සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kandy, Life quips, Media

මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර 20වසරකට පසු හමුවන ‛‛ප්‍රභලම සහ භයානකම’’ අභියෝගය

vv1
ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18)

මෙරට ප්‍රවීන ගුවන්විදුලි සහ රූපවාහිණි මාධ්‍යවේදියෙකු වූ රිචඩ් ද සොයිසා ඝාතනය කර අදට(පෙබරවාරි 18දාට) වසර විස්සකි. 1990 පෙබරවාරි 18 වනදා රාත්‍රියේ රිචඩ් ද සොයිසාගේ නිවසට කඩා වැදුනු මැර පිරිස ඔහුව රුගෙන ගියේ ය. පසුව කොරළවැල්ලේ වෙරළට ගොඩ ගසා තිබුණු රිචඩ් ගේ සිරුර පොළිසියට හමුවිය.

ඒ වසර විස්සකට පෙරය.

ඒ ප්‍රවීණ මාධ්‍යවේදියා ඝාතනය කළේ ඔහු ඇත්ත කියු නිසාය. ඔහු ඇත්ත ලියූ නිසාය. එය දැන් මුලු ලොවම දන්නා කරුණකි.

ඒ එදා තිබුණු මාධ්‍ය නිදහසේ තරම ය.


අදත් එසේම විය. රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර විස්සක්(20) සැපිරෙන විට, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසරකට වැඩි කාලයක් ගත වී ඇත. පෝද්දල ජයන්ත ඇතුලු ප්‍රවීන මාධ්‍යවේදීන් පසුගිය කාලයේ මැර ප්‍රහාර වලට ලක් වීමට සිදුවූයේද ඇත්ත ලියු නිසාය. ඇත්ත කියු නිසාය. එසේම බොහෝ මාධ්‍යවේදීන්ට ජීවිතාරක්ෂාව පතා රට හැර යන්නට සිදුවුයේ ද, ඇත්ත ලියු නිසාය. ඇත්ත කියු නිසා ය.

මෙ අද මාධ්‍ය නිදහසේ තරම ය.

රිචඩ් ද සොයිසා ඝාතනය කර වසර විස්සක් සපිරෙන අද දින වන විට නිදහස් ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විචාරකයෙකු වූ ූ ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරුදහන් කර දින 25ක් ගතවී ඇත.

නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා පාලනයට, මාධ්‍ය නිදහස ඇතැයි කියන්නා පාලනයට, මානව හිමිකම් ඇතැයි මොරදෙන පාලනයට, රිචඩ් ඝාතනය කළ ඝාතකයන්ව ඔහුගේ මව විසින් හඳුනා ගත්තත් දඩුවම් දෙන්නට නීතියට නොහැකිවිය.

වසර 20කට පසුවත් එය එසේමය. ප්‍රගීත් අතුරුදහන් වී දින 25ක් ගත වුවත් ඔහුව සොයා ගැනීමට තවමත් පොලීසියට නොහැකි වී ඇත.
ඝාතකයන් හඳුනාගත්තත් දඩුවම් දීමට නොහැකි වූ පාලනයකට, හඳුනානොගත් හෝ සැකකරනු ලැබූ ඝාතකයන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට මේ පාලනයට හැකිවේ ද?

රිචඩ් ද සොයිසා ඝාතනය කර 20වසරක් ගතවන මේ මොහොතේ දී මේ පාලනය තුළ හමුවන ප්‍රභලම සහ භයානකම අභියෝගය එය යි.

2107Prageeth_Eknaligoda_J-pub
අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ(2010 ජනවාරි 24)

සම්පත් සමරකෝන්
[email protected]