Image Credit: theguardian.com

අතිශය වැදගත් උපදෙසක් ලබා දී ඇත. ඒ වූ කලී සිංහල ඉගෙන ගැනීම සහ අංක ගණිතය ඉගෙන ගැනීම සම්බන්ධයෙනි. ඇරිස්ටෝටල්ගේ සංවාක්‍ය තර්කන ක්‍රමය ඉගෙන ගැනීමට යැයිද කියමින් තම උපදේශය වඩාත් ආලවන්ත කොට ඇත. සැබවින්ම මෙය ආදරයේ ප්‍රකාශනයකි. මාගේ මෝහය අනෙකාගේ මෝහයට වඩා තීව‍්‍ර සහ බරපතල එකක් බව මා කුඩා කළ සිටම සිහියේ තබාගත් මුලික දෙයකි. එම මුලික විඥාණීය පිළිගැනීම විසින් ස්වයං අවකාශයක් ලැබුණු බවද කීමට කැමැත්තෙමි. එය ඉදිරියටද එසේය. එබැවින් අද දිනයේ බුද්ධිමත් බාසා විශාරද ඔබේ අාලවන්ත කමත් හෙට දිනයේ තවත් අයකුගේ ආලවන්තකමත් ආකර්ෂණය වනු ඇත. ආලය යනු කුමක්දැයි, මෙහිදී අදාළ නොවන නිසා අපි අපේ කාලය ඉතුරු කරගැනීම වෙනුවෙන් කැපවෙමු. උපදේශකයාගේ ප්‍රමෝදය මෙන්ම වින්දනය සඳහා පහත වාක්‍ය තනමු.

සියලු මනුෂ්‍යයෝ මරණයට පත් වෙති

මහින්දද මනුෂ්‍යයෙකි(?) (ප්‍රශ්නාර්ථය ලේඛකයාගෙනි)

ඒ නිසා මහින්ද ද මරණයට පත් වේ!

මෙය අපරදිග දර්ශනයට ශතවර්ෂ ගණනාවකට පෙර පෙරදිග දර්ශනය විසින් වඩාත් ගැඹුරින් මෙන්ම ශුද්‍ර මූලමය ලෙස ගෙන හෙතුඵලවාදීව භාවිතා කළ ක්‍රමයකි. සැබවින්ම එය පෙරදිග දර්ශනය විසින් විශ්වීය මෙන්ම පෞද්ගලික වශයෙන් ගෙන සලකා බැලූ කාරණයකි. ඇරිස්ටෝටල් නොව, තෙලීස් ජලය මත පදනම් වී සියල්ල ජලය මත ඇති වී ඇතැයි ගෙන හැර පෑමට ශතවර්ෂයකටත් වඩා වැඩි කාලයකට පෙර මෙවැනි අමෝහයන් පෙරදිග දර්ශනය තුළ වඩාත් ශක්තිමත්ව පැළපදියම් කරනු ලැබුහ.

