සිංහල, Economic issues, Education, Governance, Human Rights, Life quips, Moneragala

ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්


ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා.

‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට
බක මූණෝ පියාඹතී අනික් කුරුල්ලෝ නිදති
බෝ අතු වල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසතී”

‘මොනවද මේ සමන්පිච්ච මල්වලට සමාන කරලා තියෙන්නෙ?’ ගුරුවරයා ළමයින්ගෙන් අහනවා.

‘තරු වලට’, බලාපොරොත්තු වලින් ඇස් ලොකු කරගත්ත පුංචි දැරියක් එකපාරටම උත්තර දෙනවා.

‘තරු වලට’
අර පුංචි දැරියව අනුගමනය කරන අනිත් ළමයි කිහිප දෙනා පසුව උත්තර දෙනවා.

‘එතකොට මොකක්ද මේ නිල් තණකොළ පිට්ටනියක් කියලා කියන්නෙ?’ නැවතත් ගුරුවරයා ප‍්‍රශ්න කරනවා.

‘අහසට’ නැවතත් ඇස් ලොකු කරගත්ත දැරිය උත්තර දෙනවා.

‘අහසට’ නැවතත් අර දැරියව අනුගමනය කරන අනිත් ළමයි පසුව උත්තර දෙනවා.

බුත්තල ප‍්‍රදේශයේ ග‍්‍රාමීය පාසැලක ප‍්‍රාථමික පන්තියක සිදුවන මෙම සිදුවීමේ චරිත කිහිපයක් දැකගන්න පුළුවන්. එක්කෙනෙක් ගුරුවරයා. අනිත් චරිතය තමයි ඇස් ලොකු කරගත්ත දැරිය. අනිත් චරිත ටික විදිහට, අර ඇස් ලොකු කරගත්ත දැරියව අනුකරණය කරන ළමයි පිරිස හඳුන්වන්න පුළුවන්.

අනුකරණයට හුරු වුණු ළමයින් බොහෝ අයගෙ ඇස්වල කිසිම ආත්ම විශ්වාසයක් නැහැ. සමහර විට නිරන්තරයෙන් හමන වියලි හුලඟට මේ ළමයිනේගෙ ආත්ම විශ්වාසය ගහගෙන ගිහිල්ලා ඇති. ඉගෙන ගෙන වැඩක් නැහැ කියලා හිතන්න මේ ළමයින්ගෙ අත්දැකීම් මේ ළමයින්ට බලකරලා ඇති.

ඇස්දෙක ලොකු කරගෙන ගුරුවරයා අහන අහන ප‍්‍රශ්න වලට පැන පැන උත්තර දෙන දැරිය අනිත් ළමයින්ට වඩා වෙනස්. බලාපොරොත්තු වැඩි කමට ද කොහේද ඒ දැරියගෙ ඇස් සාමාන්‍ය තරමට වඩා ලොකු වෙලා. නිරන්තරයෙන් වද දෙන වියලි අව්වට කොණ්ඩය අවපැහැ වුණාට, ඒ අව්වට දැරියගෙ ආත්ම විශ්වාසය නම් අව පැහැ කරන්න බැරි වෙලා. මම කොහොම හරි ඉගෙන ගන්නවා. දැරියගෙ හැසිරීම අපිට නොකියා කියනවා.

අවසාන වශයෙන් ගුරුවරයා ගැන කතා කළොත්, එයාගෙ මුහුණෙ තියෙන්නෙ දරා ගත නොහැකි වෙහෙසක්. ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරලම ගුරුවරයා වෙහෙසට පත්වෙලා ඇති. ඒ වගේම ඒ ගුරුවරයාගේ ඇස් වල බයක් හැංගිලා තියෙනවා කියලා පේනවා. ළමයි 126 දෙනෙක් ඉගෙනගන්න මේ පාසැල වැහුණොත් එහෙම මේ ළමයින්ට අත්වෙන ඉරණම ගැන මේ ගුරුවරයා බයෙන් ඇති.

‘මේ ළමයි හුඟක් අයගේ එක්කො තාත්තා නැහැ. නැත්නම් අම්මා නැහැ. කිහිපදෙනෙක්ගෙ තාත්තයි අම්මයි දෙන්නම නැහැ. හුඟක් අයගේ අම්මා හරි තාත්තා හරි දාලා ගිහිල්ලා. නැත්නම් වසබීලා මැරිලා. මේ ළමයිට ගෙදර ගියාම කිසිම සතුටක් නැහැ. සතුටු වෙන්න තියෙන එකම තැන තමයි ඉස්කෝලෙ.’

පාසැලේ ප‍්‍රාථමික පන්ති භාර ගුරුවරියක් මෙහෙම කියනවා.

‘අපේ ළමයින්ව අපි ඉස්කෝලෙ යවන්න නැගිට්ටවන්නෙ බොහොම අමාරුවෙන්. තේ එක ලඟට ගිහිල්ලා දෙන්න ඕනෙ. ඇඳුම් මැදලා දෙන්න ඕනෙ. ඉස්කෝලෙ ගාවට ගිහින් ඇරලන්න ඕනෙ. නමුත් මේ පාසැලේ ළමයින්ගෙ හුඟක් දෙමව්පියො උදේ පාන්දරම හේනට යනවා. සමහර විට ?ට පැල් රකින්න යනවා. ඒක නිසා මේ ළමයි ඉස්කෝලෙ යන වෙලාවට දෙමව්පියො ගෙදර නැහැ. නමුත් මේ ළමයි තනියෙන්ම අවදිවෙලා, තියෙන දෙයක් කාලා, තනියම ලෑස්තිවෙලා, පයින් හුඟක් දුර ගෙවාගෙන, ඉස්කෝලෙට එනවා.’

