Image Credit : jdsrilanka.blogspot.com

මද පමණට සැප වළඳන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මහජන මුදල් රුපියල් කෝටි 600 ක් වැය කිරීමට නියමිතයි. අක්කර දෙක හමාරක ඉදි වන, මුළුමණින් වායුසමීකරණය කළ මේ ගගන ප‍්‍රාසාදය, ‘පිහිනුම් තටාක, සරඹ ශාලා, සක්මන් මළු, අවන්හල් සහ ක‍්‍රීඩා පිට්ටනි ආදී සියලූ නූතන පහසුකම්වලින්’ යුක්තය. කුලියක් අය නොකෙරෙන මේ විමානය වෙනුවෙන්, ආත්ම-පරිත්‍යාගී අපේ මන්ත‍්‍රීවරුන් ගෙවනු ඇත්තේ, මසකට රුපියල් 1000 ක් වැනි, යන දවසක ආපසු ඔවුන්ටම හිමි වන, රාජකීය අත්තිකාරමකි.

එම රටේම, ප‍්‍රාථමික පාසල් දරු දැරියන්ට සැපයුණු දිවා ආහාර වේල, කිරි වීදුරුවකට පහත වැටී ඇති බව වාර්තා වෙයි. හේතුව, ගිය වසරේ පාසල් දිවා ආහාර සැපයුම්කරුවන්ට නියමිත මුදල් තවමත් එම ආණ්ඩුවෙන් ගෙවා නැති බැවිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන මේ අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය ඉදි කරන්නේ, හැම පඳුරකම ව්‍යාපාරවලට අත ගසන චීන්නුන් විසින් නොව, ජපන් සමාගමක් විසිනි. ඒ නිසා, ‘සදා කොට උඩ’ නොරොච්චෝලේ මෙන් නොව, අගේට ඉදි වුණු, නියමෙට වැඩ කරන, ජීවන අවකාශයක විසීමට අපේ මන්ත‍්‍රීවරුන් භාග්‍යමත් වනු ඇත.

(ලෝකයේ පුළුල්ම අර්ථයෙන් ගැනෙන) දූෂණය, රාජපක්ෂලාගේ ප‍්‍රධාන මෙහෙයුම්-මෙවලමකි. රාජපක්ෂ සහෝදරයෝ, රාජ්‍ය යන්ත‍්‍රයත්, එය සතු සකල සම්පතුත්, විරුද්ධවාදීන්ට දඩුවම් කිරීමටත්, දෙකට නැමෙන්නන්ට තෑගි දීමටත් පාවිච්චි කරති. දෙකට නැමුණු හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රට පිරිනැමූ තෑගිබෝග, දෙකට නැමීම ප‍්‍රතික්ෂේප කළ මංගල සමරවීරට පරණ තෙස්තමේන්තුවේ නටබුන් මූලාශ‍්‍ර කරගත් වික්ටෝරියානු නීතියක පිළිසරණින් නඩු පැවරීමට යන කාසියේම අනිත් පැත්ත ය.

සියලූ මන්ත‍්‍රීවරුන්ට ජාතියේ වියදමින් විසල් වාසභවන් තැනීමේ ව්‍යාපෘතිය, දූෂණය ජාතික අච්චුවක් බවට පරිවර්තනය කිරීමේ පුළුල් සැලැස්මක එක අංගයකි. දූෂණය, හුදෙක් පවුලක හෝ ආණ්ඩුවක පමණක් නොව, පොදුවේ සමාජය වෙළාගන්නා ව්‍යාධියක් බවට පත්කෙරන විට, පාලකයන් සහ ඔවුන්ගේ එදිරිවාදීන් අතර තිබිය යුතු සදාචාරමය සහ ආචාරධාර්මික වෙනස ඉබේම බොඳ වී යන්නේය. එවැනි වාතාවරණයක් තුළ ඡුන්දදායකයා, මේවා ගැන කෝපයෙන් ඇළලී යනවා වෙනුවට, උදාසීන නින්දකට වැටෙන්නේය.

අහක බලාගෙන ඉන්න උදාසීනත්වය, ඉතිහාසයේ පෙන්නුම් කෙරෙන පරිදි, ප‍්‍රජා පීඩකයාගේ අතිජාති මිතුරෙකි.

