සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

පොළිස් අත්අඩංගුවේ සිටියදී රට ‛සුරකින විශිෂ්ඨයෙක්’ සහ තවත් තරුණයෙක් මරා දමයි.

ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගැනීමේන් පසු ඝාතනයට ලක්කොට ඇති දිනේෂ් තරංග ජනාධිපතිවරයාගේ ‛රට සුරකින විශිෂ්ඨයෝ’ සංකල්පය අනුව විශිෂ්ඨයන් අතරයට මොරටුවෙන් තේරුණු අයෙකි.

මොවුන් දෙදෙනාම ප්‍රදේශයේ පොදු කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන තරුණයන් වන අතර ජනතාවගේ නිබද ආදරයට පාත්‍ර වූ අය බව ප්‍රදේශවාසින් පවසයි. මොවුන් අත්අඩංගුවට ගැනීමට ආසන්නම හේතුව ලෙස තරුණියකට විහිඑ කලා යැයි කියන සිද්ධියක් පිළිබඳ තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොළිසියේ අත්අඩංගුවේදී මරා දැමූනු පළමු පුරවැසියන් දිනේෂ් හා දනුෂ්ක නොවේ. පසුගිය කාලයේ දිගින් දිගටම අත්අඩංගුවේ සිටියදී පහර දීම්වලට ලක් වූ, මරණාසන්න තුවාල සිදුවූ සහ මරා දැමු සිද්ධීන් දිගින් දිගටම මාධ්‍ය වාර්තා කලේය.

මාතලේ ප්‍රදේශයයේ වෙළද ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමේන් පසු රෝහල් ගතකොට ඉන්පසු මිය ගිය සිද්ධියක් පිළිබඳ පසුගිය දින ‛විකල්ප’ වාර්තා කලේය.

දිනේෂ් සහ දනුෂ්ක අත්අඩංගුවේ සිටියදී මරා දෑමීම එහි ආසන්නම සිද්ධියයි.

කෙසේ වෙතත් එයට අදාල පොළිස් ස්ථානයේ නිළධාරීන් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. නමුත් මෙම සිද්ධින් මෙතකින් අවසන් වේ යැයි කාට නම් කිව හැකිද?

මෙම සිද්ධියට සම්බන්ධ නිළධාරීන්ට දඩුවම් ලැබෙනු ඇතැයි කාටනම් කිවහැකිද?..

නමුත් එක් දෙයක් කිව හැකි ය. දිනේෂ්ගේ සහ දනුෂ්කගේ අම්මාට නැවතත් දිනේෂ් හෝ දනුෂ්ක ලැබෙන්නේ නැත. ඒ වේදනාව සදාකල්හීම ඔවුන්ගේ හදවත රිදවනු නිසැකය. වේදනා දෙනු නිසැකය. ඒ වේදනාව මේ නීතියටත් ඒ නීතිය ක්‍රියාත්මක කරන කිසිවෙකුටත් දැනෙන්නේ නැත.

මේ තරුණයන් මරා දැමූ කාකි ඇදුම්, දිනේෂ්ගේ සහ දනුෂ්කගේ අම්මාවරුන්ගේ කඳුලින් සේදී ගියත් මොවුන්ට මෙහි වේදනාවන් තේරෙන්නේ නැති බව නම් නිසැකය.

වරක් ශ්‍රි ලංකාවට පැමිණි ෆන්සුවා හුටා නම් දේශපාලන චින්තකයා ශ්‍රි ලංකාව පිළිබඳ මෙවැනි අදහසක් පළ කලේය. ‛ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් පොළිස් රාජ්‍යක් දක්වා ගමන් කරන බව පෙනේන්නට තිබේ‛. එය වූ බවට දිනේෂ්ගේ සහ දනුෂ්කගේ මරණයන් හොඳටම සාක්ෂි නොසපයන්නේද?