Features, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Stories from the silent, War Crimes

නව යොවුන් දරුවෙකු ඝාතනය කිරීම | ‘ඡායාරූප භයංකර කතාවක් කියයි.‘

සටහනක් | ශ‍්‍රී ලංකාවේ යුධ ගැටුම පැවති සමයේ එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරනලද බවට සාක්ෂි ඇති බව දැක්වෙන ඡායාරුප ඉදිරිපත් කරමින්, නව වාර්තා චිත්‍රපටයක් මගින් සිදුකෙරෙන හෙළිදරව්වක් පසුගිය දා දෙස් විදෙස් වෙබ් අඩවි මෙන්ම, ලංකාවේ විශේෂයෙන් දෙමළ මුද්‍රිත මාධ්‍ය ද පළ කළේය.

මෙම ආන්දෝලනාත්මක ඡායාරෑප ප්‍රසිද්ධ කරන ලද්දේ චැනල් 4 රෑපවාහිනී නාලිකාව මගිනි. විශේෂයෙන් ලංකාවේ යුද්ධයේදී සිදුවුනා යැයි පැවසෙනෙ අන්තර්ජාතික මානුෂවාදී නීති උල්ංඝණය කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේත් කිලිංෆීල්ඩ් නමින් වාර්තාමය චිත්‍රපටයක් එම චැනල් 4 නාලිකාව ඉදිරිපත් කල අතර එය ජාත්‍යන්තරයේත්, දේශීයවත් අන්දෝලනාත්මක දේශපාලන තත්ත්වයක් නිර්මාණය කලේය.

අනෙක් පසින් එම වාර්තාමය චිත්‍රපටය පිළිබදව දේශීය යාන්ත්‍රණයක් යැයි හදුන්වන LLRC වාර්තාවේද කිසියම් සටහනක් තබන්නට තරම් එය ප්‍රභල කම්පනයක් ඇති කර ඇත. ඉන් පසුව මෙම ඡායාරෑප දැන් ඉදිරිපත් කර ඇත්තේ තව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන “No Fire Zone: The Killing Fields of Sri Lanka.” වාර්තාමය චිත්‍රපටයට පෙර බව එහි අධ්‍යක්ෂක කැලම් මැක්රේ පවසයි. මේ පිළිබදව පෙබරවාරි 19වනදා http://www.thehindu.com වෙබි අඩවිය කැලම් මැක්රේ උපුටා දක්වමින් ප්‍රභාකරන් ගේ දොළොස් හැවිරිදි(12) පුත් බාලචන්ද්‍රන්ගේ ඡායාරෑප සමග විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කල අතර පහත දැක්වෙන්නේ එහි සිංහල පරිවර්තනයයි.

Image 01
Image 01

එල්ටීටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පුත‍්‍රයා වෙඩි තබා මරා දැමීමට මොහොතකට පෙර ගෙන තිබී චැනල් ෆෝ රූපවාහිනිය අත් කර ගත් නව ඡායාරූප, යුද අපරාධ පිළිබඳව පිළිතුරු දීමට ශ‍්‍රී ලංකාවට තවත් ප‍්‍රශ්න ඉතිරි කරයි.

යුද්ධය සැබවින් ම භයංකර ඡායාරූප පෙළක් සැපයූවක් වුව ද මෙම ඡායාරූප විශේෂයෙන් සිත කලඹනසුලූ ය. සුපිරි වෙළඳ සලක අතරමං වුණු ළමයෙකු සේ නව යොවුන් දරුවෙක් දොම්නස් සහගත පෙනුමෙන් යුතුව වාඩි වී සිටී. ඔහු අතට විස්කෝතුවක් හෝ කිසි යම් සුලූ කෑමක් දී ඇත. දෙවන ඡායාරූපයේ දී, තමන් දන්නා හඳුනන කෙනෙකු දැකීමේ බලාපොරොත්තුවෙන් මෙන් ඔහු කාංසා සහගත විමසිල්ලකින් පසු වේ.

මෙම දරුවා දෙමළ කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත‍්‍ර බාලචන්ද්‍රන් ප‍්‍රභාකරන් ය.

අද(පෙබරවාරි 18) දින නිකුත් වන මෙම ඡායාරූප, ඉදිරියේ දී ප‍්‍රදර්ශනය වීමට නියමිත ”නෝ ෆයර් සෝන්: ද කිලිං ෆීල්ඞ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා” (යුද මුක්ත කලාප: ශ‍්‍රී ලංකාවේ ඝාතන බිම්) නමැති වෘත්තාන්ත වාර්තා චිත‍්‍රපටයේ ඇතුළත් නව සාක්ෂිවලින් කොටසකි. තෙවසරක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් වන මෙම චිත‍්‍රපටය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීමට සමපාතව එන මාසයේ ජිනීවා නුවර දී පළමු වරට ප‍්‍රදර්ශනය වනු ඇත. චිත‍්‍රපටයේ ඇතුළත් නව සාක්ෂි හේතුවෙන්, ශ‍්‍රී ලංකාව සහ වගවීම පිළිබඳ යෝජනාවකට සහාය දීමට පමණක් නොව, එසේ සහාය දෙන බව දැඩි වචනවලින් ප‍්‍රකාශ කිරීමට ද ඉන්දියානු ආණ්ඩුවට යෙදෙන පීඩනය වැඩි වන බව නිසැක ය. ශ‍්‍රී ලංකාව තුළ දඬුවම් නොලැබ ගැළවීම අවසන් කිරීම සඳහා වන ජාත්‍යන්තර ක‍්‍රියාවන්ට, මෙයින් සාර්ථක සැලැස්මක් කෙටුම්පත් වේ.

නව ඡායාරූප භයංකර කතාවක් කියයි. සැබවින් ම මේ දරුවා අතරමං වුණා නො වේ:
ඔහු අල්ලා ගෙන විත්, වැලි මලූවලින් නිමැවුණු බංකරයක් තුළ රඳවා ගෙන, සොල්දාදුවෙකු ඔහු මුර කරන බව පැහැදිලිව පෙනේ. පැය දෙකක් ගත වන්නට මත්තෙන් ඔහු රැගෙන ගොස් අමු අමුවේ මරා දමනු ලැබේ. අනතුරුව, යළි ඡායාරූප ගනු ලැබේ.

අධිකරණ වෛද්‍ය ව්‍යාධිවේදියාගේ මතය

මෙම ඡායාරූප එකම කැමරාවකින් ගන්නා ලද බව ඩිජිටල් ඡායාරූප විශ්ලේෂණය පෙන්නුම් කරයි. ඔහුගේ පපුවට පස් වතාවක් වෙඩි තබා ඇති බව ඡායාරූපවලින් අපට දැක ගත හැකි ය.

බාලචන්ද්‍රන් මිය ගියේ වෙඩි හුවමාරුවක දී හෝ සටනක දී නොවන බව නව ඡායාරූපවලින් ඔප්පු වන බැවින්, ඒවා සාක්ෂි වශයෙන් විශේෂයෙන් වැදගත් ය. ඔහුගේ මරණය හිතාමතා, සැලසුම් සහගතව කරන ලද්දකි. ඔහුගේ මරණයේ ස්වභාවය පිළිබඳ භයංකර තොරතුරුවලින් සපිරි මෙම ඡායාරූප, යුද්ධය අවසානයේ දී කළ මරණ දඬුවම් පැමිණවීම් කොතරම් සැලසුම් සහගතව කළ බවක් පෙනෙන්නේ ද යන්නට පිළිතුරු සැපයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට තවත් ප‍්‍රශ්න ඉතිරි කරයි. බාලචන්ද්‍රන් මරා දැමීමෙන් කෙටි වේලාවකට පසු ඔහුගේ සිරුර පෙන්නුම් කළ විඩියෝ රූපාවලියක් සහ නිශ්චල ඡායාරූප පෙළක් අපි පසු ගිය වසරේ පළමුව එළිදරව් කළෙමු. ගෞරවනීය අධිකරණ වෛද්‍ය ව්‍යාධිවේදියෙකු වන මහාචාර්ය ඩෙරික් පවුන්ඩර්, දරුවාගේ මරණයට හේතුව තක්සේරු කිරීම සඳහා අප වෙනුවෙන් ඒවා විශ්ලේෂණය කළේ ය.
දරුවාට තබන ලද පළමු වෙඩි පහර යැයි තමන් සිතන ලකුණක්, මහාචාර්යවරයා හඳුනා ගත්තේ ය. ”සම මත වෙඩි පහරකින් හෑරුණු ලපයක් තියෙනවා. තුවක්කු කට තිබුණේ මේ දරුවාගේ පපුවට අඩි දෙක තුනකට හෝ ඊට වඩා අඩු දුරකින් බව එයින් ඇෙඟනවා. අත දිගු කරලා තමන් ඝාතනය කළ තුවක්කුව ස්පර්ශ කරන්න වුණත් ඔහුට පුළුවන්කම තිබුණා.”

වෙඩි පහරවල් එල්ල වුණු කෝණය අනුව පෙනෙන්නේ, වෙඩි උණ්ඩය වැදීමෙන් පසුව දරුවා පසුපසට ඇද වැටුණු බවත්, අනතුරුව තවත් හතර වතාවක් වෙඩි තබන ලද බවත් යැයි මහාචාර්යවරයා පැවසුවේ ය. හාත්පස සිටි මිනිසුන්ගේ මෙන් දරුවාගේ ඇස් බැඳ හෝ ඔහු ගැට ගසා තිබුණු බවට ලකුණක් නො වී ය. දරුවාට තුවක්කුව එල්ල කරන්නට කලින්, ඔහුගේ ආරක්ෂකයන් මරණයට පත් කරන ආකාරය ඔහුට බලා සිටීමට සලස්වන්නට ඇතැයි මේ අනුව සිතිය හැකි යි.

අද දින නිකුත් කෙරුණු නව ඡායාරූප, ඉන් පෙර සිදු වුණු දේ විනිවිද දැකිය හැකි භයංකර ඥානයක් අප වෙත සම්පාදනය කරයි. ඒවා තත්ත්වය සන්සුන් සහ සැලසුම් සහගත බවක් පෙන්නුම් කරති යි හැෙඟ්. බාලචන්ද්‍රන්ට සුලූ කෑමක් සහ වතුර ස්වල්පයක් දෙන ලදි. ඔහු බංකරය තුළ සිටින අතරතුර සහ නැවත ඉන් පසුව ඡායාරූප ගැනීමට කාලය තිබිණ. ඡායාරූප පිළිබඳ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ වාර්තාවේ නිගමනය කරන්නේ, ”ගෙතීමක්, වෙනස් කිරීමක් හෝ ඡායාරූප නිර්මාණය කිරීමට ප‍්‍රයෝග යොදා ගත් බව ඇඟවෙන කිසිදු සාක්ෂියක් නැති” බව යි, ඡායාරූපවලින් ”වචනයෙන් විස්තර වන සිදුවීම් නිරවද්‍ය ලෙස නිරූපණය වෙති යි හැෙඟන” බව යි.

මග සලකුණු යොමු වන්නේ කොතැනකට ද

නිසැකව ම දඬුවම් නොලබා දරුවෙකු අමු අමුවේ මරා දැමිය හැකි හමුදාවක මානසිකත්වය කෙබඳු දැයි සිතා ගැනීම අසීරු ය. ඉන් ශ‍්‍රී ලංකා හමුදාව හමුවේ අතිදුෂ්කර ප‍්‍රශ්න ද මතු කෙරෙයි. ගත වන මාසයක් පාසා, සිරකරුවන්ට සැලසුම් සහගතව මරණ දඬුවම් පැමිණවීම පිළිබඳ සාක්ෂි තව තවත් හමු වනු ඇත. ස්ත‍්‍රී සටන්කරුවන්ට එරෙහිව නිසැකව එල්ල වුණු ලිංගික ප‍්‍රචණ්ඩත්වයේ රටාව අතිශයින් ම සිත කලඹනසුලූ ය.

ගෞරවනීය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදියෙකු වන මහාචාර්ය විලියම් ඒ. ෂබාස් අප චිත‍්‍රපටය තුළ දී කියා සිටින පරිදි: ”නිරුවත් සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම කෙබඳු දෙයක් දැයි ඔබ විමසා බලන්නේ නම්, මේ සියල්ලෙන් සිදු වන්නේ මෙය සැබවින් ම සැලසුම් සහගත වී යැයි ඉදිරිපත් විය හැකි ප‍්‍රකාශය යුක්ති සහගත වීම යි. විධිමත් ක‍්‍රියා පටිපාටියකින් තොරව මරණ දඬුවම් පැමිණවීම, ඝාතනය සහ වධබන්ධන පැමිණවීම යන යුද අපරාධවලට ශ‍්‍රී ලංකාවේ ඉහළ පෙළේ මිලිටරි බලධාරීන් වගකිව යුතු යැයි ඉන් ඇඟිල්ල දිගු විය හැකි ය.”

ඉන්දියාවේ කාර්ය භාරය

සැබවින් ම ශ‍්‍රී ලංකාව තුළ, ඉහළ පෙළේ හමුදා නිලධාරීන් යනු ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් බව කිවමනා නො වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අතිශය දුෂ්කර ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතුව ඇත. ඔවුන් සරල ලෙස දිගින් දිගට ම සාක්ෂි ප‍්‍රතික්ෂේප කරනු ඇත, දෙමළ කොටින් නිසැකව ම කළ අපරාධ පිළිබඳව සඳහන් කරනු ඇත. එහෙත් මෙම මේවා ආරක්ෂක පවුරක් ලෙස සලකතොත්, දැන් එය පවත්නේ වේගයෙන් ගරා වැටෙමින් බව කිව යුතු ය. එක් පාර්ශ්වයක අපරාධවලින් අනෙක් පාර්ශ්වයේ අපරාධ යුක්ති සහගත නොවේ. ජාත්‍යන්තර මානුෂීය නීතියට බැඳී සිටින්නේ යැයි ප‍්‍රකාශ කරන ආණ්ඩුවකට, දෙමළ කොටින්ගේ කුරිරු මරා ගෙන මැරෙන බෝම්බවලට හෝ මෘගයන් බවට පත් කෙරුණු ළමා සොල්දාදුවන්ට මුවා විය නොහැකි ය. ඉන්දියාව ද උභතෝකෝටිකයකට මුහුණ පා සිටී. මන්ද, එය සැලකිලිමත් වන්නේ මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු කවරේ ද යන්න ගැන පමණක් නො වේ. මෙම ප‍්‍රශ්න අසන්නේ කවුරුන් ද යන්න ගැන ද එය සැලකිලිමත් වෙයි. ඉන්දියාව සිටින්නේ මෙහි හරි මැද ය.

කලින් පවසා ඇතත් සැබෑවක් බැවින් යළි පැවසීම වටී. යුක්තියෙන් තොරව කිසිදු සාමයක් සහ සමගි සන්ධානයක් පැවතිය නොහැකි ය, සත්‍යයෙන් තොරව යුක්තියක් පැවතිය නොහැකි ය.

මෙය ඉතිහාසය සම්බන්ධයෙන් වග වීම පිළිබඳ ශාස්ත‍්‍රීය අභ්‍යාසයක් නො වේ. මෙම අපරාධවලට වගකිව යුත්තෝ තව මත් තනතුරු දරති. ඔවුහු දිගින් දිගට ම උතුරේ දෙමළ ජනයා කුරිරු ලෙස මර්දනය කරති, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ දී අප දුටුවාක් මෙන්, ආණ්ඩුව විවේචනය කරන ඔවුන්ගේ ම අධිකරණය ද ඇතුළු කවරෙකු වුව අඛණ්ඩව අඩන්තේට්ටම්වලට ලක් කරති.

මෙම ගැටලූවලට විසඳුම් සෙවීමට සහ පීඩාවට පත් වූවන්ට යුක්තිය ඉටු කර දීමට ප‍්‍රයත්න නොදරන්නේ නම්, කෙටි කාලයේ දී ශ‍්‍රී ලංකාව තුළ දේශපාලනික මර්දනය ඉහළ යනු ඇත යන්නත්, දිගු කාලයේ දී තවත් ලේ වැගිරීමක් සහ ප‍්‍රාදේශීය අස්ථාවරත්වයක් නිර්මාණය කරමින් ඉතිහාසය පුනරාවර්තනය වනු ඇත යන්නත් භීතියට කරුණු වේ.

ඉන්දියාව තුළ සිටින්නන් ද ඇතුළු ලොව වටා මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් බොහෝ දෙනෙකුගේ මතය වන්නේ, වත්මන් තත්ත්වයෙන් පෙරට යා හැකි වනුයේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය ඉල්ලා සිටි ආකාරයේ විශ්වසනීය, ස්වාධීන, ජාත්‍යන්තර පරීක්ෂණයක් ඇති කිරීමෙන් පමණක් බව යි.

ඉන්දියාව එවැනි පරීක්ෂණයකට සහාය දුන හොත්, එය ශ‍්‍රී ලංකාව තුළ සාමය, සමගි සන්ධානය සහ දේශපාලනික සාධාරණත්වය උදෙසා වන දීර්ඝ, කල් පමා වුණු ව්‍යාපාරයක ආරම්භය විය හැකි යැයි බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි ය.

(Callum Macrae is director, “No Fire Zone: The Killing Fields of Sri Lanka.” nofirezone.org.)

(කැලම් මැක්රේ යනු ”නෝ ෆයර් සෝන්: ද කිලිං ෆීල්ඞ්ස් ඔෆ් ශ‍්‍රී ලංකා” චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා ය.)

Image 01
Image 01

Image 02
Image 02
Image 03
Image 03