සිංහල, Democracy, Education, Governance, Kandy, Life quips, Puravasi Katha

‘පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා’


Z ස්කෝර් අර්බුධය ලංකාවේ දේශපාලකයන්ගේත් එම දේශපාලකයන්ට කත් අදින නිළධාරී පැලන්තියේත් මෙන්ම ආශ්චර්යමත් ලංකාවේ ආණ්ඩුකරණයේත් කදිම ප‍්‍රකාශණයකි. නව ඉසෙඩ් ලකුණු ඉදිරිපත්කිරීම පිළිබදව අධිකරණය විසින්ද නියෝගයක් ලබා දී තිබේ. නමුත් විෂයට අදාල බළධාරීන් පවසන්නේ අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් සිසුන්ට ‘අසාධාරණයක්’ නොකරන බවයි. නමුත් සාධාරණයක් කරන්නේ කෙසේද, කවදාද යැයි කිසිදු ඇමතිවරයෙක් පවසන්නේ නැත. දැන් මෙම ගැටලූව අදාල අමතිවරුන්ට වඩා ඉහළින් සිට ‘ආශ්චර්යමත්’ විසදුම් ඉදිරිපත් කරමින් ඇත්තේ ආඩම්බරකාර තාත්තාගේ පුතාලා ය. නමුත් අහිංසක දෙමාපියන්ගේ දරුවන් තමන්ට වුනු අසාධාරණය පවසා කොළඹට පැමිණ තවමත් උද්ගෝෂණය කර තමන්ට සහනයක් ඉල්ලා සිටියි. තවත් තැනක අව්ව,වැස්ස නොබළා කූඩාරමක් යට උපවාසය කරන සිසුන් පිරිසකි. ත්ත්ත්වය මෙසේ වුවද අර්බුධය දැන් මහපාරේය. එය අසන්නට කෙනෙකු නැති සේයකි. මේ එසේ, ස්කෝර් නිසා අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයෙකු තමන්ට සිදුව ඇති අසාධාරණය ප‍්‍රකාශ කල අයුරුය.

”මම ගමේ පොඩි පාසැලකට ගිහිල්ලා 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගියා. පළමුවැනි පාර උසස් පෙළ කරලා දිස්ත‍්‍රික්ක කුසලතාවය 493 වුණා. ඊට පස්සෙ මම ආපහු විභාගය ලිව්වා. ඒ පාර හුඟක් මහන්සි වෙලා පාඩම් කරලා, වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා කියන තත්ත්වයට සූදානම් වුණා. ඒ අනුව විභාගය ලිව්වාට පසුව නුවරින්, දිස්ත‍්‍රික්ක කුසලතාවයට අනුව 74 වෙනියා වුණා. නුවරින් දිස්ත‍්‍රික්ක කුසලතාවයට සහ දීප ව්‍යාප්ත කුසලතාවය මත 78 දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට යන්න හිටියා. ඒ නිසා මම බොහොම බලාපොරොත්තු සහගතව වෛද්‍ය විද්‍යාලයට යන්න පුළුවන් කියන මානසිකත්වයෙන් හිටියා. පසුගිය 22 වෙනිදා නිකුත් වුණ අළුත් ප‍්‍රතිඵලත් එක්ක මගෙ දිස්ත‍්‍රික්ක කුසලතාවය 107 දක්වා පසු බැහැලා තිබුණා. දිස්ත‍්‍රික්කයේ 48 වෙනියා අළුත් ප‍්‍රතිඵලත් එක්ක 85 වෙනියා වුණා. මේ තත්ත්වයේ බරපතල අසාධාරණයක් තියෙනවා. නමුත් පෙර 100 රෑන්ක් එකේ හිටපු අය 47 වෙලා තියෙනවා. ඒ වගේම 110 රෑන්ක් එකේ හිටපු ළමයෙක් 60 ගණන් වලට ඇවිල්ලා තියෙනවා.”

”අපේ අප්පච්චි වෙද මහත්තයෙක්. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නෙ. ඉතින් හුඟක් අමාරුවෙන් ඉගෙන ගෙන තමයි මේ තත්ත්වයට ආවෙ. නමුත් මෙහෙම ඇවිල්ලත් නිශ්චිත තැනට යාගන්න බැරිවෙන කොට පුදුමාකාර කඩා වැටීමක් ඇතිවෙනවා. අනික තමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න මට සල්ලි නැහැ. නැත්නම් මම පළමුවැනි පාර විභාගය ලියලා අවසන් වුණ ගමන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යනවා. මට පළමුවැනි පාර තිබුණු ප‍්‍රතිඵල වලට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න පුළුවන් කම තිබුණා. නමුත් මට කොහෙන්ද සල්ලි? මම නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙන ගෙන මේ තැනට ආවෙ මට සල්ලි නැති නිසානෙ. සල්ලි තිබුණා නම් මම මේ රටේ රැඳිලා ඉගෙන ගන්නෙ නැහැනෙ.”

”මෙතනදි තවත් ගැටළුවක් වෙන්නෙ, වෛද්‍ය විද්‍යාලයට යා යුතු පුද්ගලයො වෛද්‍ය විද්‍යාලයට නොයාමයි, යා නොයුතු පුද්ගලයො වෛද්‍ය විද්‍යාලයට යාමෙනුයි රටට වෙන බලපෑම ගැන පාලකයො හිතලා නැහැ. මට පෞද්ගලිකවම වගේම මේ තත්ත්වය රටේ සංවර්ධනයට, රටේ අනාගතයටත් බලපානවා. මෙතන තියෙන ප‍්‍රශ්නය සරල ප‍්‍රශ්නයක් නෙමෙයි. මේක අපිට විතරක් බලපාන ප‍්‍රශ්නයක් නෙමෙයි. අපි මේ ප‍්‍රශ්නයෙ වින්දිතයො විතරයි. නමුත් මේක රටටම බලපාන දෙයක් මිසක් සරල දෙයක් නෙමෙයි. මේ ඇතිවුණ රික්තය ඊට පසුව යන්නෙ ලෝකයට. ලංකාවේ උපාධිධාරීන්ගෙ ගුණාත්මකභාවය අඩු වෙන්න මේ රික්තය බලපානවා. ඒක නිසා මෙතන බරපතල අවුලක් තියෙනවා. ඒ අවුල ලිහන්න ගන්න තීරණ වලත් මොනවගේ අවුල් ඇති වෙයිද දන්නෙ නැහැ. අපි මෝඩයො නෙමෙයි. මේ වෙන දේවල් හැම දෙයක්ම අපිට හරි පැහැදිලියි.”

ඉසෙඞ් ස්කෝර් ගැටළුවෙන් අසාධාරණයට ලක් වූ ශිෂ්‍යයෙක්