Image | Screen Shot twitter.com/PresRajapaksa

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අද(12) දිනයේදී ඔහුගේ නිළ ටිවීටර් ගිණුම හරහා අන්තරාජාලය, අන්තර්ජාලය හා බැදි මාධ්‍ය ප්‍රචලිත කිරීමටත් ඒවා ලංකාව තුළ ව්‍යාප්ත කිරීමටත් ඔහුගේ ආණ්ඩුවේ ඇති කැපවීම ප්‍රදර්ශණය කරමින් ට්වීටර් පණිවිඩ විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. මෙම ට්වීටර් පණිවිඩ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රසිද්ධ කිරීම මෙහි සුවිශේෂි ලක්ෂණයකි. අන්තර්ජාලයේ නිර්මාතෘ යැයි සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥ ටිම් බර්නර්ස් ලී මහතා අන්තර්ජාලය සදහා මුලි පියවර තබා වසර 25ක් ගතවන අද දිනය මුල් කරගෙන මෙම ටිවීටර් පණී්විඩ රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කර තිබේ.

‘ජනාධිපති #WWW25 : අන්තර් ජාලයේ ප්‍රගමනය #SriLanka ව සම්පූර්ණයෙන් පිළිගන්නා අතර රට පුරා එය ව්‍යාප්ත කිරීම සහතික කිරිමට කැප වී සිටී.’ / ජනාධිපති #WWW25 : සමාජ අවබෝධය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ සහභාගීත්වය උදෙසා තොරතුරු සම්පත් කෙරෙහි ළඟාවීමට ….සාමාජ මාධ්‍ය වෙත ප්‍රවේශය දිරිමත් කිරීමට ද මම කටයුතු කරන්නෙමි. #SriLanka #web25 / ජනාධිපති #WWW25 : මෙම සන්නිවේදන විප්ලවයේ ප්‍රතිඵල ජනතාවට ලබා දිම අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන සතුටු වන මම…

ආදි ලෙසින් එම පණිවිඩවල දක්වා ඇත.

අන්තර්ජාල මාධ්‍ය අවකාශයට මෙතරම් උනන්දුවක් දක්වන රටක් නැතුවා සේ දැක්මක් මේ ට්වීටර් පණිවිඩවලින් පෙන්නුම් කිරීමට උත්සහ කළත් මේ වන විට ද ලංකා නිව්ස් වෙබ්.com(මෙය ලියන අවස්ථාව වන විට එම වාරණය මග හැරීම සදහා .net ලෙස වෙනස් කරමින් ඇත), ලංකා ඊ නිව්ස්, ටැමිල්නෙට්, කලම්බුටෙලිග්‍රාෆ් ඇතුලු ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක් ලංකාව තුළ දී පිවිසිමට ඇති හැකියාව නවතා දමා/අවහිර කරමින් තිබේ. ඒ පමණක් ද නොව ශ්‍රී ලංකා මිරර් වැනි වෙබ් අඩවිවලට විටින් විට බාධා කරමින් ඇති තත්ත්වයක් ද මේ වන විට ලංකාව තුළ දක්නට ඇත.

එසේම පසුගිය කාලය තුළ ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිණි තැබීම, එහි මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකා මිරර් වෙබි අඩවිය පවත්වාගෙන ගිය කාර්යාලයට ආරක්ෂක අංශ කඩා පනිමින් එහි මාධ්‍යවේදීන්, සේවකයන් සහ පරිගණක අත්අඩංගුවට ගැනීම ආදී අන්තර්ජාල මාධ්‍යට එල්ල කරන ලද මර්දනය සුලු පටු නොවේ. ඒ මේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණිවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේම ය.

එසේම, ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන ලංකා නිව්ස් වෙබ්, ලංකා ඊ නිව්ස්, ශ්‍රී ලංකා ගාඩියන් ඇතුලු වෙබ් අඩවි 5ක් ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද ‘කිසිදු හේතු දැක්වීමකින් තොරව‘ 2012 මැයි මාසයේදී ප්‍රතික්ෂේප කළේය. ඒ මේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණීවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේම ය.

එසේම කිසිදු විචාරයකින් තොරව ‘පුවත් වෙබ් අඩවි‘ පාලනය කිරීමේ සහ සිය අනසකට නතු කරගැනීමේ අරමුණින් ලංකාව තුළ පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම නම් ඊනියා ක්‍රියාවලිය ද සිදුකරන ලද්දේ මෙසේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණිවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේම ය.

තවද, සමාජ ජාල පිළිබද සතුට දනවන ට්වීටර් පණිවිට යවන රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම ලොව ප්‍රකට සමාජ ජාලයක් වන ‘ෆේස්බුක්‘ සමාජ ජාලයට ‘වසංගතයක්‘ යැයි කීවේ ද මෙසේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණිවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂමය. ඉන් නොනැවතී ඔහුගේ සොහොයුරා වන ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ කීවේ ‘සමාජ ජාල වෙබ් අඩවි ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘ යැයි කියා ය.

එබැවින්, මෙසේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණිවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මෙම ‘දවල් මිගෙල්,රෑ දනියෙල්‘ තත්ත්වය හොදින් තේරැම් ගත යුතු වන්නේ ය. ඒ අන් කිසිවක් නිසා නොව තවමත් පිවිසීමට අවහිර කර ඇති, අවහිර කරමින් ඇති වෙබ් අඩවි එසේම තිබියදී මෙන්ම විවිද අවස්ථාවලදී, විශේෂයෙන් ‘වේදිකාවල‘ අන්තර්ජාල අවකාශයන්, ජංගම දුරකතන අැතුලු නව මාධ්‍ය පිළිබදව රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුවේ ඇමතිවරැන් නගන අවිචාරවත් චෝදනා නිසාය. එබැවින් මෙසේ අන්තර්ජාලයට ආදරෙන් ට්වීටර් පණීවිඩ යවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘භාවිතමය සත්‍ය‘ ඇත්තේ මෙම ට්වීටර් පණිවිඩ තුළ නොවේ. එය වසංගතයක්, තර්ජනයක් යැයි කීමෙන් ද වෙබ් අඩවි තවමත් වාරණය කරමින් තිබීමෙන් ද අවබෝධ කර ගත හැකි නොවේ ද?

පහතින් දිස් වන්නේ අද(12) දිනයේදී ‘අන්තර්ජාලය‘ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරන ලද ට්වීටර් පණිවිඩ සමහරකි.

Sampath-TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon