Colombo, Featured Articles, Features

අධිකරණය හීලෑ කිරීමේ පවුලේ ව්‍යාපෘතිය

කැලෑ පත්තර අලවන්නේ ගස්වල ය. ලංකාවේ දී නම් එම කැලෑ පත්තර උත්තරීතර පාර්ලිමේන්තුවේ දී කියවනු ලැබේ. මේ වනාහී, කැලෑ පත්තරයේ තත්ත්වය උසස් වීමකට වඩා පාර්ලිමේන්තුව වනගත වීමකි.

වරදට පැනවෙන දඩුවම අදාළ වරදට සමානුපාතික නොවීම අසාධාරණ වන්නේ යම් සේ ද, වරදක් වෙනුවෙන් පැනවෙන දඩුවම අදාළ වරදට පරිබාහිර වෙනත් හේතූන් මගින් පොළඹවනු ලැබීමත් අසාධාරණ ය. එසේම, නීතිය සාධාරණ වන්නේ, වරදක් සිදුවූ අවස්ථාවේ දී වරදට දඩුවම් දීමත්, ඒ වරදේම මූලය මිස වෙන කිසිවක් එකී දඩුවම සඳහා පාදක කර නොගැනීමත් මත ය.

තවත් විදිහකින් කිවහොත්, වරදක් සිදුවන අවස්ථාවේ කිසි පියවරක් නොගෙන සිටි කිසි බලාධිකාරියකට එම වරද සම්බන්ධයෙන් වෙනත් අවස්ථාවක දී පියවර ගැනීමේ සදාචාරමය අයිතියක් හිමිවන්නේ නැත. මන්ද යත්, දඩුවම සඳහා සළකා බැලෙන්නේ කළ වරදම පමණක් නම්, එකී වරද කළ අවස්ථාවේ ඒ ගැන අසංවේදීව සිටි බලාධිකාරයක් වෙනත් අවස්ථාවක දී එම වරද සම්බන්ධයෙන්ම අතිශය සංවේදී වීම තුළ, නීතියට පිටස්තර හේතුවක් ක‍්‍රියාත්මක වන්නේ යැයි සැක කළ හැකි බැවිනි. එය, නෛතික පදනමක් අනීතික ආකාරයකින් පාවිච්චි කිරීමකි.

අගවිනිසුරුවරියගේ සැමියා මීට කලකට ඉහත දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා විය. එම තනතුරට ඔහුව පත්කරන ලද්දේ ජනාධිපතිවරයා විසිනි. ඔහුගේ සභාපතිත්වය යටතේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟත්වයෙන්, එක් ගනුදෙනුවක් සිදුවිය. එනම්, ‘ද ෆිනෑන්ස්’ සමාගමේ කොටස් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදලින් මිලට ගැනීම යි. එසේ මිළ දී ගත්තේ, එදා පැවති වෙළඳපොලේ මිලට නොව, ඊට වඩා පුම්බන ලද ඉහළ මිලකට ය. එනම්, ‘ද ෆිනෑන්ස්’ සමාගමේ එක කොටසක් පවතින වෙළඳපොල තත්ත්වයන් යටතේ රුපියල් 30 ක පමණ අගයක් දරද්දී ජාතික ඉතිරි කිරීමේ බැංකුව එම කොටසක් මිල දී ගත්තේ රුපියල් 40 කටත් වැඩි පුම්බන ලද ඉහළ මිළකට යි. මෙය, පැහැදිළිවම, මහජන මුදල් අක‍්‍රමික ආකාරයෙන් පරිහරණය කිරීමකි. මාධ්‍ය මගින් මේ අයථා ගනුදෙනුව හෙළිකිරීමෙන් පසු එය අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවිය. ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය. එය දූෂණයෙන් සහ වංචාවෙන් පිරී තිබුණු ගනුදෙනුවක් බව පැහැදිළි යි. ඉතිං, අදාළ බලධාරීන් එදා කළ යුතුව තිබුණේ, එහි සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, වෙනත් අදාළ බලධාරීන්ටත් එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම යි. එවැනි කිසිවක් එදා සිදුවුණේ නැත.

