Colombo, Democracy, Features, Governance, Politics and Governance, Reconciliation

‘‘අප තවදුරටත්, ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවක් නොපෙනේ’’ [එබැවින් විලාප කාලයක්!]

Sad Times
නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු නොවෙන බවටත්, හිතුවක්කාරී ලෙස එම බලය පරිහරණය නොකෙරෙන බවටත් වගබලා ගැනීමට ඇති එක් මගකි. එවන් වගවීමක් කඩා විසිරුවන ක‍්‍රියාවලියක් පසුගිය වසර කිහිපය තිස්සේ දියත් විය. විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් සුරැුකීමට දිව්රුම් දී ඇති ව්‍යවස්ථාවේ විධිවිධාන ඔවුන් විසින්ම නොතකා හැරීමේ සිදුවීම් මාලාවක් මගින් පසුගිය දිනවල එය කූටප‍්‍රාප්තියට පත්විය. ‘‘යුක්තිය යනු බලපුලූවන්කාරකමයි’’ යන ප‍්‍රතිපත්තිය මත පාලනය වෙන රටක වේශයක් අපට අද ආරෝපණය වී තිබෙන බවත් පවසමින් එබැවින් එළැබෙන පෙබරවාරි 4 නිදහස් දිනයට පෙර දිනය ‘‘විලාප දිනයක්’’ ලෙස නම් කරන බවත් පවසමින් කොළඹ රදගුරු අතිගරු දිලොරාජ් කනගසබේ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ එම සම්පූර්ණ නිවේදනයයි…

‘‘අප තවදුරටත්, ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවක් නොපෙනේ’’
කොළඹ රදගුරු අතිගරු දිලොරාජ් කනගසබේ පියතුමා

මගේ ක‍්‍රිස්තුවන්ත සහෝදර සහෝදරියනි,

ඔබේ රදගුරුතුමා වශයෙන් මේ ලිපිය මා ඔබට ලියන්නේ අපේ ජාතික නිදහසේ 65 වැනි සංවත්සරය අභිමුවෙහි ය. මෙය මා කරන්නේ හිතේ විශාල බරක් දරාගෙනයි. අපේ ජාතිය සතුව පැවති නීතියේ ආධිපත්‍යය පසු ගිය දින කිහිපය තිස්සේ මුළුමණින් ඇද වැටෙනු අපි දුටුවෙමු. තවදුරටත් අප ව්‍යවස්ථානුකූල ප‍්‍රජාතන්ත‍්‍රවාදයකැ යි නොපෙනේ.

නීතියේ ආධිපත්‍යය යනුවෙන් අදහස් වන්නේ, රටක් වශයෙන් අපව නීති පද්ධතියකින් පාලනය වෙන බවත්, එම නීතියට නීති සම්පාදකයන් ද යටත් වන බවත් ය. එය, එක පුද්ගලයෙකුගේ (හෝ පුද්ගල කණ්ඩායමකගේ) තනි අතක බලය ගොනු නොවෙන බවටත්, හිතුවක්කාරී ලෙස එම බලය පරිහරණය නොකෙරෙන බවටත් වගබලා ගැනීමට ඇති එක් මගකි. එවන් වගවීමක් කඩා විසිරුවන ක‍්‍රියාවලියක් පසුගිය වසර කිහිපය තිස්සේ දියත් විය. විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් සුරැකීමට දිව්රුම් දී ඇති ව්‍යවස්ථාවේ විධිවිධාන ඔවුන් විසින්ම නොතකා හැරීමේ සිදුවීම් මාලාවක් මගින් පසුගිය දිනවල එය කූටප‍්‍රාප්තියට පත්විය. ‘‘යුක්තිය යනු බලපුලූවන්කාරකමයි’’ යන ප‍්‍රතිපත්තිය මත පාලනය වෙන රටක වේශයක් අපට අද ආරෝපණය වී තිබේ.

