Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

නිරුවත් අධිරාජයා සහ ඔහුගේ අනතුරට පත් රාජධානිය

‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි)

keis_38_39-489

දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ ක‍්‍රියාවන්ට බොරුවට හෝ ශෝබන මුහුණුවරක් දීම ගැන නොවෙහෙසෙත්. කොටින්ම, ශීලාචාරයේ අවමයවත් නොගනිත්. අධිකරණයත් හීලෑ කර ගැනීමෙන් පසු, යුක්ති ධර්මයේ බාහිර සාටෝප හෝ සාධාරණත්වයේ මායාව හෝ මේ සහෝදරයන්ට තවදුරටත් අවශ්‍ය නැත.

රාජපක්ෂ පාලනයේ විකෘති යථාර්ථය වසා ගැනීමට පාවිච්චි කළ බහුවර්ණ ලෝගුවෙන් අද ඉතිරිව තිබෙන්නේ, පට්ට ගසා නූල් ගිය කෙබර කිහිපයක් පමණි.

අන්තිමේ දී, අධිරාජයා අමු හෙළුවෙනි.

තමා හෙළුවෙන් බව නොදන්කා කමක් නිසා ඔහු හෙළුවෙන් සිටිනවා නොවේ. ඔහුට අවශ්‍ය කරන්නේම හෙළුවෙන් සිටීමට යි. අනභිභවනීය සර්වබලධාරීත්වයක් පිළිබඳ හැඟීමකින් මුසප්පු වෙද්දී, කාලය කාදමන සහ වියදම්කාරී කසී වස්ත‍්‍රයෙන් විළි වසා ගැනීමේ අරුතක් තවදුරටත් ඔහුට නොපෙනේ. අධිරාජයාගේ හෙළුව පෙන්නා දෙන ඕනෑම දරුවෙකු, දණින් වැටුණු පොලීසියේ සහ බියපත් අධිකරණයේ සහායෙන්, දේශද්‍රෝහියෙකු/අපරාධකරුවෙකු වශයෙන් හංවඩු ගැසෙනු ඇත.

හිටලර්ගේ නට්සි න්‍යාය පත‍්‍රය තුළට ජර්මනිය උකහා ගැනීමේ ක‍්‍රියාවලිය ඇඟවීමට, නට්සිවාදීන් පාවිච්චි කළ යෙදුම වුණේ, විදුලිය ක්ෂේත‍්‍රයෙන් ණයට ගත්, ‘සමායෝජනය’ යන්නයි. අත්‍යවශ්‍යම අවස්ථාවල දී හිංසාව පාවිච්චි කෙරුණි. එහෙත්, ඊට වඩා ඵලදායී වෙනත් විධික‍්‍රම තිබුණි. තණ්හාව, භීතිය, භක්තිය, අපේක්ෂාව, උදාසීනත්වය, යුදෙව් විරෝධය සහ කොමියුනිස්ට් විරෝධය, දේශපේ‍්‍රමය සහ බලය ඉදිරියේ නියාලූ වීමේ නිසග පුරුද්ධ වැනි විවිධ හේතූන් සහ පෙළඹවීම්වලට මිනිස්සු යට වූහ. නැතහොත්, යට වන බවක් ඇඟවූහ. පවතින වටපිටාවට බොහෝ අය අනුගත වුණේ, සෙස්සන් ද එසේ කරන නිසා ය. නැතහොත්, තමන්ගේ පාඩුවේ නිවිහැනහිලේ ඉන්නට තිබෙන මානව කැමැත්ත නිසා ය.

