Colombo, Democracy, Features, Governance, Peace and Conflict, Politics and Governance

බලදායී අණපනත් මගින් ඊළඟ ‘යුද්ධයට’ සූදානම් වීම

18403034.cms

‘‘ප‍්‍රායෝගික දේශපාලනයේ සමස්ත අරමුණ වන්නේ, නිමක් නැති මනහ්කල්පිත භූතයන් පෙන්වීමෙන් මිනිසුන් තුළ ඇති කෙරෙන සංත‍්‍රාසය හේතුවෙන් තමන්ට රැකවරණය සපයන්නැ යි පෙරැත්ත කරන ජනතාවක් එක දිගටම තැතිගන්වා තබා ගැනීමයි.’’
එච්. එල්. මෙන්කෙන් (කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්)

යෝධ පිරිවර සමගින් ජනාධිපති රාජපක්ෂ බුද්ධගයාවට ළඟා වීමට කලින් දවසේ, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ‘ත‍්‍රස්තවාදයට මුදල් යෙදවීම මර්දනය කිරීමේ සම්මුතිය (සංශෝධිත)’ සම්මත කරගත්තේය. ඊට සතියකට කලින්, මේ පනතේ තිබූ බරපතල ඌනතාවක් විපක්ෂය පෙන්වා දුනි: එනම්, ‘ත‍්‍රස්තවාදය’ යන වචනයෙන් අදහස් වන්නේ කුමක් දැ යි එහි අර්ථකථනය වී නොතිබීම යි. බ‍්‍රහස්පතින්දා එම අර්ථකථනය ද සමග පනත ඉදිරිපත් කෙරුණි.

මේ සම්මුතිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගපෙන්වීමක ප‍්‍රතිඵලයක් නිසා, ඊට අදාළ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ අරුත අපටත් භාවිත කළ හැකිව තිබුණි. එහෙත් රාජපක්ෂට අවශ්‍ය කෙළේ, බලය භයානක ආකාරයෙන් අයථා ලෙස පරිහරණය කළ හැකි නීතිමය ආවරණයක් සැපයෙන, තමන්ගේ අභිමතයට ගැලපෙන ආකාරයේ අර්ථකථනයකි. එනිසා, හිතුමතේට හැසිරවිය හැකි පරිද්දෙන් එහි අර්ථය පුළුල් කෙරුණි. රාජපක්ෂ අර්ථය යටතේ, ත‍්‍රස්තවාදය යනු, පහත සඳහන් යම් ක‍්‍රියාවක් හෝ ක‍්‍රියාවක තර්ජනයකි: (1) ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා සිදු කෙරෙන ක‍්‍රියාවක් හෝ මහජනයා හෝ ඉන් කොටසක් බිය වද්දන ක‍්‍රියාවක්. (2) ඊට අදාළ දේශපාලනික හෝ ආගමික හෝ දෘෂ්ටිවාදීමය අභිප‍්‍රායක්.

තව ද, එවැනි ක‍්‍රියාවක්, (අඅ) පුද්ගලයෙකුට එරෙහි බරපතල හිංසනයක්, (ආආ* බරපතල දේපළ හානියක්, (ඇඇ) ක‍්‍රියාව සිදු කරන්නාට අමතරව වෙනත් කෙනෙකුගේ ජීවිතය අනතුරට පත්කිරීමක්, (ඈඈ) මහජනතාව හෝ ඉන් කොටසකගේ ආරක්ෂාව හෝ සෞඛ්‍ය බරපතල අනතුරට හෙලන්නක්, (ඉඉ) විද්‍යුත් පද්ධතියකට බරපතල ආකාරයෙන් අතපෙවීමට හෝ කඩාකප්පල් කිරීමට සැලසුම් කළ ක‍්‍රියාවක් ඇතුළත් විය හැකිය. (‘දි අයිලන්ඞ්’ පුවත්පත: 08.02.2013- කළු අකුරු අවධාරණය මගෙනි).