පල්ලියත්, වෙනත් ආගමික සහ සිවිල් සමාජ සංවිධානත් නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් නොතකා හැර තිබේ. අයුක්තිය, බියගැන්වීම, හිංසනය සහ බොරුවට එරෙහිව හඩ නගනවාට වඩා, ජනතාව නිහඩ කරවන භීතියක් සහ අසරණ භාවයක් අරක්ගෙන තිබේ. මෙය, ක‍්‍රිස්තියානි සභාවක් වශයෙන් අපට මුනිවත රැුකිය හැකි තත්ත්වයක් නොවේ. එවැනි මුනිවතක්, අපේ ස්වාමී වූ දෙවි පියාණන්ට කරන නිගරුවක් සහ උන්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අප දරණ අනන්‍යතාව පාවා දීමක් වන්නේය. ‘‘ස්වාමින් වන්නේ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මිස සීසර් නොවේ’’ යැයි කීමට පෙන්තකොස්ත දිනයේ සිටම පල්ලිය උගෙන තිබූ බව මා ඔබට මතක් කර දිය යුතුය. මෙය බොහෝ අවස්ථාවල, වධ හිංසාවන්ට භාජනය වීමටත්, පීඩනයට සහ ගැහැටට පත්වීමටත් හේතුකාරක වී තිබේ. එවන් අනපේක්ෂිතයන් විඳ දරා ගැනීමට පල්ලිය හැම විටකම සූදානම් විය යුතුය.

දෙවියන් වහන්සේගේ සදාචාර ධර්මයට පටහැනි නියෝග පිළිපැදීම ප‍්‍රතික්ෂේප කළ පුද්ගලයන් පිළිබඳ ක‍්‍රිස්තියානි ඉතිහාසය තුළත්, බයිබලය තුළත් නිදසුන් ඕනෑ තරම් තිබේ. රජවරුන්ගේ පාලනය ඔවුන් විසින්ම පනවාගත් නීතිවලට පරිබාහිර නීතිවලට යටත් බවත්, එවන් නීති වෙත ඔවුන් වගවීමෙන් බැඳී සිටින බවත්, පරණ තෙස්තමේන්තුව පවා පෙන්වා දෙයි. (ඩියුටෙරොනොමි 18: බැති ගී 72 ආදිය). නීති උල්ලංඝණය කළ පාලකයන්ව, තෝරාගත් අනාගත වක්තෘවරුන් සහ අනාගත වක්තෘවරියන් හරහා දෙවියන් වහන්සේ අභියෝගයට ලක්කොට තිබේ. එවැනි මුනිවර පැවැත්මක් සහ හඩක්, අපේ ප‍්‍රජාවන් තුළ, අපේ වැඩපොළවල් තුළ, අපේ පාසල් තුළ සහ සමස්ත සමාජය තුළ, දේව සභාවෙන් අපේක්ෂා කෙරේ. දෙවියන් වහන්සේ කෙරෙහි වන අපේ පක්ෂපාතීත්වය අප විසින් නිර්ලජ්ජී ලෙස පාවා දී ඇතොත්, දේව සභාවක් ලෙස ඒ දෙස අවංකව හැරී බැලීමේ මොහොත දැන් උදා වී ඇත. පුද්ගලයන් වශයෙන් සේම සාමූහිකවත්, පහත සඳහන් පරිදි අප හැසිරී ඇතොත්, ඒ ගැන පසුතැවිය යුතුව තිබේ:

* හඩ නැගිය යුතු අවස්ථාවක නිහඩව සිටියේ නම්,
* වැරදි කිරීමට, අසාධාරණ ක‍්‍රියාවන්හි නිරත වීමට සහ බොරු කීමට බලධාරීන් විසින් (අප නොදැනුවත්ව හෝ අප තුළ ඇති බිය නිසා) අපව පාවිච්චි කොට ඇත්තේ නම්,
* සෙස්සන්ට එරෙහි අසාධාරණ ක‍්‍රියාමාර්ගයන්හි යෙදීමෙන්, අප දැනුවත්ව ප‍්‍රතිලාභ අත්කරගෙන ඇත්තේ
නම්.