දෝෂාභියෝගයෙන් පසු, ප‍්‍රබල විරුද්ධවාදීන් රාජපක්ෂලාට නැත. රාජ්‍යකරණයේ කුළුණු තුනම (පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය) දැන් රාජපක්ෂලාගේ අතේ තිබේ. හමුදාව සහ නිලධාරී තන්ත‍්‍රයත් එසේ ය. ව්‍යාපාරික ප‍්‍රජාව ද, ගොවීන්, ධීවරයින් සහ නාගරික දුගීන් මෙන්ම, සිය අයිතීන් රැක ගත නොහැකි බෙලහීනත්වයට ගොදුරු වෙමින් සිටිති. චන්ඩි කමින් දෙමළ ජාතිය මර්දනය කෙරෙන අතර, මුස්ලිම්වරුන්ව තර්ජනයට ලක්කෙරෙති. පන්සල් සහ පල්ලි, එක්කෝ ඔවුන්ගේ ග‍්‍රහණයට හසුකරගෙන ය. නැත්නම්, නොතකා හැර තිබේ ය. ‘මාධ්‍ය ආචාර ධර්ම’ යන කූටෝපාය පාවිච්චියට ගෙන, මාධ්‍ය ආයතන මුළුමණින් නිහඩ කිරීමටත්, විවේචනාත්මක වෙබ් අඩවි වසා දැමීමටත් තවදුරටත් කටයුතු කෙරෙනු ඇත.

රාජ්‍යය යනු පවුල යි.

රාජපක්ෂවරු දැන් රාජපක්ෂ්ෂවරු ඔවුන්ගේ සැබෑ ස්ව්වභාවයටෙ අවසානයේ දී ස්වකීය සැබෑ ස්වභාවයට පිවිසීමේ නිදහස දිනා සිටින රාජපක්ෂවරු, ඔවුන්ගේ වඩාත් තිරසාර විවේචකයන්ගේ රුදුරු සිහින සැබෑ කිරීමට පටන් ගනිමින් සිටිත්.

දෝෂාභියෝග විගඩම කලින් සැලසුම් කළ නිමාව කරා ගෙන යාමෙන් මසක් ඉකුත් වීමටත් කලින්, ශ‍්‍රී ලාංකීය අධිකරණය, රාජපක්ෂ අධිකරණයක් බවට පත්කිරීමේ වෑයම මේ වන විට බොහෝ දුරට මස්තකප‍්‍රාප්ත වෙමින් තිබේ. ව්‍යවස්ථාදායකය, හමුදාව සහ නිලධාරී තන්ත‍්‍රය දැනටමත් පත්ව ඇති ඒ නින්දනීය අගාධයට, ප‍්‍රත්‍යක්ෂයෙන් දාසයෙකු ද, සහමුලින් නින්දිතයෙකු ද වන, හතර පැත්තෙන් අපකීර්තිමත් ‘අගවිනිසුරුවරයෙකු’ යටතේ, අධිකරණයත් පල්ලම් බසිමින් සිටී. හිටපු නීතිපති මොහාන් පීරිස්ට සහ භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරට එරෙහිව රේගු නිලධාරියෙකු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම වීසි කෙරුණු ආකාරය, රාජපක්ෂගේ බලපුලූවන්කාරකම ඉදිරියේ අධිකරණයේ යටත්වීම මනාව පෙන්නුම් කරන අවස්ථාවකි. මේ පෙත්සම ඇසීමට නියමිතව සිටි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් එක් විනිසුරුවරයෙකු, පෞද්ගලික හේතු මත, නඩු විභාගයෙන් ඉවත් විය. ඉතිරි විනිසුරුවරුන් දෙන්නා,(ජනාධිපතිවරයාගේ හස්තය යටතේම නැටවෙන) නීතිපති දෙපාර්තමේන්තුවේ තර්කය පිළිගනිමින්, නඩුව ඇසීමට තීරණය කළහ. ඉන් එක් විනිසුරුවරයෙකු එම නඩුව ඇසීමට නුසුදුස්සෙකු වන බවට පෙත්සම්කරු මතු කළ විරෝධය නොතකමින්, පෙත්සම විභාගයට ගත් මෙම උසාවිය, ගාස්තුවටත් යටත් කොට නඩුව එසැණින්ම වීසි කෙළේය.