එය ඉදිරියට ගෙන යාමට සහ දේශපාලන විද්‍යාවේදී මෙන්ම ප්‍රයෝගික දේශපාලනයේදී එය භාවිතා කිරීම ඔබ වැනිම අයවලුන් වෙලී සිටින හීනෝන්මාදය නිසා අවහිර විය. එය මේ වන විට ඔබේ ඔළුගෙඩියෙන් දොරේගලා යන්නේ, චම්පික රණවක සහ විමල් වීරවංශ නැමති විෂයන් කේන්ද්‍ර කරගනිමින් ඒවාට ඔබ විසින් ලබා දී ඇති “ට්‍රෝජන් වීරත්වය” මඟිනි. මෙය තේරුම් නොගෙන ඔබ මාගේ එක් වාක්‍යක සිරවීම ඔබේ ඛේදවාචකය වේ. මෙම ඛේදවාචකය වැසීම සඳහා සිංහල බෞද්ධ ජාතිකත්වය ඔබ රැගෙන එනු ලබයි. මාළුන් කෑමට පෙර උගේ කොරපොතු සහ වරල් අයින් නොකිරීමේ අවාසනාව මෙයයි. ඔබ මාළුවා එක කටකට පිළිහුඩුවෙකු සේ අනුභව කොට ඇත.(මෙය ඔබේ පෙරේත කමම නොවේ.) ඔබ එය ගිල දැමූ පසු ඔබ පිළිහුඩුවෙක් නොවන බව ඔබට අවබෝධ වී ඇති සැටියෙකි. මන්ද කොරපොතු විසින් ඔබේ බහිශ්‍රාව්‍ය පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය හිර කිරීම නිසා ඔබට එම අවබෝධය ලබා දී ඇත. එම හිරවීම මඟින් මා හට ආලවන්ත උපදෙස් ලබා දීමකට ඔබ තල්ලු කරමින්, ඔබේ අවුල නිවැරදි කරගැනීම වෙනුවට එය සාදාරනීකරණය කර ගැනීම සඳහා කරුණු ගෙන හැර පායි. එය අවුලක් ලෙස පිළිගැනීමට ඇති අකමැත්ත වසා දමා ඇත්තේ, “ එම සමාජ බලවේගයේ මතය සමඟ අප අනන්‍ය නොවන බව….” යැයි සඳහන් කරමින් ඔබ ඔබේ පතිවත ගැන මුසාවක් ඇද බෑමෙනි. එය ලෝලිපොපයක ටොෆිය අනෙක් පැත්තට හරවා එහි බටය උරාබීම හා සමානය.

අහෝ ඛේදයකි! ඔබ, මහින්ද රාජපක්ෂ 2005 ලැබූ ජයග්‍රහණය සඳහා හේතුව ලෙසද මොවුහු (මෙම සමාජ බලවේගය) ගෙන එන්නේය. එපමණකින් නොනැවතුණු ඔබ කොටි සංවිධානය පාරාජය කිරීමේදී මොවුහු සිදුකළ මැදිහත්වීම ගැනද දොඩවන්නේය. මෙය අමුලික පට්ටපල් බොරුවකි. මෙම සමාජ බලවේගය හේතුවෙන් කොටි සංවිධානය පරාජය වූයේ යැයි ඔබ කියන්නේනම් කොටින් 2009 වන තෙක් සිටින්නේ නැත. තිම්පු සාකච්ඡා වලින් පසු අනෙකුත් දෙමළ සන්නද්ධ කල්ලි අතුගා දමා දෙමළ ජනතාවගේ එකම නියෝජිතා වූ දිනයට පසුදා කොටින් මුළුමනින්ම පරාජය වනු ඇත.

එය එසේ නොවුනේ ඔබ වැනි කොරපොතු පිටින් මාළුන් ගිලපු විචාරකයින් වැසිකිළි පෙට්ටියක් මත සළුපිලි නොගලවා වාඩි වී තැටමීමේදී සිදු වූ කණගාටුදායක සිදු වීම් සහ ඔබ සඳහන් කරන සමාජ බලවේගයේ තකතීරු භාවිතය නිසාය. එමඟින් සත්‍ය වසනු ලැබීය. සැබවින්ම ඔබ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් ගෙන එන ඇතැම් විචාර පැසසිය යුතුය. මන්ද එහිදී ඔබ අනුබව කොට ඇත්තේ වඩාත් පිළිවෙලට පිරිසුදු කරනු ලැබූවේ යැයි සැලකිය හැකි මාළුවෙකි. මෙය වූ කලී ඔබට මාගේ දේශපාලනික වශයෙන් ආලය පෑමයි. නමුත් මම මෙහිදී ඉලක්ක කරගන්නේ ඔබ කියන සිංහල බෞද්ධ ජාතිකවාදී සමාජ බලවේගය නමැති ප්‍රපංචයය.

