සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ජූලි මාසයක මතක මාත්‍ර


[අත්‍යවශ්‍ය සටහනක්] ඊනියා දේශප්‍රේමයෙන් මත්වී සහෝදර දෙමළ ජනයා අමු අමුවේ මරා පුලුස්සා දැමූ කලු ජූලියට වසර 29ක් ගෙවෙමින් තිබේ. දකුණේ අධිපතිවාදී ආණ්ඩුවල කුලී හේවායන් බලා සිටියදී උන්මත්තකයින් මෙන් කුරිරැ ලෙස ඝාතනය කළ තම සහෝදර දෙමළ මිනිසා පිළිබදව වන මතකයන්, දෙමළ මිනිසාගේ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා කෑමොර දුන් දකුණේ ඇතැම් පිරිස්වලටද අමතකව ගිය ඉතිහාසයක් බවට පත්වෙමින් ඇති සේයකි.

එවන් පසුබික වර්තමාන ලාංකීය සමාජය ව්‍යසනයන්ගේ ගැඹුරටම ඇද දමා තිබේ. දහස් ගණනක් මරා දමමින්, තවත් දහස් ගණනක් අතුරැදහන් කරමින් මෙන්ම දෙමළ දේශපාලන සිරකරැවන්ද ඝාතනය කරමින් නැවත වරක් යා කළ නොහැකි යැයි සිතෙන මට්ටමේ පළල් බෙදුම්රේඛාවක් සනිටුවහන් කරමින් ඇත. එකිනෙකා අතර ඇති වූ තුවාළ සුව කර ගැනීම වෙනුවට තුවාල නැවත පෑරීමේ සංස්කෘතියක් වර්ධනය කරමින් තිබේ. 1983 කලු ජූලියෙන් වසර 25ක් ඇවෑමෙන් 2008 ජූලි මස රාවය පුවත්පතේ ‘සමකය’ තීරැවට භාෂණ අබේවර්ධන සහෘදයා විසින් ලියන ලද‍ මෙම සටහන නැවත අප විසින් පළකරනුයේ, මෙම ලිපියේ තැනක සදහන් කරන්නාක් මෙන් ‘‛මට කියන්න, අවුෂ්විට්ස්හි දෙවියන් සිටියේ කොහිද?’ පිළිතුර මෙබඳුය: ‛‛එහි මිනිසා සිටියේ කොහිද?’’

දෑවුරුද්දකට පෙර මියගිය විලියම් ස්ටයිරන් රමණීය ප්‍රබන්ධ කතාකරුවෙකි. ඔහු ලියූ ‛නැට් ටර්නර්ගේ පාපොච්ඡාරණයන්’ (Confessions of Nat Turner) කෘතිය කියවීමට දහසය අවුරුද්දකට පෙර ‛ලක්දිව’ පත්‍රයෙහි වැඩ කරන සමයෙහි මා පොළඹවන ලද්දේ සුනිල් මාධව ප්‍රේමතිලක විසිනි. 19 වන සියවසේ වර්ජිනියාවේ වහල් නැගිටීම් පසුබිම් කොටගත් ස්ටයිරන්ගේ කෘතිය ඔහුගේ විශිෂ්ඨතම කෘති අතරේ ලා සැළකේ. ‛80 දශකයේදී අවධානයට පත් සම්මානනීය සිනමා පටයකට නිමිති වූ ‘Sophie’s Choice’ කෘතිය ස්ටයිරන් විසින් ලියන ලද්දේ ‛70 අග භාගයේදී ය. නට්සීන්ගේ අවුෂ්විට්ස් කඳවුර ආශ්‍රිත කෲරභාවයන් අවලෝකනය කරමින් ‘Sophie’s Choice’ කෘතියේ ස්ටයිරන් මෙසේ ලියයි: ‛

‛අවුෂ්විට්ස් යනු කුමක්දැයි මම යම් දිනක වටහාගනිමි. මෙය නිර්භීත ප්‍රකාශයක් බැව් සැබැවි මුත් අහිංසක වූ වියුක්ත එකකි. කිසිවෙකු විසින් කිසිදිනක අවුෂ්විට්ස් වටහා නොගනු ඇත…අවුෂ්විට්ස්, පහදාලිය නොහැක්කක් වශයෙන් තවදුරටත් පවතී. අවුෂ්විට්ස් පිළිබඳ මේ දක්වා කර ඇති ගැඹුරුතම ප්‍රකාශය ඇත්තෙන්ම ප්‍රකාශයක් නොව, ප්‍රකාශයකට දැක් වූ ප්‍රතිචාරයකි. ප්‍රශ්නය මෙසේය: ‛මට කියන්න, අවුෂ්විට්ස්හි දෙවියන් සිටියේ කොහිද?’ පිළිතුර මෙබඳුය: ‛‛එහි මිනිසා සිටියේ කොහිද?’’