යුක්ති ධර්මය පිළිබඳ ව්‍යාජ මුහුණුවරක් හෝ රැකගත යුතු යැයි අදහන අධිකරණයක් නම්, මේ පෙත්සම් විභාගය සඳහා තරමක තීක්ෂණ උපාය මාර්ගයක් යොදාගන්නට තිබුණි. ව්‍යාජ යුක්ති ධර්මයක් හෝ අවශ්‍ය යැයි සිතන ආණ්ඩුවක් නම්, යම් ගැලවිජ්ජාවක අවකාශයවත් අධිකරණයට දෙනු ඇත. එහෙත් පශ්චාත්-දෝෂාභියෝග රාජපක්ෂ පාලනය තුළ එවැනි ඉච්ඡාකාර යුක්තියක් පවා, පිළිපැදීමට අනවශ්‍ය සුඛෝපගෝගීත්වයක් වශයෙන් තහනමට ලක්වෙයි. පාලක පැලැන්තියේ සහෝදරයන්ට අවශ්‍ය කරන්නේ, සෑම දෙයක්ම තමන්ගේ ක‍්‍රමයට, එසැණින් ඉටු කර ගැනීමට යි. මේ තත්ත්වය යටතේ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක සේ තිරශ්චීන දඩයමට ලක්වීමේ අවදානම දැරීමට කිසි විනිසුරුවරයෙකු නොකැමැති වනු
ඇත.

දෝෂාභියෝගය පවත්වාගෙන ගිය පිළිකුල් සහගත, අවිනීත විලාසය අහම්බයක් නොවේ. චේතනාන්විතව, හිතාමතාම එසේ කෙළේ, අකීකරු වීමේ නොදැරිය හැකි වියදමේ ස්වභාවය මේ යැයි (දැනට හෝ පසුවට නිදහස් මතධාරීන් විය හැකි විනිසුරුවරුන්ට සැරට දන්වනු පිණිස ය. මාරක අවියක් අත දරා සිටින උන්මත්තකයෙකු සමග ආචාර ධර්ම හෝ යුක්ති ධර්ම ගැන වාදයට පැටලීමට, කිසි රැකවරණයක් නැති කෙනෙකු පෙළඹුණොත් ඒ ඉතා කලාතුරකිනි. රටේ හතරවැනි පුරවැසියාට අත්වූ ඉරණමෙන් භ‍්‍රාන්තියට පත් බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥයන් අනුගමනය කිරීමට පෙළඹෙනු ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනත් නායකයන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, හමුදාකාරයන්, සිවිල් නිලධාරීන් සහ තවත් බොහෝ අයවළුන් යමින් සිටින මගමයි. පාලකයන්ට ප‍්‍රසිද්ධියේ පක්ෂපාතීත්වයක් පෙන්නුම් කරන මොවුන්, පෞද්ගලිකව එම පාලකයන්ව විවේචනය කරමින්, මේ උගුලෙන් ගැලවෙන දවසක් ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටින පිරිසකි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ විකට හැසිරීම, ‘යහපත්/දේශප්‍රේමී’ නිලධාරියා පිළිබඳ රාජපක්ෂ ආකල්පය සංකේතවත් කළ තවත් අවස්ථාවකි. වඩාත් අවාසනාවන්ත වන්නේ, අනාගත මැතිවරණ ව්‍යාපාර වේදිකාගත කෙරෙන ආකාරය පිළිබඳව ඒ මගින් පූර්වාදර්ශයක් ද සැපයෙන බැවිනි.

