සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි


කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක් විසින් මේ චිත‍්‍රය ඇඳීමට සැරසෙයි. පොලීසිය විසින් නැති වුණු කෞතුක වස්තු සමග සොරා අල්ලා ගැනීමට ඉල්ලා සිටියේ සති දෙකක් පමණි. නමුත් දැන් සිදුවීම සිදු වී බොහෝ කාලයක් ගත වී ඇත. නමුත් තවම පොලීසියට සොරා හසු වී නොමැත. පෙනෙන විදිහට ගැටළුව වී තිබී ඇත්තේ සොරාගේ ඡුායාරූපයක් නොමැති කමයි. නමුත් දැන් පාසැල් සිසුන් දුන් ඔත්තුවට අනුව, පොලීසියේ සිටිනවා යැයි කියන චිත‍්‍ර ශිල්පියා විසින් අඳින රුව හරහා සොරාව අල්ලා ගත හැකිය. දැන් ගැටළුව විසඳෙනු ඇත.

තමන් භාරයේ සිටින මිනිසුන්ට මිය යන තෙක් පහර දීම, උද්ඝෝෂණ වලදී මිනිසුන් ඝාතනය කිරීම වැනි භයානක වැඩ වල නිරතවෙන ලංකාවේ පොලීසිය ඉඳ හිට හෝ මෙවන් විහිළු සිදු කිරීම පැසසිය යුතුය. සොරාගේ චිත‍්‍රය ඇඳගත් පසු නුදුරේදීම සොරා හසුවේ යැයි අප සිතන්නේ නම් ඇඳ ගන්නේ අපිමය. පාසැල් සිසුන්ගේ සාක්ෂිය පෙන්වා දෙමින් පොලීසිය පවසන්නේ සොරා දහවලේ කෞතුකාගාරයේ ඔබ මොබ ඇවිද ඇති බවයි. එසේ ඇවිද්දා නම් ඔහු සොරෙක් නොව මෝඩයෙකි. නැතිනම් හෙරොයින් සඳහා මුදල් සොයා ගැනීමට කඩු හොරකම් කිරීමට තීරණය කළ අයෙකි. නමුත් එවන් හොරෙක් හොරකම් කරන්නට මෙතරම් දේ පවතිද්දී බොහෝ අපහසුතා මැද, විශේෂයෙන්ම රාති‍්‍රයේ, කෞතුකාගාරයේ දේවල් හොරකම් කරන්නට එන්නේ නැත. පොලීසිය විසින් පාසැල් සිසුන් භාවිතා කර මේ සකසන්නට යන්නේ තවත් ප‍්‍රබන්ධයකි.

කෞතුකාගාරයේ සොරකම පිළිබඳ තමන්ට තිබෙන්නේ අතිශය බලවත් වූ උනන්දුවක් බව පෙන්වීමට පොලීසිය උත්සාහ දරයි. රාජ පාක්ෂික වූ ලංකාවේ අපරාධ පරීක්ෂයන් වල ස්වභාවය අනුව කිසිදාක සැබෑ කඩු හොරා නම් පොලීසිය අල්ලා නොගනු ඇත. පොලීසිය මේ අඳින්නට යන්නේ අහිංසක කුඩු උරන තරුණයෙක්ගේ රුවකි. සමහර විට මේ වන විටත් අඳින්නට සැරසෙන පුද්ගලයා පොලිස් කූඩුවක සිටිනවා ඇත. තව ටික දිනකින් සොරා හසු වුණා යැයි පවසමින් මේ තරුණයාව ප‍්‍රදර්ශනය කර සත්‍ය කඩු හොරාව ආරාක්ෂා කිරීමට පොලීසිය සමත් වනු ඇත.

පාසැල් සිසුන් විසින් ඇත්තම කඩු හොරාගේ රූප ස්වභාවය විස්තර කළා නම් ඒ සිසුන්ටත් දෙවියන්ගේම පිහිටය. මන්ද සොරකම ගැන සැබෑ තොරතුරු දෙන අයව උස්සා ඇට කටු පොඩි කිරීම මේ දිනවල අපරාධ පරීක්ෂණයේ ස්වභාවය නිසාය. කඩු හොරකම පිළිබඳව සැබෑ තොරතුරු සැපයූ ස්ටැන්ලි නැමැති ආරක්ෂක නිළධාරියාට සිදු වූ දේ පැහැදිලිය. ආශ්චර්යමත් ලංකාවේ අපරාධ පරීක්ෂණය සැබවින්ම ආශ්චර්යමත්ය. සොරකම සිදු වූ දින රාත‍්‍රියේ ගැවසුණ වාහන පිළිබඳව සාක්ෂි සැපයූ ආරක්ෂා නිළධාරීයාට සිදු වූයේ දින 20ක් අතුරුදහන් වන්නටය. පෙනෙන ආකාරයට ස්ටැන්ලි නැමැති ආරක්ෂක නිළධාරියාගේ සාක්ෂිය පාසැල් සිසුන් දුන්නා යැයි පවසන සාක්ෂියට වඩා ප‍්‍රබලය. ස්ටැන්ලිගේ සාක්ෂිය තුළ සොරකම සිදු වූ වේලාව පිළිබඳව අදහසක් සපයයි. අනික් කාරණය නම් ස්ටැන්ලි යනු කෞතුකාගාරය ආශි‍්‍රතව එම රාත‍්‍රියේ ආරක්ෂාවට සිටි පුද්ගලයෙකි. නමුත් ඒ සාක්ෂිය දුන් පුද්ගලයාව උස්සා, දෑස් බැඳ, ධර්ම චක‍්‍රය ගසා, දස වධ දී, ඔහුගේ දරුවාගේ සහ සොහොයුරාගේ ජීවිත වල මරණ තර්ජන එල්ල කොට, ගඩලාදෙනියෙන් අතහැර යෑමෙන් පවසන්නේ ලංකාවේ අපරාධ පරීක්ෂණයේ ආශ්චර්යමත් ස්වභාවයයි.

පොලීසිය විසින් කඩු හොරාගේ රූපය අඳින්නට යන්නේ මෙවන් වූ පරිසරයක් තුළය. මේ සියලූ දේවල් හුදෙක් පොලීසිය විසින් සිදුකරන විහිළු ලෙස අප නොසලකන්නෙමු. මේ විහිළු කතාවල රචනය හා අධ්‍යක්ෂණය වෙනත් අය බව පැහැදිලිය. පොලීසිය යනු හුදෙක් විහිළුසහගත නළුවන්ය. මේ රටේ සොරුන්ව අල්ලා ගැනීමට පර්යේෂණ සැලසුම් කරන්නේත් සොරුන් විසින්මය. මෙය අභූතරූපී රටකි.

[Photo by – thesundayleader]