එහෙම කියන්නෙ පාසැලේ විදුහල්පතිතුමා.

මෙම පාසැලේ දකින දකින හැම තැනම තියෙන්නෙ පහසුකම් වලට වඩා අපහසුකම්. අගනගරය කේන්ද්‍ර කරගත්ත පාසැලක, එහෙම නැත්නම් ජාතික, ජනප‍්‍රිය වැනි එක එක විදිහට හඳුන්වන ළමයින් දහස් ගණනක් පොරකන, එලියෙ හුඟක් පිරිසක් ඇතුළට එන්න පොරකන පාසැලක, සමහර අය කාර් එකේ පිටිපස්සෙ ආඩම්බරෙන් ලාංඡුනය අලවගෙන යන පාසැලකට ලැබෙන අවධානය මේ පාසැලට නැහැ. මේ පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයක් නැහැ. සමහර විට ජීවත්වෙනවද? මැරෙනවද? කියන ප‍්‍රශ්නය වඩා දෙයක් මේ පාසැලේ ආදි ශිෂ්‍යයන්ට හිතන්න වෙලාවක් නැතිව ඇති.
මේ ප‍්‍රදේශය පෙලන වියලිකම පරාජය කරන්න විශාල සමාජ ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි තමයි. නමුත් අධ්‍යාපනය තුළින් යම් තරමකට හරි ප‍්‍රදේශය පෙලන වියලිකම නැති කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වලින් ඇස් ලොකු කර ගත්ත දැරිය අපිට කියනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු මස් රාත්තලම ඉල්ලන එකක් නැහැ කියලා, ලෝක ළමා දිනය දවසේ ජනාධිපති කිව්වා. නමුත් මේ වගේ පාසැලකට මස් රාත්තලක් නෙමෙයි, කිලෝ ගාණක් වුණත් දිය යුතුයි කියලා තමයි කියන්න තියෙන්නෙ. අධ්‍යාපනයට සියයට 6ක් වැය කරන්න කියලා කියන කොට, ආණ්ඩුව ඒ සියයට 6ට දෙමව්පියන්ගෙ වියදමත් එකතු කරලා සියයට 6 හදන්න උත්සාහ කරනවා. ගණන් මිනුම් වලින් එහෙම පෙන්නුවට දෙමව්පියන්ට වැලේ වැල් නැති, සමහර විට දෙමව්පියො නැති මේ පාසැලේ ළමයින්ට කව්ද වියදම් කරන්නෙ? මේ පාසැල වැහිලා ගියොත් අර ඇස් දෙක ලොකු කරගත්ත දැරියට මොකද වෙන්නෙ? එම දැරියගේ ආත්ම විශ්වාසයෙන් තමන්ගෙ ආත්ම විශ්වාසය ගොඩ දාගන්න උත්සාහ කරන අනිත් ළමයින්ට මොකද වෙන්නෙ?

බ්ලැක් බෝර්ඞ්ස්

ඉරාක දේශ සීමාව ආසන්නයේ ඉරානයේ කඳුවැටියක සයිද් නැමැති ගුරුවරයා කළු ලෑල්ලකුත් පිටේ එල්ලගෙන ගෙන ගමන් කරනවා. සයිද් මේ විදිහට ඉරානයේ කඳුවැටියක තනිවෙන්නෙ, කළු ලෑල්ල එල්ල ගත්ත තවත් ඒ වගේම ගුරුවරු කිහිපදෙනෙක්ගෙන් සමුගෙන. අනිත් ගුරුවරුත් මේ විදිහට විවිධ පළාත් වලට විසිරෙනවා. කළු ලෑල්ල පිටේ එල්ල ගත්ත සයිද්ලා උගන්වන්න ළමයින්ව හොයනවා. නමුත් මේ කඳු අතරෙ ඔවුන්ට හමුවෙන්නෙ ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැර ගත් මිනිස්සු.

‘ඔයාට මම අකුරු උගන්වන්නද?’ සයිද් කඳු යායේදී හමුවුනු වයසක මිනිසෙකුගෙන් අහනවා.

අකුරු දැනගෙන මක් කරන්නද? වයසක මිනිසා සයිද්ගෙන් අහනවා.

අවසානයේ සයිද්ට ළමයි පිරිසක් හමුවෙනවා. සයිද්ට ඒක දරා ගන්න බැරි තරම් සතුටක්. සයිද් ළමයින්ට උගන්වන්න උත්සාහ කරනවා. නමුත් ළමයින්ගෙ උපහාසයට සයිද් ලක්වෙනවා.

මේ සිදුවීම සිදුවන්නෙ Samira Makhmalbaf ගෙ ‘බ්ලැක්බෝර්ඞ්ස්’(Blackboards) කියන චිත‍්‍රපටියෙ. අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳිලා තියෙන සමාජයක, සයිද් විසින් උගන්වන්න අසාර්ථක උත්සාහයක යෙදෙන ආකාරය මේ චිත‍්‍රපටියෙ පෙන්වන ආකාරය අපූරුයි.

අධ්‍යාපනය ගැන කිසිදු උන්නදුවක් නැති, අධ්‍යාපනය මිනිසුන්ට අනවශ්‍ය දෙයක් බවට පත්කරන්න උත්සාහ ගන්න, අධ්‍යාපනය ගැන තියෙන විශ්වාසය මිනිසුන්ගෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් පහකරන ආකාරයේ සැලසුම් ක‍්‍රියාත්මක වන ලංකාවෙත්, අනාගතයෙදි මේ විදිහට ගුරුවරු කළු ලෑලි පිටේ එල්ලගෙන ගියොත් පුදුම විය යුතු නැහැ.

චමිල ප‍්‍රියංක[Chamila Priyanka]

[Photo by:www.vikalpa.org]