චන්ඩි පාලකයන් යනු, ස්වකීය පුරුෂාර්ථ පාලිතයන් තුළ සාර්ථකව රෝපණය කරවන්නන් ය. ඒ අංශයෙන් රාජපක්ෂලා පිම්මේ ඉදිරියට ගොස් සිටිති. ඒ තත්වය තුළ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය, පූජණීය වෙයි. පවුල් දේශපාලනය, සම්මතය වෙයි. ඥාති සංග‍්‍රහය, තවදුරටත් පිළිකුල නොදනවයි. දූෂණය සහ අවස්ථාවාදය, සාපලත් දුරාචාරයක් වෙනවා වෙනුවට, දැකුම්කලූ ජයග‍්‍රාහී ගති ලක්ෂණයක් වෙයි.

යුද්ධය, සාමය වන රටක, වහල් භාවය, නිදහස වන රටක, මුළාව, ශක්තිය වන රටක, නිවට කම, නිර්භීත කමක් වෙයි. ආත්මාර්ථය, ප‍්‍රඥාව වෙයි. වෛරය, දේශපේ‍්‍රමය වෙයි.

මේ ප‍්‍රශ්නයේ වසංගත ගතිය, අපේ විදේශ සේවාවේ පවුල්වාදය ගැන නාමිනී විජේදාස කරන හෙළිදරව්වෙන් මනාව විසද වෙයි: රටේ විදේශ සේවාව, රාජපක්ෂලාගේ අවිශිෂ්ට නෑසියන්ට තිළිණ වෙන සුවදායී නිවහන් බවට පත්කිරීම පුදුමයක් නොවේ. එහෙත්, රාජපක්ෂලා නොවන, රාජපක්ෂලා තරමටම අවිශිෂ්ට, පිටස්තර දේශපාලනික දරු මුණුපුරන්ටත් ලෝකය පුරා අපේ තානාපති කාර්යාලවල සැපයෙන දෙවැනි පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරු කන්දරාව, ඇත්තෙන්ම කරුමයකි.

මේ නිසා මන්ත‍්‍රීවරුන් සඳහා වන නිවාස සංකීර්ණ උගුලට විපක්ෂය දක්වන ප‍්‍රතිචාරය මෙහි දී වැදගත් වනු ඇත. මහජන මුදල් සාපරාධී ලෙසින් මෙසේ කාබාසිනියා කිරීමට එරෙහිව, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සිය දැඩි විරෝධය පළ කරාවි ද? එම නිවාසවල අර්ථලාභීන් වීම ඔවුන් ප‍්‍රතික්ෂේප කරාවි ද? එසේ නොමැතිව ඔවුනුත්, එම නිවෙස් සඳහා ඉල්ලූම් කරාවි ද?

යාන්තම් හිස ඔසවමින් සිටි එක්සත් ජාතික පක්ෂය, පීඩිත දෙමළ ජනයා වෙනුවෙන් අතහිත දීම වළක්වීමේ ප‍්‍රයත්නයක් වශයෙන් රාජපක්ෂලා බොදුබල සේනාව පාවිච්චි කිරීමේ අරමුණ වුණේ, තමන්ගේ ඇෙඟ් දැනටමත් ගෑවී ඇති මඩ, අලියාගේ (එහි නායක මණ්ඩලයේ) ඇෙඟ් ද ගෑවීමට සැලැස්වීමයි. රාජපක්ෂලා සහ ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයන් අතර මොනම වෙනසක්වත් නැත්නම්, ඇත්තේ මහින්දගේ හිනාව, බැසිල්ගේ තෙල් ගතිය සහ ගෝඨාභයගේ දඩබ්බර ගතිය පමණක් නම්, එකක් රුපියල් මිලියන 5-6 අතර මිළකට ඉන්දියාවෙන් ගත් වතුර-තුවක්කු සන්නද්ධ රථ දහයෙන් ඔවුන්ට කිසි ප‍්‍රයෝජනයක් නැති වන්නටත් ඉඩ තිබේ.

ආණ්ඩුවේ මේ ගතිකයට විපක්ෂය යට වුණොත් ඇති විය හැකි මහජන අපේක්ෂා භංගත්වයේ නායයාම තුඩුදෙනු ඇත්තේ, රාජපක්ෂලා වෙනුවට, මධ්‍යස්ථ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ඇති කර ගැනීමට ඇති ඉඩකඩ වියැකී ගොස්, අන්තවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී මාවත්වලට පාර කැපීමටයි. එය, වාර්ගික/ආගමික සහ/හෝ මිලිටර් වර්ගයේ (කර්නල්වරුන්ගේ හෝ සාජන්ටලාගේ කුමන්ත‍්‍රණයක) මාවතක් වීමට බැරි නැත.

අතාර්කිකත්වය තුළ වල්මත් වීම

රාජපක්ෂලාට නැත්තේ සදාචාර මාලිමාවක් පමණක් නොවේ. තාර්කික මාලිමාවක් ද ඔවුන්ට නැත. ඔවුන්ගේ පාලනය යටතේ, ආචාර සම්පන්න නොවීම සහ සදාචාරවත් නොවීම තරමටම, අතාර්කිකත්වයත්, විරෝධයක් දැක්විය යුතු නැති, සාමාන්‍ය දෙයක් බවට පත්කෙරේ. එය වඩාත් විනාශකාරී ලෙසින් විසද කෙරෙන්නේ, රාජපක්ෂ පවුලට මුල් තැන දෙන ප‍්‍රතිපත්ති මගින් විනාශකාරී ණය උගුලකට රට තල්ලූ කෙරෙමින් පවතින, මූල්‍ය-ආර්ථික ක්ෂේත‍්‍රයේ ය.

‘ප‍්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්’ නැමැති ලෝක ප‍්‍රකට විගණන ආයතනයට අනුව, 2010-2011 කාලය තුළ මිහින්ලංකා ගුවන් සමාගමේ ශුද්ධ පාඩුව, ‘රුපියල් මිලියන 940.49 කි. සමාගමේ වර්තමාන වත්කම්වලට වඩා, බැරකම්වල බර, රුපියල් මිලියන 1083.92 ක් ද අභිබවා යයි. එය, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම රුපියල් මිලියන 3814.45 ක අගයකට ඔසවා තබයි’. චීන බැංකුවකින් ලබා ගත් ණයකින් චීන කොන්ත‍්‍රාත් සමාගමක් තැනූ වව්නියා-යාපනය මාර්ගයේ වියදම, කිලෝ මීටරයකට රුපියල් මිලියන 112.88 ක් බව කියැවේ. විගණකාධිපතිගේ නවතම වාර්තාවට අනුව, ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට අවාසි සහගත කොන්දේසි යටතේ විවිධ ගිවිසුම්වලට එළැඹ ඇත..’ බාල වර්ගයේ තෙල් ආනයනය කිරීම නිසා ඇති වූ පාඩුව, කුප‍්‍රකට හෙජින් ගනුදෙනුව නිසා විඳින්ට සිදුවූ ප‍්‍රතිවිපාක, සංස්ථාව විශාල පාඩු ලබමින් පවත්වාගෙන යද්දී එහි සේවකයන්ට බෝනස් ගෙවීම ආදියත් වාර්තාව සඳහන් කරයි. රාජපක්ෂ මහා කයිවාරුව වන නොරොච්චෝලේ, 2013 දී සම්පූර්ණ දවස් 73 ක් ද, අර්ධ දවස් 43 ක් ද තිබුණේ, කොට උඩ ය. අපූරු සරදමක් ලෙසින්, අවසානයේ දී මේ ‘මේඞ් ඉන් චයිනා’’ නොරොච්චෝලේ ජංජාලය එකලසක් කර ගැනීමට රාජපක්ෂලාට හැරෙන්නට සිද්ධ වී ඇත්තේ ද ඉන්දියාව දෙසටයි.

පරදු-දැරීමේ පදනම ඉතා පටු වන විට, ආණ්ඩුකරණයේ පර්යාලෝකයත් සකසාගන්ට වන්නේ ඊට සමාන පටු සීමාවන් ඇතුළේ ය. එවැනි ආණ්ඩුකරණයක් තුළ ඇති ප‍්‍රතිපත්ති තීන්දු මෙහෙයවෙන්නේ එක අභිලාෂයකිනි: පාලක පවුලේ සිතැඟියාවන් සැතපීම සහ පවුලේ චිරස්ථිතිය. එය, ජනාධිපතිවරයාගේ මස්සිනා සභාපතිත්වය දරණ, කෝටි ගණන් පාඩු ලබන ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට තවත් අළුත් ගුවන්යානා 10 ක් මිළ දී ගැනීම සඳහා රුපියල් බිලියන 22.7 කටත් වැඩි ණයක් ලබා ගැනීමට අවසර දීමේ සිට, ක‍්‍රීඩා කටයුතු සඳහා අධි බලැති 1000 සී.සී. මෝටර් සයිකල් ආනයනය කිරීමට අවසර දීම දක්වා විවිධාකාරයේ හැඩතල ගන්නට පිළිවන. (ධාවන තරග, ජනාධිපති පුතුන්ගේ විනෝදාංශයක් සහ මල්ල කරේ ව්‍යාපාරයක් බවත් කියැවේ).

