සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Human Security, Life quips

වෙඩි හඬ දරන්න බැරිව මෙහෙ ඇවිත් අතරමං වුණා…

මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි, අක්කයි එතනම නැති උනා. මල්ලි හොස්පිටල් ගෙනියද්දි මැරුණා. තව අපේ නෑදෑයො හතර දෙනෙක් නැති උනා. මගේ පවුලෙන් මම විතරයි ඉතිරි උණේ. හැමදාම වෙඩි හඬ විතරයි අපට ඇහෙන්නෙ. මට ඕන උනේ කොහොම හරි ගමෙන් කොහේ හරි යන්න.
අපේ ගෙවල් ළග මම දන්න අක්කා කෙනෙක් කොළඹ ඉන්නවා. එයා මාව 2006 නොවැම්බර් මෙහේ ගෙනාව. එයා කිව්වා එයා තව මාස 6න් ගෙදර යනවා. තනිවම ඉන්න පුලුවන්නම් ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා. මම කැමති උනා. මට සයිනොටෙක්ස් එකේ හෙල්ප කෙනෙක් විදිහට වැඩ හම්බ උනා. මගේ මූලික පඩිය 5000යි. පැමිණිමේ දීමණා 1000ක් හම්බ උනා. ඕටී ත් තිබුණා. මාසයකට 9000ක් විතර ගත්තා. මම මාමලාගේ පවුලටත් සැරින් සැරේ උදව් කළා. අවුරුද්දට දෙපාරක් විතර මම එයාලව බලන්න යනවා.

2008 මුල් කලයේ වෙනකොට ෆැක්ටරියේ ඕටී අඩු වෙන්න ගත්තා. හැමෝම බයවෙලා හිටියේ ෆැක්ට්‍රිය වහයි කියලා. කොහොම උනත් ෆැක්ට්‍රියේ එක පැත්තක් වහන්න ටික ටික සෙනඟ උඩු කරන්න ගත්තා. මුලින් අයින් කලේ මාස 6කට අඩු අලුත් අය. ඒ වෙද්දි මම ඇවිත් අවුරුදු දෙකක් වෙන්න ඇවිත් තිබුණා. ඒත් මට අස්වීමට අත්සන් කරන්න බල කෙරුණා. අලුත් සේවකයන් අස් කරන අතරේ මම අයින් කරන්න හේතුව විදිහට මුකුත් නොකිවුවට ඒ වෙද්දි මට තේරුම් ගිහින් තිබුණා. වෙන කරන්න කිසි දෙයක් නැති නිසා මම අයින් උනා. මට ෆැක්ට්‍රියෙන් එළියට එද්දී මම ඉවරයි කියලා හිතුණා. මොකද ඒ වෙනකොට මට හතර වතාවක්ම බෝඩිම මාරු කරන්න උණා. මම දෙමළ නිසා වෙන බෝඩිමක් හොයන හැම වෙලාවේම සෑහෙන දුකක් විඳින්න උනා. කවුරුවත් කැමති නැහැ මාව කාමරේ තියාගන්න. අන්තිමට මගේ කතාව අහලා මාත් එක්ක එකට වැඩ කළ කුරුණැගල නංගී කෙනෙක් තමයි මට එයාගේ කාමරේ ඉන්න ඉඩ දුන්නේ. ඒත් ‛සාර්ක්’ එක වෙලාවේ ඔක්කොම දෙමළ ළමයින්ගෙන් ෆැක්ට්‍රිය ඇතුළට පොළිසිය ඇවිත් ප්‍රශ්ණ කළාට පස්සේ ඒ නංගිත් මාව තියාගන්න බය උනා.

ඊට පස්සේ මම කඳානෙ බෝඩ් වෙලා වැඩට ආවේ. දැන් මගේ ජොබ් එකත් නැහැ. පහුගිය දවස් ටිකේම මම ෆැක්ට්‍රි කිහිපයකටම ගියා. ඒ එකකින්වත් මාව ගන්නේ නැහැ. ඉන්නේ කොහෙද අහනවා. පස්සේ දැනුම් දෙන්නම් කියනවා. ගමේ යන්නත් නැහැ. එහේ මගේ වයසේ කවුරුත් ගෙවල්වල නැහැ. ගෙදර හිටියොත් මොනවා වෙයිද කියන්න බැහැ. මෙහේ ඉන්න විදිහකුත් නැහැ.

උපුටා ගැනීම – අශිලා නිරෝෂිනී මාපලගම ගේ ‛මංසන්ධි’ කෘතියෙන්