හීලෑ කළ අධිකරණයක ද උදව්වෙන් මේ අර්ථකථනය පාවිච්චි කිරීමෙන්, මේ රටේ ඕනෑම පුරවැසියෙකු ත‍්‍රස්තවාදයට ආධාර උපකාර කිරීමේ වැරදිකරුවෙකු කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. ආණ්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට සහ දෙමළ/මුස්ලිම් මිනිසුන්ට එරෙහිව පමණක් නොව, ඒ හා සමානම පහසුවකින්, ධීවරයන්, ගොවීන් සහ නාගරික දිළින්දන්, පරිසරවාදීන්, ශිෂ්‍යයන්, වෘත්තිය සමිති සාමාජිකයන් සහ මැද පංතික වෘත්තීයවේදීන්ට එරෙහිව පවා මේ නීතිය පාවිච්චි කළ හැකි වෙනු ඇත. මෙය අනිසි ලෙස පාවිච්චි කළ හැකි පනතක් නොව, අනිසි පාවිච්චිය සඳහාම කෙටුම්පත් කරගත් පනතකි. මෙවැනි නීතියක් ඇති විට, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ රජයට අවශ්‍ය නොකෙරෙණු ඇත.

දැන් මෙය, ආණ්ඩුව අළුතෙන් පනවා ගත් තවත් නීතියක් වන, සැකකරුවෙකු අධිකරණයකට ඉදිරිපත් නොකොට පැය 48 ක් පොලිස් භාරයේ තබාගත හැකි වන සේ පනවා ගත් නීතියත්, ‘අභ්‍යන්තර යුදමය අවස්ථාවන්හි දී පාවිච්චි කළ හැකි, තමන්ගේම විධිවිධාන සකසා ගත යුතු බවට’ හමුදාව විසින් ආණ්ඩුවට දී ඇති උපදේශයත් (‘ඬේලි මිරර්’- 25.01.2013) සමග එකට තබා කියවන්න. එම නිර්දේශය ඇතුළත් වුණේ, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිෂන් සභා වාර්තාව සළකා බැලීම පිළිබඳව පත්කළ ‘හමුදා නිලධාරී මණ්ඩල’ වාර්තාවේ ය. මේ මගින්, ‘උගත් පාඩම් හා සංහිඳියා’ කොමිසමේ වැදගත් නිර්දේශයක් වන, පොලීසිය සිවිල් අමාත්‍යාංශයක් යටතට පත්කිරීමේ අවශ්‍යතාව ද ප‍්‍රතික්ෂේප කෙළේය. ‘‘සෑම අවස්ථාවකම පොලීසිය පැවතිය යුත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බව මෙම මණ්ඩලය නිර්දේශ කරයි’’ යනුවෙන් එහි සඳහන් වෙයි. එහෙත්, මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොවේ. හමුදාව යනු, රාජපක්ෂ පාලනයේ අඩහැරයකට/ආයුධයකට වැඩි යමක් නොවේ.

අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයන් කලමනාකරණය සඳහා භාවිතයට ගනු වස්, වඩාත් බලවත් නීති සම්පාදනය කරගත යුතු බව මීට කලකට පෙර පැවසුවේ ජනාධිපතිවරයාම යි. දැන් අධිකරණය දණගස්වා ඇති තත්ත්වය තුළ, යුද අපරාධ අවලංගු කෙරෙන සහ සෑම ආකාරයකම සීමාන්තික බලතල-මොන තරම් තිරිසන් වුවත්-නීත්‍යානුකූල සහ සුචරිතවත් කර ගැනීමේ අගනා මොහොත මේ යැයි රාජපක්ෂ හමුදාව සිතයි. එම නීතිය විසින් රාජපක්ෂ පාලනය සකල ජාත්‍යන්තර අණපනත්/සම්මුතිවල විලංගුවෙන් නිදහස් කොට, තමන්ට රිසි පරිදි ශ‍්‍රී ලාංකිකයන්ව අපහරණය කිරීමේ වරම උදා කර දෙනු ඇත.

දැන් මේ සියල්ල එකට මුණගැසෙන මංසන්දිය ගැන මෙනෙහි කරගන්න:

ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට එරෙහිව භාවිත කළ හැකි, ත‍්‍රස්තවාදය පිළිබඳ අර්ථකථනයක්.
සැකකරුවෙකු පොලිස් භාරයේ තබාගත හැකි කාලය පැය 48 ක් දක්වා දිග් කර ගැනීමක්.
ත‍්‍රස්තවාදී උවදුරකට මුහුණදීමේ මුවාවෙන්, රාජපක්ෂවරුන්ට රිසි සේ ලාංකිකයන්ව ඝාතනය කළ හැකි සහ අත් පා කඩා දමා අංගවිකලයන් කළ හැකි, ‘කොළඹ සම්මුතියක්’.
අවසානයේ, හමුදාකරණය වූ පොලීසියක්..