අපේ රට අද පත්ව ඇති භයානක තත්ත්වය ගැන කන්නලව් කෙරෙන දේව සභාවේ විලාප කාලයක් ද, ‘‘කරුණාව පෑම, යුක්තිය සෙවීම සහ දෙවියන් වහන්සේ සමග යටහත්ව ගමන් කිරීමට’’ දේව සභාවක් වශයෙන් අපේ අසාර්ථකත්වය වෙනුවෙන් පශ්චාත්තාපයක් ද, ඔබේ රදගුරුතුමා වශයෙන් මම ප‍්‍රකාශයට පත්කරමි.
එබැවින් මම මෙසේ යෝජනා කර සිටිමි:

(අ) 2013 පෙබරවාරි 3 වැනි දා, අපගේ දියෝකීසිය තුළ සෑම මීසමකම, ‘විලාප දිනයක්’ රැකිය යුතුය. අපේ රට අද පත්ව ඇති තත්ත්වය ගැන ශෝක වීමක් වශයෙන්, නිශ්ශබ්දතාවයේ, යාච්ඤාවේ සහ මැදිහත් යැදුම් විතත කාලයක් යොදාගත යුතුය. කරුණාකර, සෑම මීසම් සාමාජිකයෙකුම සුදු හඳින්නටත්, හැකි තාක් උපවාසයේ නිරත වන්නටත් උනන්දු කරවන්න.

(ආ) අප, දියෝකීසයක් වශයෙන්, 2013 පෙබරවාරි 4 වැනි දා උදේ 9 ට සුදු වතින් සැරසී, අපගේ ‘විලාප කාලය’ වෙනුවෙන් යාච්ඤා මෙහෙයකට රැස් වෙනු ලැබේ. මේ යාච්ඤාව සඳහා ආසන දෙව්මැදුරට පැමිණිය නොහැකි අයවළුන් මේ වෙලාවට ඔවුන්ගේ පල්ලිවල රැුස්වන ලෙස මෙයින් උනන්දු කෙරේ.

(ඇ) අපේ රටේ වර්තමාන සන්දර්භය තුළ, යේසුස් වහන්සේගේ බැතිමත් ශ‍්‍රාවක ප‍්‍රජාවක් වශයෙන් ජීවත් වීම යන්නෙහි අර්ථය මෙනෙහි කරන, ස්වයං=පරීක්ෂාවේ සහ පශ්චාත්තාපයේ අවධියක් වශයෙන් සම්ප‍්‍රදායිකව සැලකෙන කොරොස්ම කාලය තුළ, බයිබල් අධ්‍යයන, ප‍්‍රත්‍යාවේක්ෂණ සහ සාකච්ඡා මාලාවක් අපේ දියෝකීසියේ සෑම මීසමකම සංවිධානය කරන ලෙස මම තවදුරටත් යෝජනා කරමි.

දෙවියන් වහන්සේට භක්තිමත් වීමට අපට ලබා දී ඇති ශක්තිය ගැන මම උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි. බියට සහ අසරණ භාවයට සෙස්සන් යටවන විට, අපගේ ස්වාමී වූ යේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ඇණගසා වධක මරණයට පත්කිරීම තුළින් අප සියල්ලන්ට නව ජීවයක අපේක්ෂාව දැල්වු බව අප සිහිපත් කරගත යුතුය. ශාන්ත පාවුළුගේ වචනවලින් කිවහොත්:

‘‘එම නිසා මගේ සහෝදර සහෝදරියනි, නොසැලී කෙලින් සිටගන්න. දෙවිපියාණන් වෙනුවෙන් නිරන්තරයෙන් සේවය කරන්න. සීමාවකින් තොරව සේවය කරන්න. මන්ද යත්, දෙවියන් වහන්සේ තුළ ඔබේ ශ‍්‍රමය නිෂ්ඵල විය නොහැකි බව ඔබ දන්නා බැවිනි.’’

යාච්ඤාවෙන් සහ කිතුණු ආශීර්වාදයෙන් යුතුව,

අතිගරු දිලොරාජ් කනගසබේ
කොළඹ රදගුරු