Colombo, Featured Articles, Features

ශිරාණි : ගැටලුවේ පිළිතුර


උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන් දක්නට ලැබුණි. එනම් රටේ බරපතල ගැටලු ගැන සොයා බැලීම සඳහා බුද්ධිමතුන්ගේ ස්වාධීන මැදිහත් වීම සම්පූර්ණයෙන් ඉවත් කිරීම රාජපක්ෂ න්‍යාය වේ. ඒ වෙනුවට තමන්ගේ වාචලයින් කූඩුවලින් එලියට දමා හැකි පමණ බිරීමට සැළවීම ඔහුගේ උපාය වේ. මෙවර අගවිනිසුරුවරියට එරෙහිව දෝශාභියෝග යෝජනාව සලකා බැලීම සඳහා පත්කරනු ලැබ ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් එය මනාව ඔප්පු කොට තිබේ. ඒ සඳහා තමාගේ අභිමුඛ වැඳ නමස්කාර කරන සුවච කීකරු සුනඛයින්ගේ ගති ලක්ෂණ පෙන්වන රැලක් තෝරාගෙන ඔවුන් ඔස්සේ රටේ බරපතල ගැටලුවක් විසඳීමට සැලසුම් සකස්කරමින් සිටියි. මුලින්ම අවබෝධ කර ගත යුතු මුලික සරල සත්‍ය වන්නේ රාජපක්ෂට මෙම ගැටලුව මහජනතාව අපේක්ෂා කරන ආකාරයෙන් විසඳීමට අවශ්‍ය නැති බවයි. රාජපක්ෂට අවශ්‍ය වන්නේ තමා සහ තම පවුල ගැන පෘථුල විශ්වාසයක් ඇති කොට රටක ආයතන කෙරෙහි ඇති විශ්වාසය ඝාතනය කිරීමටය. මෙවැනි බේබදු සිහින දුටු නායකයෝ ලෝක ඉතිහාසය පුරාම සිටියහ. ඔහුවූ එලවා දැමීමට එකී රටවල ජනතාවට අතිවිශාල වන්දි ගෙවීමට සිදු වූහ. මිලියන ගණන් මිනිස් ජීවිත අහිමු වූහ.

රටේ ජනතාවගෙන් බහුතරය අන්දයින් වන තාක් දුරට රාජපක්ෂ විසින් ප්‍රභාකරන්ගේ මළ කඳට මඩ ගසා අඹුඩය ගැසීම සිහිකරමින් රාජපක්ෂවරුන්ගේ පිළිකුල් දුර්ගන්ධය සෝදාහරින මාධ්‍ය ඔස්සේ සිදුකරන විකාරය භුක්ති විඳිමින් තමන්ගේ අත්මගරුත්වය රුපියල් පන්සීයට පමණක් නොව නොමිලේම පාවා දෙනු ඇත. එය ඉතිහාසය ලෙස තවස් වසර සියගනනකින් පසු එන මීළඟ පරම්පරාව විසින් කියවනු ඇත. මෙවැනි අසාධාරණයක් උහුලාගත හැක්කේ කෙසේද? ආමෙරිකානු ඔත්තු සේවය වන සී. අයි. ඒ. විසින් මරා දමනු ලැබූ එල් සැල්වදෝරයේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් අමිල සේවයක් කළ මාර්ටින් බාරො පියතුමන් වරක් කියූ ආකාරයෙන් රටේ පොදු දැනීම ඝාතනය වූ විට මෙවැනි විකාර නායකයින්ගේ නාඩගම් සහ ඒවා බලා නිහඬව සිටින බහුතර ජනතාව වූ කලී සාමාන්‍ය සුලභ දසුනක්ය යන කාරණය ශ්‍රී ලංකාව විෂයෙහිලාද ඔප්පු කොට ඇත්ද?

