[Image : Vikalpa File | ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරැවරියට එරෙහිව, පොලිස් ආරක්ෂාව යටතේ, කොළඹ අධිකරණය ඉදිරිපිට, හූ කියමින් විරෝධය දැක්වූ ආණ්ඩු හිතවාදීන් පිරිසක් | January 15, 2013]

කොළඹ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී ඔස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබොට් කළ ප‍්‍රකාශය අතිශය කණගාටුදායක සරළකරණයකි. වධහිංසා පැමිණවීම ඔස්ටේ‍්‍රලියාව අනුමත නොකළත්, ‘සමහරවිට, දුෂ්කර අවස්ථාවන්හි දී දුෂ්කර දේවල් සිද්ධ වෙන’ බව ඔහු කීවේය.

මුලින්ම, ඔහුගේ එම ප‍්‍රකාශය, පවතින ජාත්‍යන්තර නීතියට පටහැනි ය. එපමණක් නොව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද එය පටහැනි ය. අපේ ව්‍යවස්ථාව අනුව, මොනම තත්වයක් යටතේවත් වධහිංසා පැමිණවීම අනුමත නොකෙර්. දෙවැනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය නායකත්වය දැන් දරණ ශී‍්‍ර ලංකාවේ අද දක්නට ලැබෙන, නීතියකට යටත් නොවී අපරාධ කිරීමේ සාපරාධී පුරුද්ද පිළිබඳ ඔහු තුළ ඇති නොදැනුම ද එම ප‍්‍රකාශයෙන් පැහැදිළි වෙයි.

වධහිංසාව පිළිබඳ ප‍්‍රශ්නය පැනනැගුණේ ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර දිගු කලක් තිස්සේ පැවති යුද්ධය නිසාවෙන් යැයි ද, එය ලංකාවේ උතුරු නැගෙනහිරට සීමා වූ තත්වයක් වශයෙන් ද ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයා විසින් සළකනු ලැබීම, නිසි තොරතුරු නොදැනීමෙන් ඔහු පැමිණි නිගමනයකි.

රාජ්‍ය නිලධාරීන් පමුණුවන වධහිංසා, යුද්ධයේ කටුක දසාවට සීමා වන්නක් නොවේ. එය, දෛනිකව මුළු සමාජය අරා පැතිර පවතින තත්වයකි. ඒ වනාහී, මානව හිමිකම් උල්ලංඝණය කරන්නන් රජයෙන් ආරක්ෂා කරනු ලැබීමේ ගැටළුවේ ද, කොටි සංවිධානය 2009 දී පරාජය කිරීමෙන් පසුව පවා එම ප‍්‍රතිපත්තිය එක දිගටම ආණ්ඩුව පැත්තෙන් ක‍්‍රියාත්මක වීමේ ද එක් අංගයකි.

ත‍්‍රස්තවාදීන් වශයෙන් චෝදනා ලබන සුළු ජාතික දෙමළ ජාතිකයන්ගේ සිට, විවිධ හේතු මත බලඅපහරණයේ ගොදුරු බවට පත්වන මහජාතික සිංහලයෝ ද වධහිංසාවට ලක්වෙති. මීට නිදසුන් වශයෙන්, සුළු අපරාධයකට චෝදනා ලද බාල වයස්කරුවෙකු, රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුට ‘එකට එක කීමට’ තරම් නිර්භය වූ නීතිඥයෙකු, එකම නමක් තිබීම නිසා වෙනත් අපරාධකරුවෙකු වෙනුවට අත්අඩංගුවට ගත් වරාය සේවකයෙකු පිළිබඳ සිදුවීම් අපට තිබේ. එසේම, කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් වධහිංසාවට පත්කළ ව්‍යාපාරිකයෝ ද වෙති.

වධහිංසාව දඩුවම් ලැබිය යුතු අපරාධයක් වශයෙන් සැළකෙන 1994 දී පනවා ගත් නීතියක්, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසියට දේශපාලනික හයියක් නොතිබීමේ හේතුවෙන් ක‍්‍රියාත්මක නොවේ.