රාජපක්ෂ පවුලේ අවපාලනය නිසා ඇති වන සියලූ වියදම් අවසානයේ දී පැටවෙන්නේ, රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධයන් ද ඇතුළු සාමාන්‍ය ජනතාවගේ කරට ය. අමාත්‍ය සරත් අමුණුගමට අනුව, ‘අඩු ආදායම්ලාභී බොහෝ පවුල් ජීවිතය ගැටගසා ගන්නේ, දිනකට ඩොලර් එකහමාරක් වැනි සොච්චමකිනි’. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව සහ පමණ ඉක්මවා කරන වියදම් පියවා ගැනීම සඳහා තව තවත් වක‍්‍ර බදු පැනවීමට සිදුවීමෙන්, සාමාන්‍ය මිනිසාගේ ජීවන තත්වය අස්ප වේගයෙන් පල්ලම් බසී. එතෙකුදු වුවත්, දේශමාමක සටන් පාඨවලින් තමන්ව ඇන්දවීමටත්, කොටි/ජිහාඞ්/පල්ලි/බටහිර කුමන්ත‍්‍රණ බිල්ලන්ගෙන් තමන්ව බිය වැද්දීමටත් සිංහල-බෞද්ධ බහුතරය ඉඩ දෙන තාක් කල්, රාජපක්ෂලා යහතින් වැජඹෙනු ඇත.

රාජපක්ෂ සහෝදරයන්ට මේ අවිචාරවත් මගේ නිර්භාධිතව යා හැකිව ඇත්තේ, විපක්ෂය දුර්වල නිසා පමණක්ම නොවේ, බහුතර ප‍්‍රජාව, මාරාන්තික ලෙස දුර නොදකින නිසාවෙනි. බුද්ධිහීන නිසාවෙනි. අතාර්කික නිසාවෙනි.

රාජපක්ෂලා සමග සිංහලයන් මේ ගමන් කරමින් සිටින්නේ, කොටින් සමග දෙමළ ජනයා ගමන් කළ පාරට සමාන පාරක ය.

කොළඹ පාලනයෙන් පීඩාවට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය ගැන විශ්වාසය බිඳි ගොස් සිටි දෙමළ ජනයා, සිංහලයන්ට සිංහලයන්ගේ භාෂාවෙන්ම පිළිතුරු දිය හැකි බලසම්පන්න නායකත්වයකට ලොල් කළහ. ඒ ලෝලයේ ප‍්‍රතිඵලය වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. නිමාවක් නොපෙනෙන යුද්ධයකට මැදි වුණු සිංහලයා ද, කොටින්ගේ ක‍්‍රමයට කොටින් සමග සටන් වැදිය හැකි බලසම්පන්න නායකත්වයකට ලොල් කළහ. ඒ ලෝලයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ, රාජපක්ෂලා ය.

යහපත් මෙන්ම අයහපත් වූද හේතු කාරණා පෙරදැරිව දෙමළ ජනතාව, කොටින්ගේ මිනීමරු/සියදිවි නාශක ක‍්‍රමයට අනුගත වීමෙන් පසු අවසන් වුණේ, නන්දිකාදල් කලපුවෙන්, රැඳවුම් කඳවුරුවලින් සහ හමුදා පාලනයට නතු සමාජයකිනි. සිංහල-බෞද්ධයා විසින් රාජපක්ෂලාට පිළිගන්වන ලද, සීමාවක් හෝ දිනයක් නැති හිස් චෙක්පතත්, ඒ විදිහේම නපුරකින් සංයුක්තයි. රාජපක්ෂගේ කොල්ලකාරී අවපාලනයට සිංහල=බෞද්ධයා යටත් වන්නේ, තේරුම්ගත හැකි බියක් හේතුවෙන් ද, නැතහොත් රාජපක්ෂගේ අවපාලනය තමනුත් සාපරාධී අන්දමින් අනුමත කිරීම හේතුවෙන් ද යන්න මත, ඒ අවසාන දුර්භාග්‍යමත් පරිසමාප්තිය වෙනස් වන්නේ නැත.

තිසරණී ගුණසේකර

| 2014 ජනවාරි 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Predatory Them & Puerile Us නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්