එවැනි පූට්ටුවක් මගින්, ‘මානව ක‍්‍රියාන්විතයක’ කොන්දේසි, මුළු රටටමත්, හැම කාලයටමත් ඔබින, සාමාන්‍යකරණයක් දක්වා වර්ධනය කෙරෙනු ඇත. මන්ද යත්, හිට්ලර්ගේ නට්සිවාදී පාලකයන් පාවිච්චි කළ බලදායී අණපනත් ද මෙයාකාරම වූ බව අප දන්නා බැවිනි. මෙවැනි අණපනත්වල පරමාර්ථය වන්නේ, රාජපක්ෂවරුන්ගේ සතුරන්ට සහ ඔවුන්ට බාධා පමුණුවන්නන්ට දඩුවම් කොට බියගැන්වීම, නීත්‍යානුකූල කර ගැනීමයි. එවැනි නීතිරීති සාමාන්‍ය භාවිතයට වන් සැණින්, අතිශය සෘජු විනිශ්චයකාරවරයාට වුව, ඊට අනුගත වීම හැර අන් මගක් ඉතිරි නොවනු ඇත.

වැඩි කල් නොගොස් යම් දවසක ආපසු හැරී බැලීමේ දී, සමාජයෙන් කිසි කෙඳිරියක් නැතිව, මේ සා රුදුරු අපහරණයන් සහ මර්දනයන්, මේ සා වේගයෙන් පාලකයා විසින් නීතිගත කරගත්තේ කෙසේ ද යන්න ගැන අපම මවිත වනු ඇත.


රාජපක්ෂ සාධාරණත්වයේ ගමන් මග

අගවිනිසුරුවරියට එරෙහි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක වූ ආකාරය, පශ්චාත්-දෝෂාභියෝග ශ‍්‍රී ලංකාවේ අධිකරණය හැසිරෙනු ඇත්තේ කෙසේ ද යන්න ගැන කල්තියා කෙරුණු අනතුරු ඇඟවීමකි.

දෝෂාභියෝගය පදනම් කෙරුණේ, ගල් පැලෙන බොරු සහ සනාථ නොකළ දෝෂාරෝපණ මත බව රහසක් නොවේ. එහෙත් රාජපක්ෂවරුන් යන මාර්ගය අවහිර කොට කෙලින් සිටගත් ගැහැනියක් දණ්ඩනීය ආකාරයෙන් නෙරපා හැරීමට රාජපක්ෂවරුන් විසින් සමස්ත ක‍්‍රියාවලිය පාවිච්චි කොට ඇති නිහීන ආකාරය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානී තිලකවර්ධන තේරීම් කාරක සභාව ඉදිරියේ දුන් සාක්ෂිවල මෙතෙක් අප‍්‍රසිද්ධියේ තිබී දැන් ප‍්‍රකාශයට පත් කොටස් මගින් මොනවට පැහැදිළි කෙරේ. ශිරානී තිලකවර්ධන විනිසුරුවරියගේ සාක්ෂියට අනුව, ‘‘ගෝල්ඩන් කී ගිණුම් පරීක්ෂා කිරීමට මහ බැංකුවේ විශේෂ පරීක්ෂණ ඒකකය යොමු වුණේ, ඒ ගැන බොහෝ පෙත්සම් ලැබී තිබුණු බැවිනි… විශාල ප‍්‍රශ්නයක් එතැන ඇති බව පරීක්ෂණ ඒකකයට ඒත්තු ගියේ’’ යැයි කියැවේ. (ඬේලි මිරර්-06.02.2013)

මේ ගෝල්ඩන් කී පරීක්ෂණ, හිටපු මහබැංකු අධිපති මෙන්ඩිස් නික්ම ගොස්, අජිත් නිවාඞ් කබ්රාල් එම තනතුරට පත්වූ සැණින් නතර වුණි. ඊට අදාළ ලූහුඩු සටහන ශිරානී තිලකවර්ධන විනිසුරුවරිය ඉදිරිපත් කළාය. ‘‘…මේ ගැන මූල්‍ය මණ්ඩලයට සැල කරන ලදුව, 11 වැනි වගන්තිය යටතේ ගෝල්ඩන් කී සමාගම ගැන ආරම්භ කෙරුණු මෙකී පරීක්ෂණ නතර කිරීමට ගත් තීරණය අනුමත කරන්නැ යි ඉල්ලා සිටින ලදි.’’ ඉතිං, මෙයින් පෙනී යන්නේ, ගෝල්ඩන් කී සමාගම පිළිබඳ යම් ගැටළුවක් ඇති බව මහ බැංකුව දැන සිටි බව ය. ඒ අනුව, පරීක්ෂණ ආරම්භ කොට, කබ්රාල් මහතා මහබැංකු අධිපති තනතුරට පත්වූ සැණින් හිටිහැටියේ එම පරීක්ෂණ නතර කර දැමූ බව ය.

මේ කියන පරීක්ෂණ දිගටම පවත්වාගෙන ගියේ නම්, ගෝල්ඩන් කී තැන්පත්කරුවන් පත්වු ව්‍යසනය අවම කර ගැනීමට හැකියාව තිබුණු බව පෙන්වා දුන් ශිරානී තිලකවර්ධන විනිසුරුවරිය, එය නතර කර දමන්නට ඇත්තේ, ‘‘ගෝල්ඩන් කී සභාපති ලලිත් කොතලාවල සහ මහබැංකුව අතර ඇති වූ සාකච්ඡුාවකින් පසුව විය හැකි’’ බවට සිය සාක්ෂියේ දී අදහස් පළ කළාය.

ගෝල්ඩන් කී පරීක්ෂණය මෙසේ අභාග්‍ය සම්පන්න ආකාරයෙන් නතර කෙරුණේ, රාජපක්ෂ විසින් පත්කළ ඔහුගේ ප‍්‍රියතමයෙකු වූ මහබැංකු අධිපති නිවාඞ් කබ්රාල්ගේ කාලයේ ය. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ වින්නැහියට යමෙකු වගකිව යුතු නම් ඒ, අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායක නොව, මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ය. එහෙත්, එම තැන්පත්කරුවන් (ශිරානී බණ්ඩාරනායකගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණය කළා සේ) කබ්රාල් මහතාගේ නිවස ඉදිරිපස උද්ඝෝෂණය කළොත් වැඩ වරදින්නට පුලූවන. මන්ද යත්, අළුතෙන් පනවා ගත් නීතිය යටතේ ඔවුන් ‘ත‍්‍රස්තවාදීන්’ සේ අත්අඩංගුවට ගත හැකි නිසාය

මහබැංකුව ඒ අභාග්‍ය සම්පන්න තීන්දුව ගත්තේ ඇයි? ලලිත් කොතලාවල සහ මහබැංකුව අතර පැවති සාකච්ඡාවේ දී සිදුවූ යමක් හේතුකොටගෙන ද? මේ සමස්ත ක‍්‍රියාවලිය තුළ කබ්රාල් රඟපෑ භූමිකාව කුමක් ද? අවාසනාවට, මේ වැදගත් තොරතුරු පිළිබඳ පරීක්ෂණයක්, රාජපක්ෂලා බලයේ සිටින තෙක් ඇරඹෙනු නැත. කබ්රාල්, රාජපක්ෂලා සමග නොරොක් වුණත් මිසක්!

රාජපක්ෂගේ බලකාමයේ ප‍්‍රධාන ගොදුරු බවට පත්වන්නේ ශ‍්‍රී ලාංකික අපම මිස බටහිර බලවතුන් නොවන බව අප තේරුම්ගත යුතුව තිබේ.

‘ආගමික ගැටුම්’ සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැන් අළුත් පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ. ජනවාරි 27 වැනි දා, අවිස්සාවේල්ලේ තිබූ කන්‍යා මරියතුමීගේ පිළිරුවකට ගිනි තැබුණි. (එංගලන්ත සභාවේ එඩිතර කොළඹ රදගුරුතුමා මෙන් රාජපක්ෂ විවේචකයෙකු නොවන) ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, ගිය සතියේ පොලිස්පතිවරයාට පැමිණිලි කෙළේය. ඒ, අපරාධකරුවන් සොයා යනවා වෙනුවට, මීසම්වැසියන් සහ පූජකතුමාට පොලීසිය කරදර කරන බවට ය.

(Image Credit: articles.economictimes.indiatimes.com)

. . . . තිත් ටික එකට සම්බන්ධ කරගන්න.

තිසරණී ගුණසේකර

(සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග්‍රහයෙනි)