Colombo, Democracy, Features, Media and Communications, Peace and Conflict, Politics and Governance

දෙවැනි පේළියේ සිට ‘මලාලා’ කියවීම

පූර්විකාව – ​ මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික් යෂ්ඨියක් ඔවුන් අත ඇත. එපමණක්ද නොව ලෝකය පුරා අර්බුදයන්ගේ සමාජ විද්‍යාත්මක හරයන් නොපෙනී යන ලෙස ඔවුන්ගේ වීරයන් එම අර්බුදයන් වෙතට කාවැද්දීමටද මාධ්‍යයට හැකිය.

Image Credit: www.demotix.com
Image Credit: www.demotix.com

මලාලා ගැටලුව

මලාලා යුසුෆායි දැරියට මේතරම් ලෝක මට්ටමේ මාධ්‍ය ආවරණයක් ලබාදෙන්නේ ඇයිද යන්න විග්‍රහ කරගැනීමට ඉහත පූර්විකාව යම් අත්වැලක් සපයාවි යැයි ලියුම්කරුගේ විශ්වාසයයි. බටහිර මාධ්‍ය විසින් මලලා දැරිය ඉතා ඉහළට ඔසවා තැබීම අප වටහා ගන්නේ කෙසේද?

බටහිර මාධ්‍යයන්ගේ සහ ඔවුන්ගේ හාම්පුතුන්ගේ ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්න කිරීමට ලක්වන්නේ බටහිර දී නොව තුන්වැනි ලෝකයේ රටවල් වෙත ඔවුන් මැදිහත් වන ආකාරයෙනි. විශේෂයෙන් ධනවාදී ක්‍රමය වැඩියෙන්ම ප්‍රශ්ණකිරීමට ලක්වන්නේ මෙම කලාපය තුළදීය. ක්‍රමයේ පීඩනයට එකතුවන කලාපීය සංස්කෘතික ගුඪත්වය විසින් මේ කලාපයන්ගේ මිනිසුන් පීඩනයේ මිරිකා දමමින් සිටිති. ඇමරිකානු සහ යුරෝපීය රාජ්‍යයන් තුන්වැනි ලෝකයේ රටවල් වෙත මැදිහත්වන ආකාරයෙන් ඔවුන්ගේ ශුද්ධභාවය සම්බන්ධව ඇත්තේ ප්‍රශ්ණාර්ථයකි.

ඒ ආකාරයේ සමාජ වටපිටාවක තුළ අප මලලා දැරියගේ ප්‍රශ්ණය කියවා ගත හැක්කේ කෙසේද? මලලා දැරියට මූලධර්මවාදී තලේබාන්වරු විසින් වෙඩි තැබීම ලියුම්කරු පමණක් නෙව මිහිපිට වෙසෙන කිසිදු ශිෂ්ඨ වැසියෙකු අනුමත නොකරන්නකි. (අවධාරනය මගෙනි.) නමුත් එම සිදුවීමට පසුව ඇය වෙත බටහිර මාධ්‍යයන්ගේ අවධානය යොමුවීම සහ ඇය බටහිර මාධ්‍යයන්ගේ බෝනික්කෙකු බවට පත්වීම නැවත විචාරා බැලිය යුතු කරුණකි.

ඇය ප්‍රතිකාර ලබා බ්‍රිතාන්‍යයේ රෝහලෙන් පිටවීම පවා බටහිර සියලු මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කරනු ලැබීය. මෙය තේරුම් ගන්නේ කෙසේද? කුමන තර්කයක් ඔස්සේද?

පකිස්ථානයේ ස්වැට් නිම්නයේ එක් දැරිවියක් හට වෙඩි තැබීම සම්බන්ධයෙන් ලෝක අවදානය යොමුවුවද ඔබාමා පාලනය විසින් මේ දක්වා පකිස්ථානයේ වෙත එල්ල කර ඇති ඩ්‍රෝන ප්‍රහාර ගණන 299 (1) කි. එම ප්‍රහාරයන්ෙග් 98% කින්ම හානි ගෙනදී ඇත්තේ සිවිල් ජනයා වෙතය. ප්‍රහාරයන්ගෙන් ඝාතනය වු සිවිල් වැසියන් ගණන 800 කි. එම පිරිසට අයත් ඝාතනය වූ ‘මලලා වැනිම’ දරුවන් සංඛයාව 176 කි. ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 3 -17 ත් අතර අයවෙති. යේමනයේදී එක්සත් ජනපද ඩ්‍රෝන ප්‍රහාර මගින් ඝාතනය වී ඇති ‘මලලා වැනිම’දරුවන් ගණන 25 කි. එවිට මලලා හරහා ගොඩනැගෙන ප්‍රශ්ණ කීපයක් අපට මෙසේ ඇසිය හැක.

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාර සහ මලාලාට එල්ල කරන තලේබාන් ප්‍රහාර වෙනස් වන්නේ කොතැනින්ද යන්නයි? එසේම බටහිර මාධ්‍යයන්ට මලලා වීරවරියක් වී අනෙක් දරුවන් අමතක වන්නේ කෙසේද යන්නයි ?
Malala_Yousafzai_Education_Activist

මුලධර්මවාදී මුස්ලිම් මතවාදයන් මත සිට ස්ත්‍රීන්ට ඉගෙනීමට ඇති අයිතියට වෙඩි තබන තලේබාන් සංවිධානය හැදූවැඩූ දෙමාපියන් වන්නේම ඇමරිකා එක්සත් ජනපදයම වීම ‘මලලා ගැටලුවේ’ ඇති දයිලෙක්තික සම්බන්ධතාවය හෙළිදරව් කරයි .එය එක් අතකින් පවතින ක්‍රමයේ මුද්ධ භාවය හෙළිදරව් කරන්නකි.

ඇෆ්ගනිස්ථානයේදී මුලධර්මවාදී මුස්ලිම් ආගමික පාසල් ඇති කිරීමට මූල්‍යමය ආධාර සපයනු ලැබුවේ ඇ​ෙමරිකා එක්සත් ජනපදය විසිනි. ඇෆ්ගනිස්ථානයේ එවැනි ආගමික පාසල් ගණන 1980 වර්ෂයේදී 2,500 ක් වූ අතර එය 2000 වර්ෂයේදී 39,000 (2) ක් දක්වා වර්ධනය කරනු ලැබුවේ CIA සංවිධානයේ ආධාර වලිනි. මලාලා සම්බන්ධව කෑමොර දෙන බටහිර මාධ්‍යයන් නොකීවාට එම පාසල්හි විෂය නිර්දේශයේ ඉස්ලාම් ජිහාඩ් පොළපොත් “Made in America” වූ අතර එම පොත්වල අන්තර්ගතය සහ විෂය නිර්දේශය වර්ධනය කර තිබුනේ Nebraska සරසවියේදීය.

මේ පොත්වල ආගමික මූලධර්මවාදය කරා මෙහෙයවන ආකාරයේ රූප පවා ඇතුළන් වී තිබූනද එවකදී ධවල මන්දිරය එම පොළපොත් සම්බන්ධව පවසා තිබුණේ එම පෙළපොත් සියල්ල එක්සත් ජනපද නීතියට සහ ප්‍රතිපත්තීන්ට අනුකූල බවයි.

සෝවියට් යුද්ධයේදී ඈෆ්ගන්ස්ථානය තුළ අන්තවාදී අදහස් පෝෂණය කරමින් එය රැකබලා ගනිමින් එය සෝවියට සංගමයට භාවිත කිරීම එක්සත් ජනපද උපක්‍රමය විය.

ෆරීආ-අල්-මුසල්මි ගේ කථාවද ‘ මලලා ගැටලුව’ තේරුම් ගැනීමට පසුබිමක් අපට සපයයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමෙන්තු විසින් පිරිනමන ශිෂ්‍යත්වයක් ලබාසිටින නිදහස් ජනමාධ්‍යවේදියෙකු වන මුස්ලිමී, එක්සත් ජනපද සෙනට් කමිටුවෙන් ඉල්ලා සිටියේ සිය රටට වෙත එලල කරන ඩ්‍රොන් බොම්බ ප්‍රහාර එල්ල නවතාලන ලෙසයි.

“මගේ නම ෆරීආ-අල්-මුසල්මි. මගේ ගම යේමනයේ පිටිසර කදුකර ගම්මානයක් වන වෙස්සාබ්. ලෝකයේ බොහෝ අය වෙස්සබ් ගැන අහලා නෑ. නමුත් මීට දින හයකට පෙර මගේ ගම්මානයට ​ඩ්‍රෝන ප්‍රහාර එල්ලකරනු ලැබුවා. ඒ බොම්බ ප්‍රහාර දහස් ගණනක් අහිංසක දුප්පත් ගොවීන්ගේ ජීවිත වෙත බිහිසුණු තත්ත්වයක් උදාකල” (3)

එම බිහිසුණු තත්ත්වයක් උදාවූ දුප්පත් ජීවිත වෙත බටහිර මාධ්‍යයන්ගේ අවාරණයක් ලැබුණේ නැත. ජනමාධ්‍යවේදි මුසල්මි, සෙනට් මණ්ඩලය හමුවේ සිය කරුණු දැක්වීම නොකරන්න වෙස්සාබ් ගැන වෙත එල්ලවූ ප්‍රහාරය ගැන ලෝකයම නොදැනඉන්නට තිබුණි. නමුත් බටහිර මාධ්‍ය සියල්ල එදිනම එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේ පුපුරාගිය බෝම්බය සම්බන්ධව නොනවත්වා වාර්තා ඉදිරිපත් කිරීම මෙම මාධ්‍ය භාවිතයේ ඇති මිලේච්ඡත්වය කියාපායි.