සහෝදරයා! 2009 වන තෙක් යුද්ධය ඇදුනේ මන්ද? මුලික හේතුවලින් එකක් වූයේ, කොටි සංවිධානය ඔබ සඳහන් කරන සමාජ බලවේගය අත්වැළක් කරගනිමින් ශක්තිමත් වීමය. ජාත්‍යන්තර වශයෙන් තම ජාලය වැඩි කරගත්තා පමණක් නොව ඔවුන්ගේ සටනට සාදාරණතත්වයක්ද ලබා ගත්තේය. ඔබ හෙළ උරුමය රටේ ඇතැම් ස්ථානවලට (මනිරාසකුලම් වැනි) ගොස් විරෝධය පෑමෙන් මහින්දට යුද්ධය සඳහා දැවැන්ත ශක්තියක් ලබා දුන් බව කියන්නේය. සැබවින්ම මනිරාසකුලම් ගිය ඔබ ඔය කියන ජාතික බලවේගය පැන්නීම සඳහා එකල කොටි සංවිධානය භාවිතා කරනු ලැබුවේ අවිආයුධ නොව අහස් කූරුය. යුද්ධය දිනීම සඳහා නොව ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීම සඳහා ඔවුන්ගේ එම විරෝධයන් ප්‍රභල හේතුවක් විය. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව තෙවැනි යෝජනාවලීයත් සම්මත වීමයි. ඔබ කියන සිංහල සමාජ බලවේගයේ අයෙකුට හැකි වූයේ ආරක්ෂක ලේකම් නන්දසේන රාජපක්ෂගේ සහයෝගය ඇතිව, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ “ලෙමන් පෆ් මාරාන්තික උපවාසයක් “ කොට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මහා පාරට ඇද දැමීම පමණි.

2005 ජනාධිපතිවරණය මහින්ද ජයගැනීම වූකලී ඔබ කියන සමාජ බලකඳවුරේ සෙල්ලමක් නොව. එය කොටි සංවිධානය සිදු කරගත් හාස්‍ය ජනක මෙන්ම දෛවෝපගත අත්වැරැද්දකි. වැඩි විස්තර ඔබට ටිරාන් අලස්ගෙන් දැනගත හැකිය. “උඹ තමයි මාව ගොඩ දැම්මේ මල්ලී,” කියූ රාජපක්ෂ පිළිබඳව ඔහු ඔබට මතක් කර දෙනු ඇත. ඔබ කියන සිංහල බෞද්ධ ජාතිකවාදී සෙලවිය නොහැකි ප්‍රපංචය එහිදී සිදු කළේ කැඩුණු මී වදයේ පැණි ලෙව කෑම පමණි. එය වෙන කිසිවක් නොව තැන දුටු තැන වල ඉහ ගැනීමකි. ඔබ සඳහන් කරන මෙම කණඩායම් දෙකම “දීර්ඝ” කාලයක් තිස්සේ කරනු ලැබුවේද එයයි. නමුත් ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට එරෙහිව ප්‍රචාරණ කටයුතු කිරීමට සමත් වූ බව සැබෑය. එය කෙතරම් දුරට සාර්ථක වූයේද යන්න මෙම සිදුවීම් නිසා අවසාන සිනහවේ උරුමක්කාරයා පමණක් දන්නේය.

අවුල ඇත්තේ මා සතුවද? රෝගී වී ඇත්තේ මාද? ඔබට තේරුම් ගැනීමට නොහැකිනම්, එකම වාක්‍ය අඩුම තරමින් පස් වතාවක් හෝ කියවා එය තේරුම් ගෙන පිළිතුර දීමට හැකියාව තිබේ නම් වඩාත් වැදගත් ගනුදෙනුවක් හෙවත් ආලයක් අප දෙදෙනාට පෑ හැකිය.