සරත් ෆොන්සේකා වෙනුවෙන් පාවිච්චි කළ ඡන්ද පත‍්‍රිකා මිටියක් හමු වීම ඉදිරියේ සකල වගකීම තමන් වෙත පවරාගත් මැතිවරණ කොමසාරිස්වරයා, ඇස්බැන්දුම් උපකල්පනයක් දෙමින්, පරීක්ෂණයක් පවත්වමි යි පොරොන්දු වීම, ඇත්තෙන්ම උම්බෑ කීමකි. අනාගත මැතිවරණ තුළ, පාලක පැලැන්තිය සෑම නීතියක් සහ රෙගුලාසියක්ම කඩනු ඇත. (අවශ්‍ය තන්හි දී ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කරමින්) මහ දවල්ම අසාධාරණයේ හැසිරෙනු ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා හතරවටේ දිව්රමින් කිසි අක‍්‍රමිකතාවක් නොවිණැ යි කියනු ඇත. ප‍්‍රතික්ෂේප කළ නොහැකි තරමට අක‍්‍රමිකතාව මහදවල් සිදුවෙතොත්, 17 වැනි සංශෝධනය නැති තත්ත්වය තුළ තමාට මැදිහත් වීමේ බලයක් නැති බව පෙන්වා දෙනු ඇත. (එය සැබෑවකි. දෝෂාභියෝගයෙන් අගවිනිසුරු තනතුර පත් වූ තත්ත්වයට, 18 වැනි ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස් තනතුර පත්කර තිබේ). ඒ අනුව, සෑම මැතිවරණයක්ම නිදහස් හා සාධාරණ එකකැ යි මැතිවරණ කොමසාරිස්වරයා කවදත් ප‍්‍රකාශයට පත්කරති යි අප බලාපොරොත්තු විය යුතුව තිබේ. ඔහුගේ නිගමනය අධිකරණයත් පිළිගනු ඇත. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ පාලකයන් බවට කවදත් පත්කරගනු ඇත්තේ රාජපක්ෂවරුන්වම යි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවත් යම් ආකාරයකින් ‘සමායෝජනය’ කරගත් පසු රාජපක්ෂකරණයට එරෙහිව අල්ලාගෙන සිටින අවසාන පවුරත් බිඳ වැටෙනවාට කිසි සැකයක් නැත. එවිට, විගණකාධිපතිවරයා ද, මහබැංකු අධිපතිවරයා මෙන්, රාජපක්ෂ ශ්‍රේෂ්ඨත්වයේ ප‍්‍රශස්ති ගායකයෙකු වෙනු නොඅනුමාන යි. රාජපක්ෂගේ මහබැංකුවට අනුව, අපේ ආර්ථිකය හැම විටකම වර්ධනය වෙමින් තිබේ. විරැකියාව හැම විටකම අඩු වෙමින් තිබේ. උද්ධමනය (වෙළඳපොළේ බඩු මිල අහස උසට නගිද්දී පවා) තනි ඉලක්කමක හිර වී තිබේ. ඒ අනුව, මේ කියන විගණකාධීපති දෙපාර්තමේන්තුවත් ‘සමායෝජනය’ කරගත් පසු, රජයේ මූල්‍ය අක‍්‍රමිකතා දූරිභූත වනු ඇත. දූෂණය, අතීතයට අයත් කතාවක් වෙනු ඇත. යහපාලනයෙන් රට වැජඹෙනු ඇත. සමාජයේ සෑම අංශයකම රජයන අත්තනෝමතිකත්වය සහ නීතියෙන් ගැලවී යාමට පාලකයන්ට සැලසෙන ඉඩහසර, රාජපක්ෂ පාලනයේ ප‍්‍රධාන පෝෂණ පද්ධතීන් වන්නේය.

වගවීම සහ පාරදෘෂ්‍ය භාවය, මානව හිමිකම් සේම අභාවයට ගොසිනි. රාජපක්ෂ පාලනයෙන් අනතුරට පත්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක්ම නොවේ. අධිකරණය මත යැපෙමින් ද, ජුගුප්සාජනක උන්තමත්තක ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිවිපාකවලින් තමන්ව හමුදාව සහ චීනය විසින් ගලවාගනු ඇතැ යි යන විශ්වාසයෙන් ද යුතුව, රාජපක්ෂ සහෝදරවරු ඉදිරියටත් සිය
පරමාධිකාරී න්‍යාය පත‍්‍රය කුළුගෙඩි ප‍්‍රහාරයේ හයියෙන් නඩත්තු කිරීමට වගබලාගනු ඇත.

[Image Credit:nevfilter]

තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
[(parivarthanaya Yahapalanaya Lanka anugrahayeni)