අධිකරණය ද එහි දී අසරණ ය. ආණ්ඩුවේ අමනාපයට පාත‍්‍රවූ ලංකාවේ අගවිනිසුරුවරිය 2012 අවසාන භාගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඉදිරියට ගෙන්වා අවමානයට ලක්කොට එම තනතුරෙන් ද පලවා හරින ලදි. ඒ ගැන විනිසුරුවරුන් සහ නීතිඥයන් දැක්වූ විරෝධයෙන් පලක් නොවිණ.

නීතියේ සහ අධිකරණයේ බලය එසේ නිෂේධනය කරනු ලැබීම, ලංකා ආණ්ඩුවේ පශ්චාත්-යුද කාලීන හමුදාකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන අංගයක් බවට අද පත්ව ඇත.

සහෝදරයන්ගේ භූමිකාව

අද අසීමිත රාජ්‍ය බලතල ගොනුවන්නේ, ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන්ගේ අතේ ය. ඉන් කෙනෙක්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ය. තව කෙනෙක් බලගතු ඇමතිවරයෙකි. තවත් කෙනෙක් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ය. නීතියට උඩින් සිටින මොවුන්ගෙන් සැදුම්ලත් රාජ වංශික පවුල් පාලනයක් ගැන ශ‍්‍රී ලාංකිකයන් අද කතා කරන්නේ විහිළුවටම නොවේ.

යුද්ධයෙන් පසුව ඇති වූ මේ හමුදාකරණය ආපස්සට හැරවීමට ගත් ප‍්‍රයත්නයන් අසාර්ථක වී තිබේ. පශ්චාත්-යුද කාලීන ජාතික සංහිඳියාව ඉලක්ක කොට පිහිටුවන ලද කොමිසම, ආරක්ෂක ලේකම්වරයාගේ අධිකාරියෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිදහස් කොට එය නිර්-හමුදාකරණ කළ යුතු බවටත්, නීතිය ක‍්‍රියාත්මක කිරීමේ සිවිල් අධිකාරියක් බවට එය පත්කළ යුතු බවටත් නිර්දේශ කෙළේය.

අවුරුදු දෙකක් තිස්සේ එම නිර්දේශ ගැන පස්ස ගසමින් සිටි ආණ්ඩුව, පොලීසියේ අධීක්ෂණය සඳහා ‘නීතිය හා සාමය’ නමින් වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කළ ද එහි ලේකම්වරයා වශයෙන් පත්කෙළේ හිටපු හමුදා නිලධාරියෙකුව ය. මෙය, ඒ වන විට එල්ල වෙමින් තිබූ චෝදනා මගහැරීමට ගත් ව්‍යාජ ප‍්‍රයත්නයක් බව එයින් පෙනේ.

නීතිය හා සාමය රැකීමේ සාමාන්‍ය කටයුතු සඳහා හමුදාව යොදා ගැනීම එන්න එන්නම වර්ධනය වෙමින් තිබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, පැරණි යුද කලාපයේ පමණක් නොව, රටේ වෙනත් පළාත්වල ද, සීමාන්තික සහ අවාසනාවන්ත තත්වයන් ඇති කොට තිබේ. මීට මාස කිහිපයකට පෙර කොළඹට තදාසන්න ප‍්‍රදේශයක දී නිරායුද සිංහල උද්ඝෝෂණකරුවන් පිරිසකට හමුදාව වෙඩි තැබීමෙන් තුන් දෙනෙකු මරුමුවට පත්වූ අතර විසිපස් දෙනෙකුට වැඩි සිවිල් වැසියන් පිරිසක් තුවාල ලැබූහ. මේ උද්ඝෝෂණය පැවැත්වුණේ, ආණ්ඩුවට සම්බන්ධකම් ඇති පුද්ගලයෙකුට අයත් කම්හලකින් පිට කෙරෙතැයි කියන විස අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය අපවිත‍්‍ර වීම නතර කරන්නැ යි ඉල්ලමිනි. විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට හමුදාවෙන් කරන ලද තිරිසන් පහරදීම් ගැනත්, පූජ්‍ය පක්ෂයට කරන ලද අඩන්තේට්ටම් ගැනත් එහි දී වාර්තා විය. මෙය, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට විරුද්ධව ජීවඋණ්ඩ පාවිච්චි කළ අවස්ථාවලින් එකක් පමණි.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියාව ස්ථාවරයක් ගත යුතුය.