ඊළඟට, මේ කියන අක‍්‍රමිකතාව සිදුවූ අවස්ථාවේ නොව, ඊට කලින්ම, එනම් සැමියාව ජනාධිපතිවරයා විසින් ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති තනතුරට පත්කළ අවස්ථාවේම අගවිනිසුරුවරිය සිය තනතුරින් ඉල්ලා අස්විය යුතුව තිබුණි. මන්ද යත්, තමාගේ රාජකාරියත්, සැමියාගේ රාජකාරියත් අතර ‘බැඳියා පිළිගැටුමක්’ ඇති විය හැකි බැවිනි. බැඳියා පිළිගැටුමක් යනුවෙන් අදහස් වන්නේ, තනතුරු දෙකේ ඇති වෙනස් අවශ්‍යතා විසින් හැම විටකම එයින් එක තනතුරක හෝ දෙකේම ස්වාධීනත්වයට බාධා එල්ල වීමට ඇති ඉඩකඩ යි. විශේෂයෙන්ම, ඇගේ සැමියාගේ තනතුර හුදෙක් දේශපාලනික පත්වීමක් වීම නිසාම, ඇය, නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා රාජකාරියෙන් බැඳී සිටි නිලධාරිනියක වශයෙන්, වඩාත්ම එසේ කළ යුතු විය. නැත්නම්, ඇගේ රාජකාරිය ගැන සිතා සැමියා එම තනතුර ජනාධිපතිවරයාගෙන් බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබුණි. එහෙත් දෙන්නාගෙන් එක්කෙනෙකුවත් එදා එවැන්නක් කෙළේ නැත. එසේ නොකිරීම, බලධාරීන්ට එදා ප‍්‍රශ්නයක් වුණේ ද නැත.

අද, හිටිහැටියේම, අල්ලස් හෝ දූෂණ කොමිසම ඇගේ සැමියාට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. ආණ්ඩුව ඈට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මන්ත‍්‍රී අත්සන් 118 ක් එක්කාසු කොට ඇත.

මේ දෙකම, එනම්, සැමියාට එරෙහිව නඩු පැවරීමත්, ඈට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමත් සිදුවන්නේ, ඔවුන් දෙන්නා සම්බන්ධයෙන් අදාළ කාරණය සිදුවී සෑහෙන කලකට පසු ආණ්ඩුවේ ‘දිවි නැගුම’ පනත අරභයා පාලකයාගේ අසන්තෝසයට හේතුවන තීන්දුවක්, ඇගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීමත් සමග ය. ඉතිං, මේ සිදුවීම් දෙකම, නීතිය ඉදිරියේ කෙසේ වෙතත්, යුක්ති ධර්මය පසිඳලීමෙහි ලා පාලකයාගේ පැත්තෙන් ගෙන ඇති අත්තනෝමතික පියවරක් බව බැලූ බැල්මටම පෙනේ. මෙයින් නැවත වරක් සනාථ කෙරෙන්නේ, තමන්ට පක්ෂපාතී වන තාක් ඕනෑම අජාසත්ත වරදකට ඇස් කන් පියා ගැනීමත්, අපක්ෂපාතී වූ මොහොතේ පටන් බුදුවරයෙකුගේ සිරුරේ ලේ සෙලවීමට වුව පසුබට නොවීමත් රාජපක්ෂ ආණ්ඩුවේ පාලන ප‍්‍රතිපත්තිය බව යි. අගවිනිසුරුවරිය ගැන ලියූ එක් කැලෑ පත්තරයක්, ශිෂ්ට සම්පන්න සකල ආචාර ධර්ම කෙලසමින් එක් මන්ත‍්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කියැවීමෙන් පසු, දැන් රජයේ විද්‍යුත් මාධ්‍ය හරහා එම කැලෑ පත්තරයේ අන්තර්ගතය පුන පුනා සමාජගත කිරීම මගින් පෙන්නුම් කරන්නේ, රටක් වශයෙන් මොන තරම් වනචාරී අඩියකට අප ඇද වැටී ඇත් ද යන්නයි.

දැන් අප සළකා බැලිය යුතු ඊළඟ කාරණය වන්නේ, ‘දිවි නැගුම’ සම්බන්ධයෙන් මීළඟට අධිකරණ දිය හැකි ඕනෑම තීන්දුවක් කෙරෙහි, ඉහත සඳහන් වාතාවරණය කුමන ආකාරයෙන් බලපෑ හැකි ද යන්නයි.