රාජපක්ෂ දැනුම උත්පාදනය වීමට ඇති නව මාර්ගයන් කඩා බිඳ දමනවා පමණක් නොව, තමන්ගේ දාමරික පාලනයට එරෙහිව දැනුමෙන් අභියෝගයක් එල්ල වේ යැයි සිතන සෑම තැනක්ම කඩා බිඳමින් සිටියි. ඒ සඳහා තමන්ගේ මෙන් රටේ ජනතාවගේ බදු මුදල් විනාශ කරමින් සිටියි. අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරිය ගැන තබා එහි සිටින ඇතැම් සාමාජිකයින්ට තමන්ගේ බිරිඳ ගැනවත් සොයා බැලීමට හැකි කුසලතාවයකින් හෙබි පිරිසක් නොවේ. නමුත් ඔබ කොතරම් තදින් රාජපක්ෂගේ දෙපා සිඹ ගන්නේද, ඒතාක් දුරට රටේ ඕනෑම ක්ෂේත්‍රයකට අනවශ්‍ය බලපෑම් කිරීමට හැකියාව තිබේ. මෙය කෙටිකාලින වන නමුත් ඔවුහු පෞද්ගලිකව අත්විඳින වින්දනය වේ. මෙවැනි “දේශපාලන” වින්දනයන් හැරෙන්නට රාජපක්ෂගෙන් බලාපොරොත්තු විය හැක්කේ හූනියම් කරනු ලැබූ කුරක්කන් තලපයක් පමණි. සැඟ වී පවතින සත්‍ය නම් රාජපක්ෂ අනුගාමිකයින් විකාර රූපී මර්ධනයේ ඇවිදින මළ කඳන් බවට පත් වී සිටිති. එම මානසික අසහනය වසා ගැනීම සඳහා සමාජය ඉදිරියේ පුහු වීරත්වයක් ආරුඪ කරගනිමින් බේබදු සිහිනයක ජීවත් වෙන අයවලුන් බවට ඔවුහු වී සිටිති. මෙහි හොඳම උදාහරණය ඊයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් හැසිරුණු ආකාරයයි. එම හැසිරීම වූ කලී රාජපක්ෂම වේ. රාජපක්ෂගේ සැබෑ ගති ලක්ෂණ වනාහී එවැන්නක් මිස, ඊට එහා ගිය කිසිඳු වටිනා අර්ථකථනයක් ඊට හිමි නොවේ. ලංකාවේ සිදු වෙමින් පවතින්නේ රාජපක්ෂවරුන්ව වින්දනය කොට තම පැවැත්ම තහවුරු කර ගන්නා ක්‍රමවේදයක් මිස වෙන කිසිවක් නොවේ.

පසුගිය 04වනදා කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරැවන් අගවිනිසුරැවරියට එරෙහිව විරෝධතාවයේ යෙදී සිටි අයුරැ

රාජපක්ෂ විසින් අර අදිමින් සිටින්නේ, ඔහු වටා සිටින අයවලුන් ලවා තමන්ගේ දාමරික පාලනය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඇතිවිය හැකි විරෝධතා සියල්ලම නෂ්ඨ කිරීමටය. රටේ අනෙකුත් දේශපාලන පක්ෂ තමන්ට අභියෝගයක් නොවන බව දන්නා හෙතම, සැබෑ විරෝධය සමාජයේ නව මාදිලියක් මෙන්ම වෙනත් ක්ෂේත්‍රයක් ඔස්සේ හට ගනු ඇතැයි හෙතම විශ්වාස කරන බව දක්නට ලැබේ. නමුත් ඔහු භාවිතා කරන ක්‍රමෝපාය වනාහී හෙතම අනෙකුත් දේශපාලන පක්ෂ මෙල්ල කිරීම සඳහා භාවිතා කළ දෙයම වේ. මෙය මේතාක් රාජපක්ෂ පැමිණි මාර්ගය හමුවේ ඔහුට අවශ්‍ය පිළිතුර ලබා දී ඇති නමුත් එය කිසිඳු ආකාරයකින් දීර්ඝ කාලීන නොවන්නක් මෙන්ම රාජපක්ෂ ඇතුළු ඔහු සතුටු කොට ඔහුගෙන් මසුරන් ලදවුන් මෙන්ම ඔහුව ප්‍රශ්න කොට ඔහුගේ ගැරහීමට පාත්‍ර වූවන් ඇතුළු සියලු ජනතාවට අනාගතයේදී බරපතල වන්දි ගෙවීමට සිදු විය හැකි ඛේදවාචකයක් වනු නොඅනුමානය.

රටකට කළ හැකි විශාලම හානිය රාජපක්ෂ විසින් සිදු කරමින් සිටියි. එය වසර 30 ක්(ලංකාවේ ලිඛිත ඉතිහාසය වූ කලී වසර 2500 කරට වඩා පැරණි එකකි) පමණක් පැරණි කොටි සංවිධානය වැනි තනි සංවිධානයක් මරා දැමීමට ලඝු කිරීම වූ කලී සැබෑ මුලාව වේ. කොටින් මරා දැමීම වූ කලී නිල වශයෙන් අවසන් කළ සිදු වීමකි. එය තව දුරටත් රටේ ප්‍රශ්න විසඳීම සඳහා හේතු නොවන නමුත් රාජපක්ෂගේ දාමරික වුවමනා එපා කම් සඳහා අවශ්‍ය මුලික අවියකි. මෙම සත්‍ය තේරුම් නොගන්නා තාක් දුරට ගැටලුවට පිළිතුර වෙනුවට වෙනස් මාදිලියේ ආදේශක මතුපිටට පැමිණෙනු ඇත. එම සෑම ආදේශකයක් විසින්ම රාජපක්ෂ සාදාරනීකරණය කරනු ඇත. මෙම මිත්‍යාව පත්වතින තාක් දුරට රාජපක්ෂ වූ කලී නියතයක්ම වේ.