නීතිය ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය හමුදාකරණයට ලක්ව තිබීමේ තත්වය ශ‍්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට අද පත්ව තිබීම, යුද්ධයෙන් පසු රටේ ජනතාවගේ ජීවිතය ඊට පෙර පැවතියාට වඩා යහපත්ව ඇතැ යි යන ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ සංකල්පය පුස්සක් බවට පත්කරයි. ශ‍්‍රී ලංකාවේ දිදුළන මහා මාර්ග සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන්ට ප‍්‍රදර්ශනය කිරීම සඳහා විශේෂයෙන් ශෝභමාන කළ නගර පසුපස ඇත්තේ එවැනි අප‍්‍රසන්න යථාර්ථයකි.

මේ අතර රටේ බොහෝ පළාත්, දූෂිත දේශපාලඥයන් විසින් මෙහෙයවනු ලබන, අධිකරණ බලයකට යටත් නැති, සාපරාධී ව්‍යාපෘතිවල ක්ෂේම භූමි බවට පත්ව තිබේ. එවැනි තැන්වල, නීතිය ක‍්‍රියාත්මක කළ යුතු අය නීති කඩන්නන් බවට පත්ව ඇත. වධහිංසාව, ස්ත‍්‍රී දූෂණ සහ මිනිස් ඝාතන පවා එවැනි තැන්වල පරීක්ෂණයට ලක් නොවේ. මේ අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව, හමුදා පරිපාලනයේ දෛනික පරීක්ෂාවට ලක්වෙත්.

වැඩිම අවදානමට ලක්වන්නෝ, හිටපු කොටි සාමාජික රැඳවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ය. සහමුලින්ම හමුදාවේ අනුකම්පාව මත ඔවුන්ට යැපෙන්ට සිදුව ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනා රට හැර පළා යති. ‘දෙමළ ජාතික සන්ධානයට’ උතුරේ දෙමළ ජනතාවගේ අතිශය ප‍්‍රසාදය පළ කෙරුණු පළාත් සභා මැතිවරණය පැවැත්වුව ද, එම පක්ෂයට සැබෑ බලය බෙදාහැරීමක් සිදුව නැති නිසා ඒ පළාතේ ජනතාවගේ ජීවිතවල සාධනීය වෙනසක් ඇතිව නැත.

එම සන්දර්භය තුළ, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ‍්‍රී ලංකාවට පවරන අතරේ ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයා විසින් ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්වය වැරදි තොරතුරු මත පදනම් වෙමින් වසං කරනු ලැබීම, ඔස්ටේ‍්‍රලියාවේ විදේශ ප‍්‍රතිපත්තිය කෙරෙහි ඇති කරනු ඇත්තේ නරක නාමයකි.

ශ‍්‍රී ලංකාවේ සිට ඔස්ටේ‍්‍රලියාවට මිනිසුන් හොරෙන් පැටවීම මැඩලීම සඳහා ජංගම මුරසේවා නෞකා දෙකක් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඔස්ටේ‍්‍රලියානු ආණ්ඩුවෙන් ප‍්‍රදානය කරන අවස්ථාවේම, ඉහත කී මිනිසුන් පැටවීමේ ජාවාරමේ මොළකාරයෙකු වූ නාවුක හමුදාවේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනුණි. මනාව පිළියෙල කරන ලද රංගනයක් බව බැලූ බැල්මට පෙනෙන මෙම සිද්ධිය නිසා, මේ ජංගම මුරසේවා නෞකා සැබවින්ම කුමන පරමාර්ථ සඳහා යොදා ගැනේ ද යන ප‍්‍රශ්න පැනනැගේ.

මේවා, සහතික වශයෙන්ම, ඔස්ටේ‍්‍රලියානු ජනතාව තමන්ගේ අගමැතිවරයාගෙන් ඇසිය යුතු සැබෑ ප‍්‍රශ්න වන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් වන, බෙහෙවින් පාරට්ටු කෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ප‍්‍රතිපත්ති කෙරෙහි ඔස්ටේ‍්‍රලියාවේ සැබෑ කැපවීම අවංකව සොයා බැලිය යුතු මොහොත, සමහරවිට මෙය විය හැකිය.

කිෂාලි පින්තු ජයවර්ධන

*සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්