‘දිවි නැගුමේ’ ඊළඟ නඩුව වන්නේ, උතුරු පළාත් සභාවක් මහජන ඡන්දයෙන් පත්ව නැති තත්ත්වය තුළ, එම සභාව වෙනුවෙන් එහි ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය පමණක් ලබා ගැනීම ප‍්‍රමාණවත් ද යන්න යි. ආණ්ඩුකාරවරයෙකු යනු මහජන නියෝජිතයෙකු නොවේ. ඔහුව පත්කරන්නේ ජනාධිපතිවරයා විසිනි. බලය බෙදාහැරීමේ ප‍්‍රතිපත්තිය අනුව, පළාත් සභා වෙත මුලින් බෙදා හරින ලද බලයක් ආපසු මධ්‍යම ආණ්ඩුව වෙත පැවරීම සිදු කළ හැක්කේ, පළාත් සභාවේ අනුමැතිය යටතේ පමණක් නම්, එහි අදහස වන්නේ, පළාතේ ජනතාවගේ අනුමැතිය යටතේ පමණක් එම බලය ආපසු පැවරිය හැකි බවකි. දැනට එම අනුමැතිය වෙනත් සියලූ පළාත් සභා විසින් මහ ආණ්ඩුව වෙත පිළිගන්වා ඇත. ඔවුන් එම තීරණයට පැමිණ ඇත්තේ විධායකයේ නියෝගය යටතේ වුවත්, එම පළාත්වල ජනතාවගේ අනුමැතිය එහි අන්තර්ගත වෙතැ යි න්‍යායිකව පිළිගැනීමට බැරි කමක් නැත. එහෙත්, එවැනි ජනතාවක් විසින් පත්කොටගෙන නැති උතුරු පළාත් සභාවේ දී එම අනුමැතිය දෙන්නේ, ජනාධිපතිවරයා විසින්ම පත්කරන ලද තනි පුද්ගලයෙකු විසින් නම්, එය එම පළාතේ ජනතාවගේ අනුමැතියක් වශයෙන් පිළිගැනීමේ පුළුවන් කමක් නැත. මේ නිසා, බලය බෙදා හැරීමේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිපත්තිය විසින්ම ආණ්ඩුකාරවරයාගේ එම අනුමැතිය අවජාතක කරන්නේය.

ඇතැම් විචාරකයන්ට අනුව, මේ කියන දෝෂාභියෝගය රටේ ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා පියවරක් ලූ. මෙවැනි විචාරකයන්ව හඳුනාගත යුත්තේ, වතුර රත්වෙද්දී පවා සැණකෙලි සුවයෙන් කල් ගෙවන කකුළු ගනයාට යි. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය උදුරා ගත යුතු යැයි, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කිසි තැනක නොකියැවෙයි. ඊටත් වඩා, අද පාර්ලිමේන්තුව යනු විධායකය හෙවත් ජනාධිපතිවරයාගේ අභිමතයට හැසිරෙන ගිරා කූඩුවකට වැඩි දෙයක් නොවන නිසා, අධිකරණයේ ස්වාධීනත්වය නැති කිරීම මගින් සිදුවන්නේ, පාර්ලිමේන්තුවේ නොව, එක පුද්ගලයෙකුගේ සහ එම පවුලේ බලය තර කර ගැනීම පමණක් බව දැන්වත් තේරුම් නොගැනීම මහාම අබග්ගයයි.

කෙසේ වෙතත්, අගවිනිසුරුවරියගේ සැමියා චූදිතයෙකුව සිටින අතරේ ඇයමත් දෝෂාභියෝගී තර්ජනයට ලක්කිරීමෙන් ආණ්ඩුව කරන්නේ, ‘මග සිටියොත් අඹු නසී, ගෙදර ගියොත් තෝ නසී’ තත්වයට අධිකරණය පත්කිරීමක් බව පැහැදිළි ය. අදාළ ‘දිවි නැගුම’ පනත සඳහා ආණ්ඩුකාරවරයාගේ අත්සන පමණක් ප‍්‍රමාණවත් නොවන බවට තීන්දු වුණොත්, එය අගවිනිසුරුවරියට ආණ්ඩුව සමග ඇති කෝපය නිසා දුන් තීන්දුවක් වශයෙන් ආණ්ඩුවේ විවේචනයට හසුවනු ඇත. අනිත් පැත්තෙන්, ආණ්ඩුකාරවරයාගේ අත්සන පමණක් ප‍්‍රමාණවත් බවට තීන්දු කළොත්, එය ආණ්ඩුවේ තර්ජනය හමුවේ අධිකරණය හීලෑ වීමක් වශයෙන් වෙනත් පාර්ශ්ව විසින් අර්ථ දක්වනු ඇත.

මෙවැනි වාතාවරණයක් යටතේ කටයුතු කිරීමට රටක අධිකරණයට සිදුවීම, එම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, නීතියේ ආධිපත්‍යයටත් මොන තරම් වින්නැහියක් ද?

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]

####

[Photo Credit:www.sundaytimes.lk]