පළමුව හෙතම හිටපු හමුදාපති ෆොන්සේකා මෙල්ල කර ගනු ලැබීය. ඔහු දේශපාලනික වශයෙන් ඝාතනය කොට නිදහස ලබා දෙනු ලැබීය. ඉන් පසු විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ අතිශය තීරණාත්මක වූ වෘර්තීමය අරගලය තමන්ට අවශ්‍ය ආකාරයෙන් විසඳා ගැනීමට සමත් විය. එකී සියලු සිදුවීම් වලදීම ඔහු මැජික් පෙන්නුවේ නැත. ඔහු සිදු කරනු ලැබුවේ ගැටලුව තුළම වෙසෙන පාවා දෙන්නවුන් පිරිසක් තෝරාගෙන ඔවුන් ඔස්සේ තම අභියෝගය ජය ගැනීමය. මෙය රාජපක්ෂ පමණක් නොව ලොව පුරා බොහොමයක් අර්බුද වලදී යොදා ගන්නා ක්‍රමෝපාය වේ. විශේෂයෙන් 1948 න් පසු ලොවට දෛනිකව ශෝක ජනක පුවත් ලබා දෙන පලස්තීන – ඊශ්‍රායෙල් ගැටුම මීට කදිම උදාහාර්ණය වේ. ඊශ්‍රායලය විසින් ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ පලස්තීනයේ කණ්ඩායම් අතර පවතින අභ්‍යන්තර ගැටලු සහ සතුරා අතර සිටින පාවදෙන්නගේ ඇති වටිනා කමයි. මෙවැනි කාරනා තේරුම් ගැනීම සරල වුවද එවැන්නක් මත පිහිටා කටයුතු කිරීම අතිශය සංකීර්ණ කටයුත්තක් වේ.

රාජපක්ෂ පළමුව මිනිසුන් දමා මිනිසුන් මට්ටු කළේය. දෙවනුව සතුන් ලවා මිනිසුන් මට්ටු කළේය. තෙවනුව සතුන් (මීදෙනුන්) සමඟ මිනිසුන් වියගසක් තබා ඈදා ( එකට බැඳ ) ඒ දෙක අතර නගුලක් තබා දේශපාලනය නමැති කුඹුරේ සී සාමින් සිටියි. සතාට තමා කවුරුන්දැයි තේරුම් ගත්තද වගතුවක් නැති හෙයින් ඌ ඉවසාගෙන සිටිනු ඇත. එබැවින් ඔවුන් ඊයේ අගවිනිසුරුවරියට කුනුහරපයෙන් බැන වැදුණු ආකාරයෙන් තවත් අයවලුන්ටද ඉදිරියෙදී ඔවුන් ඔවුන්ටමද බැන ගනු ඇත. පුන්නකු නැති වෙන බව හැඟෙන විට තවත් මාරාන්තික උපවාස කරනු ඇත. නමුත් එම සතා සමඟ එකට බැඳ ඇති මිනිසාට තමා මනුෂ්‍යයෙක්ය යැයි තේරුම් ගැනීමට ගතවන කාලය ඉතා තීරනාත්මක වේ. සියලු මිත්‍යාවන් පුපුරා යන්නේ එවැනි තත්වයක්දීය. එවිට තමන්ගේ අපල කාල මඟහරවා ගැනීමට කපිල වස්තු සර්වඥ ධාතුන් තබා මොන ධාතුව හිස මත තබාගෙන ඇවිදිමින් රටේ සාමාන්‍ය ජනතාවගේ කාලය සහ ශ්‍රමය මංකොල්ල කෑමෙන් වැඩක් නොවනු ඇත. එවැනි සංක්‍රාන්තික කාලයකට ලංකාවේ තත්වයපත් වී තිබේ. පවතින සන්දර්භය හමුවේ රාජපක්ෂගේ ගැටලුව ශිරාණි වන අතර රාජපක්ෂගේ දාමරික පාලනයෙන් පීඩා විඳින උපන් සහ නූපන් පරම්පරාවන්ට ශිරාණි පිළිතුර වේ. එය පාවාදෙන්නන්ගේ ගොදුරට හසු වූ හිටපු හමුදාපති ෆොන්සේකා නැවතුන ස්ථානය ඉදිරියට ගෙන යාමක් වේ. සන්නද්ධ සියලු ශාස්තෘ වරු සාර්ථක වූහ! සන්නද්ධ නොවුහෝ විනාශයට පත් වූහ! මෙහිදී සන්නද්ධ වීම වූ කලී අවි අමෝරාගෙන සටන් කිරීම හෝ ප්‍රචණ්ඩත්වයට මුල් තැන දීම නොවේ.

නිලන්ත ඉලංගමුව[Nilantha Ilangamuwa]