සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ බදු සහනය අත්හිටුවයි..

ලංකාවට ලබා දී තිබු ජීඑස්පී හෙවත් වරණිය බදු සහනය තාවකාලිකව අත්හිටුවීමට යුරෝපීය වෙළද කොමිසම තීරණය කර ඇත. යුරෝපා වෙළද කොමසාරිස් කැරල් ඩී ගුෂ් මහතා පෙන්වා දෙන්නේ ජීඒස්පී ප්ලස් බදු සහනය අත්හිටුවා ඇති මාස 6 තුළ ලංකාවේ තත්වය හොඳ අතට පත් වුවහොත් නැවත එම සහනය ක්‍රියාත්මක කිරීම පිළිබදව යළි සලකා බැලිය හැකි බවයි.

එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥ්ප්ති පිළිබද ලංකාවේ තත්වය එතරම් සතුටුදායක නොමැති බව යුරෝපා කොමිසම තීරණය කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

එසේම ජීඑස්පී බදු සහනය තවත් තෙවසරකට ලබා ගැනීම සඳහා ලංකාව සමත්වන්නේද යන්න පිළිබද පසුගිය කාලය පුරාම විවිධ සංවාද පැවතුනි.

පසුගිය නොවැම්බර් 23වන දින පැවති පුවත්පත් සාකච්ඡාවකදී නිදහස් වෙළද කලාපය ආශ්‍රිත වෘත්තීය සමිති එකතුවක් වන ‛එලාම්’ සංවිධානයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ,

‛‛රට තුළ මෙම තීරු බදු සහනය පිළිබද සාකච්ඡාවක් මේ රටේ නිසි පරිදි සිදු නොවන බවයි. ඔවුන් එහිදී වැඩි දුරටත් සඳහන් කළේ මෙම තීරු බදු සහනය නොමැති වුවහොත් ඇගළුම් කම්කරුවන්ට බරපතල ලෙස බලපාන බවයි. එසේම ඇගඑම් කර්මාන්තයේ යෙදිලා කෝටිපතියන් වෙච්ච අයටත් මෙය බලපාන බවත්ය. එසේම රජය අත්සන් කරලා තිබෙන කොන්දේසි ක්‍රියාත්මක කිරීමේදී මතුවෙන ගැටලු ටික ඉදිරිපත් කරලා ඒවා අවම කිරීමේ ඉදලා නැති කිරීම දක්වා ගමන් කරන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්න ඕන. මේ රටේ මානව හිමිකම් පිළිබදව නැගෙන චෝදනා අවම කිරීමේ සිට නැති කිරීම දක්වා ක්‍රියාත්මක කරන්න රජය මැදිහත් වෙන්න ඕන.’’

කෙසේ වෙතත් මෙම බදු සහනය යටතේ අපනයනික භාණ්ඩ 7200ක් තීරු බදුවලින් නිදහස්ව යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කිරීමට අවස්ථාව තිබුණි. නමුත් යුරෝපා වෙළද කොමිසමේ මෙම තීන්දුව නිසා මෙම ත්ත්වය මගහැරී යනු ඇත.

යම් හෙයකින් මෙම ජීඑස්පී ප්ලස් සහනය නැති වුවහොත් විශේෂයෙන් නිදහස් වෙළද කලාපය ආශ්‍රිත කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසි යාමටද එමගින් රැකියා ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකට තම රැකියාවන් අහිමි වී යාමේ අවධානමක් පවතින බව ද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.