විලියම් ස්ටයිරන්ගේ ප්‍රශ්නය, විසි පස් වසරකට පෙර අපේ ළමා විය ප්‍රචණ්ඩව සොළවා ලූ රළු ගැඹුරු දෙදරුම් පිළිබිඹු කරන්නාක් මෙනි. ඒ දෙදරුම්, රමණන් දේවරාජන්ලාගේ ජීවිත හා බැඳී පවතී. රමණන් මගේ මිතුරෙකි. කොළඹින් ඈත නන්නාඳුනන කඳුකර නගරයකදී රමණන් හා මා මුණ ගැසෙන විට අපි හත් හැවිරිදි වියට යාන්තම් එළඹුණා පමණි. එය බොහෝ විට ජනවාරියක් වන්නට ඉඩ තිබේ. බණ්ඩාරවෙල ගොල්ෆ් ලින්ක් පාරේ සිනහ කෙළි කවටකම් මැද ගෙවී ගිය ළමා විය ආරම්භ වූයේ ඒ ජනවාරියෙනි. පසු කාලයක මගේ සිංහල ගුරුවරයා බවට පත් වූ රත්නායක සර්ගේ නිවසේ සොඳුරු බෝඩිම් කාමරය තුළ ඒ ළමා වියේ සිහින දළුලා වැඩිණ. ජීවිතය, අපේ පා මුලින් දිගහළ පලසක්ව අහස තෙක් පැතිරී ඇතැයි අපි සිතීමු. ඒ පලස කීතු කොට දමන සැහැසිභාවයේ සේයාවක් හෝ ඒ ජනවාරියේදී විද්‍යාමාන නොවූයේ ඇයි?

දෙතුන් වසරකට පසු පාසැල් නේවාසිකාගාරයෙන් වෙන්ව නිවෙස්වල හිඳ යාම් ඊම් පටන්ගත් පසුව අපි තව තවත් මිතුරන් වීමු. ඒ ඉරණම්කාරී ජූලි මාසය එළඹුණේ ඒ කාලයෙහිය. සංත්‍රාසයේ පළමු පණිවුඩය ගෙන ආවේ තාත්තා විසිනි. රාජකාරී කටයුත්තක් සඳහා අගනුවරට ගොස් සැතපුම් සිය ගණනක් ගෙවා පෙරළා ගෙදර ආ තාත්තා කම්පිතව සිටියේය. ආයතන නිල රියේ දෙමළ ජාතික රියැදුරාගේ අනන්‍යතාව වසන් කොට, ගිනිබත් නාරාහේන්පිට සහ බොරැල්ල නගර මැදින් දිවි ගළවාගෙන පෙරළා එන්නට කළ සංග්‍රාමය ඔහු හෙම්බත් කොට තිබිණ. රමණන්ලා පිළිබඳ කල්පනාවන්ගෙන් අප සියල්ලන් සැලුම් කෑවේ ඒ නිමේෂයේදී විය හැක. ඒ වනවිටත් බණ්ඩාරවෙල නගරය ගිනිගෙන දැවිණ. නගරය පළා නැගගත් අඳුරු දුම්රොටු නායබැද්ද වතුයාය ප්‍රත්‍යන්තයේ වූ අපේ කුලී නිවසේ මිදුලටද දිස් විණ. නගරය වෙළාගත් ගිනිදැල් නගරයෙන් බැහැරටද පැතිර යාමට ගතවනු ඇත්තේ පැය කිහිපයකි. තාත්තා යළිත් අවදානම් විකල්පය තෝරා ගත්තේය. අතුරු මාවත්වලින් තන්තිරියේ පේළි ගෙයක කෙළවරෙහි වූ රමණන්ලාගේ නිවසට යනවිටත් දරු සිඟිත්තන් තුරුළු කොටගත් දිරි බිඳුණු මිනිසෙකු දේව රූප ඉදිරියේ දණගසාගෙන සිටියේය. ඉන් ඉක්බිති එළඹි පැය හතළිස් අටක කාලය තුළ දිවි දෙවෙනි කොට රැකිය යුතු වූ රහසක් අපේ කුලී නිවසේ පහත මාලයේ අඳුරු බිම්ගෙයක් බඳු කාමරයක සඟවා තිබිණ. රහසේ හඬා වැටෙන මව්පියන් හා ආත්තම්මා මැදට වී සිටි එකළොස් වියැති රමණන් හැඬූ බවක් මට මතක නැත.

අනතුරුව අප විසූ කුඩා ගම්මානයද සාහසිකත්වයේ ගිනිදැලින් වැසිණ. අප රැකි රහස නොදැන සිටි ගම් වාසීහු අසූ වියැති දන්ත වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳ හුදකලාවේ ජීවත් වූ නිවසක් වට කොට කඳවුරු බැන්දාහ. සොම්නස් මුවින් දවස් ගතකළ අපේ සාමකාමී අසල්වැසියෝ, ඒ ඉරණම් දිනයේ මිනිස් සැහැසිභාවය රණකාමයෙන් වසන් කොට දවස් භාගයක් ඒ නිවසට පහර දුන්හ. අනතුරුව මරණයේ භීතියෙන් තැතිගෙන සැඟව සිටි ඒ වියපත් මිනිසා සහ ගැහැණිය – නැතෑනියල් යුවළ – වියරු ඔල්වරසන් මැද කුදලා පිටතට ගනු ලැබ, ඔවුන්ටම අයත් පැරණි හම්බර් රථයට යටකොට පුළුස්සා දැමිණ. නීචභාවය දේශප්‍රේමය බවට පත් වූ සමයක සැහැසිභාවය පදක්කමක් බවට පෙරළිණ. හරියටම අද මෙනි. අපි භීතිය වසන් කොට රූපවාහිනී විශේෂ ප්‍රවෘත්ති බලමින් රැය පහන් කළෙමු.

නායබැද්ද වතුයායට ඉහළින් පසුදාද හිරු නැගිණ. දිවි ගළවාගත් රමණන් දේවරාජන් සිය මව්පියන් හා පළමුව කොළඹටත්, එතැනින් ඉන්දියාවටත් පිටව ගියේය. ඇත්තෙන්ම අප නොදැන සිටියාට, අප කිසිවෙකුගේ ජීවිත අහස තෙක් පලසක් මෙන් එළා නොතිබිණ. ඒ අඳුරු සතියෙන් පසු එළඹුණු සඳුදාවක, කිසිදා යළි නොඑන සිසුන් සඳහා එසවුණු සුදු කොඩි රැඳවූ පාසැල් ගේට්ටු කුළුණු පසුකොට මම රමණන් නොමැති පාසැලට ගියෙමි. ඇතැම් විට ඒ ජූලි මාසය නොවී නම් ගොල්ෆ් ලින්ක් පාරේ අපේ සිහින පසුපස අපි තවදුරටත් හඹා යන්නට ඉඩ තිබිණ. ඒ වියරු රැයේ ලේ වැකි දත් විලිස්සා දුව ඇවිද ගිය මිනිසුන්, අනතුරුව එළඹි දවස්වල සන්සුන්ව දිවි ගෙවා, සිය දරුවන් උස් මහත් කොට ගුණ දම් කියා දී මිය ගියහ. නමුත් ඉන් සිව් වසරකට පසුත් අඹතැන්න වතුයාය පසුකොට යන – එන වාරයක් පාසා කඳු බෑවුමේ වූ නිම්නයෙහි ගූඪ සොහොන් කොතක් මෙන් නිසොල්මන්ව නැගී ගත් රමණන්ලාගේ පළමු කුළී නිවසේ ශෝකී සේයාව දොම්නසින් නැරඹු වාර අපමණය.

ලේ වැකි ඒ ජූලි මාසය කලු කුහරයක් මෙන් අපේ ළමා වියේ සිහින ගිළ ගනු ලැබිණ. නේවාසිකාගාරයේ මිතුරන් වූ සෙන්තිල්වාසන්, පුවනේස්වරන් හා ශාන්ත රාජාලා ඒ අඳුරු කුහරයේ සැඟව ගිය මතක අංශු වැනිය. අත් හැරුණු මිතුරන්ගේ කෙළි කවටකම් නොඇසෙන සාංකාවෙන් අපි සදා ඔත්පළ වීමු. නමුත් වෙස් වළාගත් අළුත් ව්‍යසනයන් ඉක්බිති එළඹි වසරවල අප ගිළගැනීමට මුව විවර කොට දිවි මං අවුරා රැක සිටියේය. ඒ ජූලියේ ගින්නෙහි පැලහුණු මිනිස් මාංශයෙන් නැගී ගත් පුළුටු දුමාරය, එයින් පස් වසරක් ගතව ගිය තැන්හි ඒ සොඳුරු කඳුකර නගරය සිසාරා යළිත් පැතිරිණ. ඒ අළුත් දුමාරයේ සැඟව ගිය මගේ මිතුරන් ගැන රමණන්ට කියන්නට මට කිසිදාක නොහැකි විණ. පසුකොට ආ ලේ වගුරු දෙස වරදකාරී හදින් හැරී බලන්නට විසි පස් වරකින් පසුත් බොහෝවුන්ට සිත් නොදෙන බව මම දනිමි. යුක්ති ධර්මය පිළිබඳ මිනිස් සිහින අගාධ අඳුරකින් වැසී ඇත්තේ ඒ නිසාවෙනි.

කොලොම්බියානු කිවිඳියක වූ මාරියා මර්සෙදෙස් කරන්සා සිය ‛පීතෘභූමිය’ කවියෙහි මෙසේ ලියයි:

‛‛මේ නිවහනෙහි
සියල්ල නටබුන් ය…
සංගීතයද – සිප වැළැඳ ගැනීම්ද නටබුන් ය…
ඉරණමද, සියළු උදයන්ද, හසරැල්ද නටබුන් ය..
කඳුළැල් – නිහැඬියාවන් සහ සිහිනද එසේමය…

කවුළුවෙන් පෙනෙන්නේ විසුණු වූ බිම්පෙත් ය
මිනිස් මුහුණු මත මාංශය හා අළු ධූලි මුසු වෙයි
ඔවුන්ගේ මුව තුළ බියපත් වදන් කැළතෙයි…

මේ නිවහනෙහි,
අපි සියල්ලන් පණ පිටින් වැළලී සිටිමු…’’