යේමනය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙතෙක් එල්ලකළ ඩ්‍රොන් ප්‍රහාර ගණන 79 ක් වන අතර ඝාතනය වී ඇති සිවිල් වැසියන් ගණන 163 කි. එම පිරිසනේ මලාලා වැනිම ලමුන් 25 කි. (2).

මලාලාට එක්සත් ජාතින්ගේ සංවිධානය ඇමතීමට පසුගියදා අවසර ලැබීම සතුටක් වූවද එක්සත් ජාතීන් සෑම ළමුන්ටම එලෙස සලකනවාදැයි ප්‍රශ්ණකාරීය. මන්ද මගේ දෑස් ඉදිරියේම එය එසේ නොවන බව​ට සජීවී උදාහරණයන් පවතින බැවිනි. මා ජීවත්වන නගරයට ජීවිත එක්සත් ජාතීන්ගේ රැකවරණය පතා සංක්‍රමණය වී ඇති බො​හෝ පකිස්ථාන දරුවන්ට සිදුවී ඇත්තේ සිය දෙමාපියන් මුස්ලිම් වීම නිසා නැවත පදිංචි වීමට රටක් නොමැතිව ඉතා අස්ථාවර ජීවිත ගත කිරීමටය. එය වසර 10 ක් 15 ක් තරම් වෙයි.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයන් හේතුවෙන් මියගිය දරුවන් ගණන දහස් ගණනකි. ඒ දරුවන් සම්බන්ධවද එක්සත් ජාතීන් සහ බටහිර මාධ්‍ය හැසිරුනේ කිසිවකු නොදුටු ලෙසය.

නමුත් ​බටහිර මාධ්‍ය ඔවුන්ගේ මව් රටවලට අවශ්‍ය මලලා වැනි මාධ්‍ය බෝනික්කන් නිපදවීමේ සැබෑ උවමනාව කියවා ගැනීම මෙහිදී අත්‍යවශය කරුණකි. ඉහත ලිපියේ මුලින් සදහන් කළ පරිදිම බටහිර ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ශ්‍රද්ධභාවය විමර්ෂණයට ලක්වන්නේ තුන්වැනි ලෝකයේ රටවල් වෙත කරන මැදිහත් වීම තුළන් වන නිසාම එම මිලේච්ඡ මැදිහත්වීමවලට සුජාතභාවයක් ලබාදීමට මාධ්‍ය බෝනික්කන් උවමනා කර තිබේ. ​එක්සත් ජනපදය ඇතුලු බටහිරට ලාබ ඉපයීමේ උවමනාවෙන් ​දෛනිකව මරාදමන දහස් ගණනක් දරුවන් නොපෙනෙන ලෝක මාධ්‍යයට මලලා දැරිය චරිතයක් වීම අපට වටහා ගත හැක්කේ මිලේච්ඡත්වයට සූජාතභාවයක් එක්කර ගැනීමේ උත්සහයක් ලෙසය.

මලාලා ගැටලුව නැවත කියවීමේදී ඔබට හමුවන්නේ මලාලාට වෙඩිතබනු ලැබුවේ මූලධර්මවාදී තලේබන්වරු විසින් නොව එක්සත් ජනපදය විසින් බවයි. ගැටලුව තවත් විදාරණය කළ විට ඔබට හමුවන්නේ තවත් මලාලා දහස් ගණනකට මේ මොහොතේත් වෙඩි තබමින් සිටින්නේ මේ පවතින ක්‍රමය විසින් බවයි.

පසන් ජයතිලක

*note

(1)http://www.thebureauinvestigates.com/2012/12/03/november-2012-update-us-covert-actions-in-pakistan-yemen-and-somalia/ –
November 2012 Update: US covert actions in Pakistan, Yemen and Somalia

(2)http://www.globalresearch.ca/from-afghanistan-to-syria-womens-rights-war-propaganda-and-the-cia/5329665 – From Afghanistan to Syria: Women’s Rights, War Propaganda and the CIA

(3) http://www.independent.co.uk/news/world/americas/yemeni-man-brings-the-horror-of-drone-strikes-home-to-us-senate-8586860.html – Yemeni man brings the horror of drone strikes home to US Senate