරත්වයේ තරමයි.

මීට අවුරුදු තුනකට පෙර පරාජය වූ දෙමළ ජාතිකයා අද අපගේ යාචකයෙකි. ඔහු දුක්විඳින්නේ ඔහුගේම වරදිනි. එබැවින් ඒ සඳහා අප කරදර විය යුතු නැත. මෙවන් වූ චින්තනය විසින් දෙමළ ජාතිකයාට ආරාධනා කරන්නේ නැවතත් අවි ආයුධ ගන්නා ලෙසයි. මරාගෙන මැරෙන්නට එන ත‍්‍රස්තවදියාගේ අමානුෂික කම ගැන පිටු ගණන් පුරවන මහත්වරුන්ට පවසන්ට ඇත්තේ, මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියාව සැකසුවේ ප‍්‍රභාකරන් නොව අපම බවයි. අපගේ අනාදරයට වන්දි අප විසින් ගෙවිය යුතුය. ජාතියක් වශයෙන් සිදුකෙරෙන නොසලකා හැරීම් විසින් අප නැවතත් ගොඩනගමින් සිටින්නේ, මීට අවුරුදු තුනකට පෙර අප විසින් අවසන් කළ අපගේ පසමිතුරාගේ තවත් නැගිටීමක් නම්…………. අනාගතය ඊයේට වඩා අශුභදායක වන බව මතක තබා ගත යුතුය.