අවාසනාවට ඔබට මා ඉදිරිපත් කළ දෙවැනි වාක්‍යයෙන්ම ඔබ ඔබට නොදැනිම අයාලේ ගොස් ඇත. තම නොහැකියාව වසා ගැනීම සඳහා හිතා මතාම සිදුකරණ ප්‍රතික්‍ෂේපය භාවිතා කරන්නේය. එය සිංහල නොවන්නේ යැයි කීමට තරම්ම ඔබ දුර්වලයෙකු වී ඇත. එය එනම් දෙවන වාක්‍ය, සරලව සහ ඔබට තේරෙන බසින් කිවහොත් මෙසේය. දේශපාලන ඥානය පැවතිය යුතු හිඩැසට ගොන්කම ආදේශ වීම සහ එම ගොන් කමින් කල්පිත ගොඩනැගීම සඳහා අංක ගණිතය භාවිතා කිරීමකි. එම අංක මඟින් යථාර්තය අමතක කොට මතුපිට පමණක් දැක ඔබ සම්පූර්ණ පද්ධතිය ගැන විනිශ්චයකට පැමිණේ.

ඔබද මාද මත්වීම ගැන දන්නෙමු. සිහිනය ගැනද හොඳ හැටි දන්නෙමු. හොර නින්දක් ගෙන අනෙකා ඉදිරියේ සිහින නිර්මාණය කරන්නන් ගැනද අපි දනිමු. එසේම අපි දෙදෙනාටම ඇති ආසාව ගැනද අත්‍යවශ්‍යතාවය සහ අවශ්‍යතාවය ගැනද අවබෝධය ඇත්තෙමු. නමුත් ඔබ විසින් අමතක කොට ඇත්තේ, සමාජය වූ කලී කුණුකන්දල් වලින් පිරුණු තැනක් බවත් එය විටින් විට කැලතිය යුතු එකක් බවය. එසේ නොකළ හොත් කුණුවලින් බර අඩුම කුණු ගොඩ මතුපිටට පැමිණේ. ඔබ දකින සමාජ බලවේගය, ඔබේ නිරීක්ෂණයෙන් කියන්නේනම්, “ සංචල සමාජ ප්‍රපංචය”, යනු එම මතුපිටට පැමිණි කුණු ගොඩයි. නමුත් එම කුණු ගොඩ කැලතීම 2009 න් පසු සිදු වූ බව අමතක නොකළ යුතු අතර ඔබ සඳහන් කරන “සංචල සමාජ ප්‍රපංචය” නමැති ගුණය එම කුණු ගොඩට අහිමිය. විකල්ප රැසක් බිහි වූහ. බිහි වෙමින්ද තිබේ. සිහළ උරුමය ගැන සහ චම්පික රණවක ගැන ඔබේ ඇති මායාව ගංගොඩවිල සෝම හිමි ඔබ නින්දේ පසුවන අවස්ථාවක හෝ පරලොව සිට වැඩම කොට වදාරණු ඇත්තේ නම් ඔබේ මීළඟ පිළිතුර මීට වඩා දෙයක් කතාකරනු ඇත. එසේම මහාචාර්ය නලින්ද සිල්වා තවමත් ජීවතුන් අතර සිටින බැවින් ඔබට ඔහුගෙන්ද මෙය යම් පමණකට ඉගෙන ගත හැකිය. මේ කිසිවක් කළ නොහැක්නම් අදාළ සමාජ බලවේගය නමැති ඔබේ වින්ශ්චය අරම්භයා ඔබට කළ හැකි වන්නේ අංකටුස්සෙක් පණපිටින් ගිල දමා අං එන තෙක් බලාසිට මෙම සමාජ ප්‍රපංචයේ ඔබේ ස්ථානය තහවුරු කර ගැනීමය. එසේ නැතිවුවහොත් ඔබත් වළගම්බාගේ පරම්පරාවෙන් එන අයෙක් නොවී අනෙකාගේ අවුලට පෙර ඔබේ මායාව අවබෝධ කරගනු ඇත. වීරවංශ සාධකය ගැන කිරීමට කිසිවක් නොමැත්තේ උද්දච්ච කමින් පිරුණු හිස් දෙයක් වෙනුවෙන් කාලය නාස්ති කිරීමේ වුවමනාවක් නැති හෙයිනි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa