Colombo, Democracy, end of the War, Features, Peace and reconciliation, Politics and Governance

ජනවාර්ගික ප‍්‍රශ්ණය යළිත් රතු කටුව ළඟ

හමුදාව බලෙන් අල්ලාගෙන සිටින තම ගම්බිම් ඉල්ලා විරෝධතාවයේ යෙදුනු වලිකාමම් ජනයා | අප්‍රේල් 29 දා යාපනයේ, තෙල්ලිපලෛයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට | Image Vikalpa file
හමුදාව බලෙන් අල්ලාගෙන සිටින තම ගම්බිම් ඉල්ලා විරෝධතාවයේ යෙදුනු වලිකාමම් ජනයා | අප්‍රේල් 29 දා යාපනයේ, තෙල්ලිපලෛයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට | Image Vikalpa file

තිස් වසරක යුද්ධයකට ද ලක්ෂය ඉක්මවූ ජන පිරිසක් ද මරණය කරා යැවූවා වූද ඇදහිය නොහැකි තරමේ මිනිස් සහ ද්‍රව්‍යමය සම්පත් ගිල ගත්තා වූ ද සිල්ලටම වඩා ශ‍්‍රී ලාංකික සමාජය උග‍්‍ර ධ‍්‍රැවීකරණයකට ද නරුම භාවයකට ද පත් කළා වූ ද මෙරට ජන වාර්ගික ප‍්‍රශ්ණය යුද්ධවසානයේ සිව් වසරක් ගත වන මෙම දේශපාලන මොහොතෙහි දී යළිත් වතාවක් පිපිරෙන සුළු රතු කටුව කරා එළඹෙමින් තිබේ.

මෙරට දේශපාලනඥයින්ගේ හිඟන්නාගේ තුවාලය නමින් පටබැඳි ජනවාර්ගික යුද්ධය සහ ගැටුම සදහට ම අවසන් කළේ යැයි තෙරක් නැති ජයපානෝත්සවයන් පවත්වමින් රටට ද ලොවට ද රාජපක්ෂවරුන් කී පූරසාරමෙහි සායම දැන් සේදී යන්නට පටන් ගෙන තිබේ. දැන් රාජපක්ෂවරුන්ම කියන්නේ ‘දෙමළ අන්තවාදය’ යළි හිස එසැවීමට ඉඩ ඇති බැවින් දෙමළ ජන ප‍්‍රදේශ ‘යුද්ධමය පාලනයක්’ යටතේ පවත්වා ගත යුතු බවය. සෞඛ්‍ය සහ අධ්‍යාපනයට කෙරන දළ ජාතික ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස පහළ වැටෙත් දී වියදම රටෙහි ඉහළ යන එකම වැය බවට පත්ව ඇත්තේ යුද්ධ වියදමයි.

යද්ධාවසානයෙන් පසු ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ සිංගප්පූරුව බවට ද ආසියාවේ ආශ්චර්්‍යය බවට ද පත් කරන බවට කළ ප‍්‍රකාශ වැල්ලේ තැනූ සිහින බවට පත්ව ඇති බව පසුගිය දා ඒ.එෆ්.පී අන්තර් ජාතික පුවත් සේවාව කියා සිටියේ ය. පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය යුද්ධ සමයේ සමහර වසරයන්ටත් වඩා පහත වැටෙමින් 6.4 ක් බවට පත් විය. ණය මත කැරෙන දැවැන්ත යටිකල සංවර්ධනයන්ට අනුරූපී අනෙක් ආයෝජන නැතිකමින් එම ගොඩ නැගීම් අංග විකල වී ඇතැයි ද එම වාර්තාව කිය යි.

යුද්ධය අවසන් කොට සිව් වසරක් ගත වන මෙම 19වන ඉරිදා සනිටුහන් වන්නේ මෙරට දෙමළ ජනයා සාමයෙන් සහ සතුටින් ගත කරන දිවියකින් නොවේ. ගොරබිරම් රකුසකු සේ වර්ධනය වන යුදකරණය මැද එන්න එන්නම අවිනිශ්චිත බවට පත්වන දේශපාලන අනාගතයක් අභිමුව ය. දෙමළ ජනයාට විමුක්තිය ලබා දීමට ශපථ කල යුද්ධාවසානයේ සිව්වැනි අනුස්මරණය සංකේතාත්මකව ගතවන්නේ යාපනයේ වළිකාමම්හි පන් දහසක් ජනයාගේ ඉඩම් අක්කර 6000ක් යුද්ධ හමුදාව විසින් බලයෙන් අත්පත් කර ගැනීම මගිනි. තමන් ලබා ඇති නිදහස වනාහී අපේම ඉඩම්වල යුද හමුදාව වගා කරනු ලබන එළවළු අප විසින්ම මිලදී ගැනීමේ නිදහස යැයි යාපනයේ ගොවියකු කියා තිබූ වචන මේ සිව්වැනි අනුස්මරනයේ තවත් අපූරු සංකේතයකි.

මැයි 18/19 දිනයන් උතුරෙහි දෙමළ ජනයාට යුද්ධයෙන් විපතට පත් සිය නෑසියන් සිහි කැරෙන දවස් ය. එසේ නමුත් මරණයට පත් සිය දරුවන් අනුස්මරණයට දෙමළ ජනයාට තහංචි පනවා ඇති යුද්ධ පාලනය කිළිනොච්චියේ පාසැල්හි දෙමළ දරුවෝ සිංහල බසින් යුද්ධ ප‍්‍රසස්ති ගී ගායනා කරවීමට ද යුද්ධ නායකයින් පිනවනු පිණිස යුද ජයග‍්‍රාහී නර්තන ඉදිරිපත් කිරීමට පසුගිය සතියෙහි යොදා ගත්හ. එවැනි නියෝගයන්ගෙන් පෙන්නුම් කැරෙන්නේ දෙමළ ජනයාගේ වේදනාවන් සම්බන්ධයෙන් සිංහල බහුතරවාදී රාජ්‍ය මතවාදය කොතරම් අසංවේදී වී ඇත් ද යන්න පමණක් නොව එම ජනයා සිය නෑසියන් සිහි කරනු ලැබීම සම්බන්ධයෙන් ඇති බිය ය. කවරදාක හෝ මෙම ජනයා මත පනවා ඇති යුද්ධ පාලනය ඉවත් වූ කළ මෙම වේදනාවන් මහා ගල් කනුවුව පෙරලා යන මහෝගයක් බවට පත්ව දෙමළ සමාජය සිසාරා නොයනු ඇත් ද ?

එසේ නොවීමට නම් කළ යුත්තේ යුද්ධ පාලනය සදාකාලික කිරීම ය. දැන් යුද්ධයෙන් සිව්වසරක් ගතවන මේ අවස්ථාවේ දී අපට අසන්නට ලැබෙන හොරණෑ හඩින් කියැවෙන්නේ එම සැළැස්ම යි.

රට දෙකඩවීමේ ඉඩ කඩ දැන් පෙරටත් වඩා ශක්තිමත් වී ඇති බව රාජපක්ෂ දේශපාලන කසකරුවෝ දැන් රටට කියති. ඔවුන් එසේ අපට කියන්නේ අන් කිසිවක් නිසා නොව මෙරට දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂ සදාකාලිකව සැක කළ යුතු බවත් කිසිදු බුරුලක් නොදී එම ජනයා සහ එම ජනයා වාසය කරන ප‍්‍රදේශ යකඩ සපත්තුවෙන් ම පාලනය කළ යුතු බව ඒත්තු ගැන්වීමට ය. සිහළ ජනයා තුළ දෙමළ ජනයා කෙරෙහි අවිශ්වාශය ජනිත කරවීම මේ දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපාරයේ අරමුණ ය.

රාජපක්ෂ පාලනයේ මතවාදය වනාහී යුද්ධයේ ජයග‍්‍රහණයේ මතවාදය යි. යුද්ධය සිදු කෙරුණේ එල්ටීටීඊයට විරුද්ධව යැයි පෙනෙන්නට තිබුණ ද දැන් අසන්නට ලැබෙන්නේ යුද්ධ ජය රැෙක ගැනීමට නම් දෙමළ ජනයාට කවර හෝ ස්වයං පාලන බලයක් ලබා නොදිය යුතු බවය. එය යුද්ධයේ නූතන මුහුණුවර ය. මෙම ප‍්‍රචාරයේ ප‍්‍රධානීන් බවට විමල් වීරවංශ කණ්ඩායමත්. ජාතික හෙළ උරුම කණ්ඩායමත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් පත්ව සිටිති. වැඩි දිනක් යෑමට පෙර මෙම ව්‍යාපාරයට මෑත පැන නැඟුණු වෛවාරන්න සිංහල බෞද්ධ සේනාංක ද ඊට එක්වනු නියත ය.

මහින්ද රාජපක්ෂ ද්‍රෝහියකු බවට පත් නොවීමට නම් සැප්තැම්බර් මාසයට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභාවන්හි බලතල කප්පාදු කළ යුතු බව මෙම පිරිස් කියති. ඊට හේතුව වශයෙන් මෙම බලවේග ඉදිරිපත් කරන්නේ උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජය ලබනු ඇති බවත් ඉන් පසු උතුරු පළාත් සභාව හරහා බෙදුම්වාදී දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙනු යනු ඇති බවත් ය. මෙම තර්කයෙන් තවදුරටත් ඇඟවෙන්නේ බහුතර දෙමළ ජනයා වෙනම රටක් වෙනුවෙන් කැමැත්ත ප‍්‍රකාශ කරනු ඇතියි කියා ද? එසේ නම් යුද්ධය විසින් බෙදුම්වාදය අවසන් කළ බවට කරනා කාලගෝට්ටිය ව්‍යාජයක් නොවේ ද? මෙම ප‍්‍රචාරකයින් නොදැනුවත්ව හෝ කියා සිටන්නේ වෙනම රාජ්‍යක් යන්න ප‍්‍රභාකරන්ගේ හෝ එල්ටීටීඊ යේ සැළැස්මක් නොව දෙමළ ජනයාගේ අභිලාශය බව ය.

පළාත් සභා බලතල මගින් වෙනම රාජ්‍යක් කරා ගමන් කළ හැකිය යන්න අමූලික මුසාවක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව විසින් එවැනි කිසිදු මූලිකත්වයකට ඉඩ නොසලකන නිසා ය. එමෙන්ම වත්මන් ලෝක තත්ත්වය විශේෂයෙන්ම ඉන්දියාව සිය දකුණු දිග වෙනම දෙමළ රාජ්‍යක් ඇති වීමට ඉඩ නොසලසන නිසා ය. මෙම තර්ක ගෙන එනු ලබන්නේ එකම එක අවශ්‍යතාවයක් උඩ ය. එනම් මෙරට දෙමළ ජනයා මර්දන හස්තය යටතේම තබා ගත යුතුය යන්න තහවුරු කිරීම පිණිස ය.

තමන් එක් රටක් තුළ ක‍්‍රියාත්මක වන දේශපාලන විසදුමක් වෙනුවෙන් පෙනී සිටින බව දෙමළ ජාතික සන්ධානය යළි යළි කියා සිටි තිබේ. එනමුත් මෙම යුද්ධවාදී පළාත් සභා විරෝධී තර්කයෙන් ගම්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයකින් දෙමළ ජනයා විසින් පත් කරනු ලබන එම නියෝජිතයින් වුව ශ‍්‍රී ලංකාවේ බහුතර සිංහල රාජ්‍ය විසින් විශ්වාස නොකළ යුතු බවයි. එම තර්කයේ ඊළඟ පියවර කුමක් ද? එනම් කිසිම විටෙක මෙරට දෙමළ ජනයා හෝ ප‍්‍රධාන ධාරාවේ දෙමළ දේශපාලන පක්ෂ හෝ සිංහල බහුතර රාජ්‍ය විසින් විශ්වාස නොකළ යුතු බව නොවේ ද? දැන් එල්ටීටීඊ ය වෙනුවට දෙමළ ජනයාම සතුරකු බවට පත් කොට තිබේ.

බොහෝ විට සිදුවීමට ඉඩ ඇත්තේ මෙම හොරණෑකරුවන් විසින් පළාත් සභා විරෝධී මතවාදය දියත් කළ පසු රාජපක්ෂවරු එය හේතුවක් සේ දක්වා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභා ක‍්‍රමය හප කර දැමීම ය. ඇත්ත වශයෙන්ම නම් දැනටමත් 18වන සංශෝධනය සහ දිවි නැගුම පනත හරහා පළාත් සභා ක‍්‍රමයේ බලතල දිය කර දමා තිබේ. එවැනි තනුක තරන ලද බලය බෙදීමකට පවා විරුද්ධව රාජපක්ෂ හොරණෑකරුවන් විසින් දියත් කර ඇති ප‍්‍රචාරයෙන් අපට පෙනෙන්නේ යුද්ධාවසානයෙන් පසු මෙරට දෙමළ ජනයාට ලබාදෙන බවට පොරොන්දු වූ දේශපාලන විසඳුම මායාවක් බවට පත්ව තිබෙන බවයි. සැප්තැම්බර් මාසයට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය යුද කරණයෙන් තොරව, පළාත් සභාවන්හි බලතල කප්පාදු නොකර, නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීමට රාජපක්ෂවරුන් අසමත් වුව හොත් එය දෙමළ දේශපාලනයේ අන්තර් ජාතික ගතිකත්වයෙහි නව ප‍්‍රවේගයන් ඇති කරනු නියත ය. එම සුළි කුණාටුවෙහි නාභිය පිහිටවෙනු ඇත්තේ යාපනයට සැතපුම් 22ක් නුදුරින් පිහිටි තමිල් නාඩුවේ ය. එහි අරමුණ වෙනු ඇත්තේ වෙනම රාජ්‍යක් හෝ ඊට සමාන විකල්පයකි.

කේපීලා දයා මාස්ටර්ලා හෝ තමිලිනීලා සිය ගණනාවක් පෙළගැස්වුව ද දැනට ක‍්‍රියාත්මක නිෂේධාත්මක පියවරයන්ගෙන් ඇතිවන කම්පන තරංඟ වළක්වා ලීමට නොහැකිවනු ඇත. ශ‍්‍රී ලාංකික රාජ්‍ය විසින් මෙරට දෙමළ ජනයා විශ්වාස නොකරන්නේ නම් එම දෙමළ ජනයාට වෙනත් බලවේගයන් කෙරෙහි විශ්වාශය තබන්නට සිදුවනු ඇත. යුද්ධාවසානයෙන් සිව් වසරකට පසු ජයපානෝත්සව මාසයක්ම ගත කරන ශ‍්‍රී ලංකාව සෙමින් නමුත් නියතවම නව ජනවාර්ගික දිය සුළියක් කරා ඇදී යමින් තිබේ.

Sunandaසුනන්ද දේශප‍්‍රිය | Sunanda Desapriya