Ampara, end of the War, Featured Articles, Features

NAVY-STF ඉඩම් කොල්ලය


නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පානම හා ශාස්ත්‍රවෙල පදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරින් වෙන් කර ගෙන තිබේ. පානම රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 265 ක්, ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ඉඩම් අක්කර 115 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර අක්කර 840 ක් වශයෙන් මෙලෙස ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ. වෙන් කර ගෙන ඇති රාගම්වෙල හා ශාස්ත්‍රවෙල පිහිටි ඉඩම් ජනතාවගේ වගාබිම් වේ. අනවසරින් වෙන් කර ගෙන ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරය උල්පස්ස, ශාස්තරවස වෙල, රාගම්වෙල රජයේ කැලෑව ලෙස හඳුන්වයි. මේ ඉඩම් පානම හා පොතුවිල් අතර ප්‍රදේශයේ වෙරළබඩ කලාපයේ සිට රට තුළට ව්‍යාප්ත ව තිබේ. උක්ත සමස්ත භූමිය ම නාවික හමුදාවට හා විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට හැර වෙනත් කිසිදු අයකුට ඇතුළුවීම තහනම් කර ඇත.

රාගම්වෙල ගම්වාසීන් විසින් ඉදිකළ බැලූම්කාරාරාම විහාරය පිහිටා ඇත්තේ ද උක්ත වෙන් කළ භූමි ප්‍රදේශය තුළ ය. බෝධීන්වහන්සේ නමක්, බුදු මැදුරක්, බණ ශාලාවක් ඇතුළු ගොඩනැඟිලිවලින් සමන්විත මේ විහාරස්ථානයට ඇතුළු වීම ද තහනම් කර ඇත.

පානම සමුද්‍රගිරි විහාරය පිහිටා ඇත්තේ ද නාවික හමුදාව විසින් වෙන් කළ උක්ත භූමි ප්‍රදේශය තුළ ය. ඉපැරැණි සෙල්ලිපි දෙකක්, කටාරන් සහිත ගල්ලෙන්, ගරා වැටුණු චෛත්‍යක්, සක්මන් මළුවක් හා ආරාම ගොඩනැඟිලි ඇතුළු පුරාවස්තු බොහොමයක් මේ භූමි ප්‍රදේශය තුළ ව්‍යප්තව ඇත.

ශාස්ත්‍රවෙල විශේෂ කාර්යය බලකා කඳවුර ආශ්‍රිතව පිහිටි මනිනාග පබ්බත විහාරස්ථානයේ ඉපැරණි බිතුසිතුවම්, ගල්කණු හා නටඹුන් විශාල ප්‍රමාණයක් දැකගත හැකි අතර ඊට යාබද ව පිහිටි වෙන් කර ඇති භූමියේ පුරාවිද්‍යා ස්මාරක ගණනාවක් දැක ගත හැකි ය.

වෙන් කර ඇති සමස්ත වනාන්තර ප්‍රදේශය අලි – ඇතුන් බහුල ව ජීවත් වන ප්‍රදේශයකි. මේ වනාන්තර ප්‍රදේශය හා සම්බන්ධ වන කුඩුම්බිගල – පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය අතර අලි – ඇතුන් සංක්‍රමණය වේ.

මෙම භූමියේ රණවිරු ගම්මානයක්, නාවික හමුදා කඳවුරක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට සැලැසුම් කර තිබේ. දැනට වනාන්තරය තුළ තැනින් තැන එළි පෙහෙලි කර ඉදිකිරීම් රාශියක් සිදු කර ඇත. මේ ඉදිකිරීම් වෙරළබඩ කලාපය තුළ ද සිදු කර තිබේ.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ය. නමුත් මෙහි ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයක ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳ තොරතුරු සඟවා මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් සිදු කර තිබේ.

වර්තමානයේ පානම ගම්මානයේ පවුල් 1925 ක් ජීවත් වන අතර මේ ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ 1818 වසරේ දී පැවති වෙල්ලස්ස කැරැල්ල සමයේ දී ය. මේ ගම්මානයේ ජීවත් වන ජනතාව ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ග වන්නේ ධීවර කර්මාන්තය හා කෘෂි කර්මාන්තය යි. ධීවර කර්මාන්තයේ නිරත පිරිස් කලපු ධීවර කර්මාන්තයේ හා මුහුදු ධීවර කර්මාන්තයේ නිරත වේ. වැඩි පිරිසක් කෘෂිකර්මාන්තයේ නිරත වේ.

මෙ හානිකර හා නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම නිසා ගැටලූ රැසක් උද්ගතව තිබේ. රාගම්වෙල හා ශාස්ත්‍රවෙල ගම්මානවල ජීවත් වන ජනතාව ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගවලින් එකක් වන කෘෂි කර්මාන්තය කර ගෙන යෑමට තිබෙන ඉඩම් නාවික හමුදාව හා විශේෂ කාර්යය බලකාය විසින් අත්පත් කර ගෙන තිබීම හේතුවෙන් මේ ප්‍රදේශවල ජනතාව ගේ ජන දිවිය පවත්වා ගෙන යෑමට මේ තත්ත්වය ප්‍රධාන ගැටළුවක් වී ඇත.

පානම ගම්මානයේ ජනතාවට තම නිදහස් ජන දිවිය පවත්වා ගෙන යෑමට මේ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් ගැටළු මතු වී ඇත. විශේෂයෙන් ආගමික සිද්ධස්ථානවලට නිදහසේ පිවිසීමට ඇති පහසුකම් පවා මේ තත්ත්වය හේතුවෙන් අහිමි වී ඇත.

පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම හේතුවෙන් තවම නිසි අධ්‍යනයකට ලක්ව නොමැති මේ ව්‍යාපෘතිවලට යටවන භූමියේ පුරාවස්තු විනාශ වී යනු ඇත. එමඟින් මේ ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව අධ්‍යනය කිරීමට ඇති සාක්ෂි නොමැති වී යාමෙන් ඉතිහාස අධ්‍යනයකට ප්‍රධාන බාධකයක් විය හැකි ය.

වෙරළ කලාපයේ පිහිටි තෙත්බිම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලබන හෙයින් බොහෝ තෙත්බිම් ආශ්‍රිත ජීවීන් අති බහුතරයක් වාර්තා වන මේ ප්‍රදේශයේ එම සතුන් ගේ වාසස්ථාන විනාශ වීමෙන් එම ජීවීන් ප්‍රදේශීයව වඳ වී යෑමට ඉඩකඩ ඇත.

ප්‍රධාන අලි ගැවසුම් වනාන්තර ප්‍රදේශයක් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සිදු කරන බැවින් අලි – ඇතුන් ගේ වාසස්ථාන විනාශ වීමෙන් පානම ප්‍රදේශයේ ජනතාවට ඉදිරියේ දී උග්‍ර අලි – මිනිස් ගැටුමකට මේ ව්‍යාපෘතියත් සමඟ ම මුහුණ දීමට සිදු වනු ඇත. එහිදී අලි – ඇතුන් ගෙන් වගාවන්ට සිදුවන බලපෑම් හේතුවෙන් පානම ගම්මානයේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයක් වන කෘෂිකර්මාන්තය අඩාල වීමෙන් සමාජීය ගැටළු බොහොමයක් උද්ගත විය හැකි ය.

පානම ජනතාව ගේ කෘෂිකාර්මික ඉඩම් මේ ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගෙන තිබෙන බැවින් එම ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යෑම සඳහා වෙනත් විකල්ප ඉඩම් මත යැපීමට උත්සාහ දරන අවස්ථාවල දී ඒ ආශ්‍රිතව පිහිටන අනෙක් රක්ෂිත වනාන්තරවල පැවැත්මට ඉදිරියේ දී බලපෑම් ඇති විය හැකි ය. මෙවන් හානිකර තත්ත්වයන් බොහොමයකට හේතු සාධක වන අයුරින් පානම හා ශාස්ත්‍රවෙල ඉඩම් නාවික හමුදාව හා විශේෂ කාර්ය බලකාය විසින් අත්පත් කර ගැනීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි. සිවිල් පරිපාලනය ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවන් දෑ සිදු නොවිය යුතු ය.

මේ ඉඩම් වෙන් කිරීම හා සංවර්ධන කටයුතු සිදු කිරීම සිදු කර ඇත්තේ අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. 2011 අංක 49 දරන පනතින් සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ සීමාව තුළ සංවර්ධන කටයුතු සිදු කිරීමට පෙර පරිසර බලපෑම් ඇගැයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු ය. නමුත් මේ නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘති යටතේ වෙරළ කලාපය තුළ සියළු ඉදිකිරීම් සිදු කර ඇත.

සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අනවසරින් වෙන් කිරීම, වනාන්තර එළි පෙහෙළි කිරීම, ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පිවිසුම් මාර්ග තැනීම සිදු කර තිබේ. මෙය ඉතාමත් හානිකර තත්ත්වයක් පමණක් නොව වැරැදි පූර්වාදර්ශ ලබා දීමකි.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම්(EIA) ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය. මේ නීතිමය ප්‍රතිපාදනය ද උල්ලංඝනය කරමින් මේ වනාන්තර ඉඩම් එළි පෙහෙළි කිරීම් හා ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම සිදු කරනු ලැබේ.

සංශෝධිත 1940 අංක 49 දරන පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් පුරාවස්තු සහිත භූමි ප්‍රදේශවලට බලපෑම් එල්ලවන අයුරින් මේ ව්‍යාපෘතිය යටතේ සියලූ ඉදිකිරීම් සිදු කර තිබේ.

අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.(3), 14.(1)(උ) සහ (ඌ) වගන්ති උල්ලංඝනය කරමින් ජනතාව ගේ ඉඩම් අත්පත් කර ගැනීම් බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස සිදු කර ඇති අතර ප්‍රදේශයේ ජනතාවට නිදහසේ තම ජීවනෝපායන මාර්ග සිදු කිරීමේ හා තම ආගමික කටයුතු වල නිරත වීමේ මූලික අයිතිය පවා මේ ව්‍යාපෘතියෙන් උල්ලංඝනය කර ඇත.

මේ තත්ත්වයන් පිටු දැකීමට කඩිනමින් ක්‍රියාමාර්ග නොගතහොත් මේ ප්‍රදේශයේ ජනතාව ගේ ජන දිවියට මෙන් ම ස්වාභාවික පරිසර පද්ධතිවල පැවැත්මට දරුණු බලපෑම් එල්ල විය හැකි ය. එපමණක් නොව කෘෂිකාර්මික බිම් හා වනාන්තර බිම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් ජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය හා ගරු කිරීම නොමැති වී යනු ඇත. ඒ තත්ත්වය රටේ ඉදිරි පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑ හැකි ය. මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ගේ කඩිනම් අවදානය යොමු වී බලහත්කාරයෙන් අල්ලාගත් ජනතාව ගේ කෘෂිකාර්මික බිම් හා වන රක්ෂිතය නැවත ස්ථාපිත කිරීමට කඩිනම් අවදානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සජීව චාමිකර[Sajeewa Chamikara] | පරිසර සංරක්ෂණ භාරය