Image Credit :lankastandard

ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ තැන් සිට පුරා සත්වසරටකට ආසන්න කාලයක් ජනාධිපති සෙවනේ සමාධිගතව හුන් විමල් වීරවංශ මහතා දැන් අලූත් අඩවුවකට ප‍්‍රවේශවී සිටී. එ් ආර්ථික ඝතකයකුගෙන් රට බේරා ගැනීමේ ශාන්ති කර්මයටයි. මේ ශාන්ති කර්මයෙන් ඔහු පළවාහැරීමට බලාපොරොත්තු වන පේ‍්‍රතයා පී. බී. ජයසුන්දරයි. පහුගිය දින කිහිපයේ ඔහුගේ හඬ තැලිල්ලේ කියවුණේ, තවදුරටත් ඔහුට ආණ්ඩුවේ සිටිය නොහැකි එකම හේතුව ‘පුංචි බණ්ඩා’ බවයි.

ආර්ථික ඝාතක පුංචි බණ්ඩාට එරෙහිව අවි අමෝරන විමල්, පසුගිය වකවානුවේ කළ කී දෑ මොහොතක් මෙනෙහි කරමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික සාරය කෙල පීඩක් සේ එළියට දමමින් හිතෙන තරම් කාලයක් ජනාධිපතිවී සීටීමට වරම් ලද 18 වන සංශෝදනයට විමල් උඩින්ම මානාප වුණි. එය උඩින්ම සාධාරණය කෙරිණි. අධිකරණයේ ස්වාධීනතාව සතේකට මායිම් නොකළ ශිරාණි බණ්ඩාරනායක දෝශාභියෝගයේදී ඔහු නඩු කාරයෙක් විය. කටුනායක, හලාවත, රතුපස්වල ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමෙන් සිදුකළ මිනිස් ඝාතනවලදී මරාදැමූ ජනතාවම වරදකරුවන් කළ මරණ පරීක්ෂක ඔහුය. විශ‍්‍රාම වැටුප්, ත‍්‍රස්තවිරෝධී පනත්, පුද්ගලික විශ්වවිද්‍යාල, ආචාර්යවරුන්ගේ වර්ජන, ශිෂ්‍ය ගැටළු ආදී කප්පරක් ප‍්‍රශ්නවලදී ඔහු කීවේ හතරවරං බයිලාම පමණි.

එ්ත් දැං විමල්ට කැසිනෝ අරහංය. පීබීව අපුළය. ආණ්ඩුව අවුල්ය.

මේ අවුල් ගොඩ නිසාම ආණ්ඩුවෙන් එළියට බසින්නට තමන් සූදානම් බව කියන්නේය.

සැබවින්ම විමල් ආණ්ඩුවෙන් එළියට බැස්සොත් කුමක් සිදුවේවිද? ඉදිරි වර්ෂයේ මැතිවරණ සිතියම හා ඔහුගේ භූමිකාව ගලපා බැලූවහොත් එහි බලපෑම පාර්ශව දෙකකකට අදාළය. එකක් රාජපක්ෂ ආණ්ඩුවය. අනෙක විමල්ය. විමල් ආණ්ඩුවේ සිටියත් නැතත් බයිලා හැර ජනතවෙට ලැබෙන වෙන කෙංගෙඩියක් නොමැති නිසා මින් ජනතාවට සිදුවෙන බලපෑම ගැන සිතා බැලිය යුතු නැත.

2005 වසරේ සිට රාජපක්ෂ ආණ්ඩුව දුවන්නේ සිංහල බෞද්ධ අසහානයේ ආනුභවයෙනි. ලංකාවේ සිංහල බෞද්ධයින්ට බඩට නොකෑවත් කබල් ගෑමට මවාගත් ජාතික බලයක් අවශ්‍යමය. ජීවත්වීමට නම් ජාතියට වින කරන සතුරෙක් අවශ්‍යමය. දෙමළ, මුස්ලිම් හෝ කතෝලික බලවේගයක් විසින් අපේ රටේ සිංහල වෙහෙර විහාර විනාස කරාවි යන හුඹස් බිය ඔවුන් ළඟ නොඅඩුව ඇත. අන් ජාතිකයෙකු දියුණු වෙනවා බලා සීටීමටම කොහෙත්ම නොහැකිය. රැුවුල් ගසක් නැති ටයි කෝට් අදින රනිල්ට වඩා, බුරුසු රවුලෙන් සරම් අදින මහින්දට ඔවුන් ආස එහෙයිනි. එ් ආසාව ජාතිවාදී සංවිධාන ඔස්සේ ජනතාව වෙත එන්නත් කළේ විමල් ඇතුළු පිරිවර විසිනි. (මේ පිරිසට ජාතික හෙළ උරුමය ද අයත් විය යුතු වුවත් ලිපිය විමල් ඉලක්ක කර ලියවෙන බැවින් ඔවුන් ගැන ලියවෙන්නේ නැත)

විමල් ආණ්ඩුවෙන් එළියට ගිය හොත් සිදුවන ලොකුම බලපෑම මේ ජාතික උමතුව ජනතාව අතර නඩත්තු කරන්නේ කෙසේද යන්නයි. අධිරාජ්‍ය විරෝධය, අමෙරිකා විරෝධය, යූන් ඕ විරෝධය, එන්ජී ඕ විරෝධය මේ ආදී සකල විද විරෝධයන් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවට ගෙන ආවේ විමල් විසිනි. එ් සියලූ විරෝධයන් ගේ තනි අයිතිය ඊට පෙර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණටයි. ජනතා විමුක්ති පෙරමුණෙන් මෙම විරෝධතාවන් ගෙන ආ නිසා ආණ්ඩුවට දේශපේ‍්‍රමී අත්තටු ලැබිණි. ජවිපේ අත්තටු සිදුණි. ඉතින් ආණ්ඩුව ඉගිලූණි.

එසේ ඉගිලෙන ආණ්ඩුවට විමල් නැතිව මේ උමතුව තවදුරටත් පෝෂණය කර නොහැකිවනු ඇත. කොයිතරම් රෙද්ද බැනියම ඇන්දත් බැසිල්ලා, නිමල්ලා, මෛතී‍්‍රපාලල, දිනෙෂ්ලාගේ අධිරාජ්‍ය විරෝධී ඇක්ටිං රියලිස්ටික් වෙන්නේ නැත. ජනාතව චූන් වෙන්නේ නැත. පෙරකී නම් හැර ඉතිරිවන මර්වින්ලා, දුමින්දලා, එස්බීලා පවිත‍්‍රලා ආදි සියලූ ඡන්ද මැෂිං මේවන විට බන්ධුල ගුණවර්ධන තරමටම පිච්චං වී හමාරය. මේ නිසා බස්නාහිරට දකුණට වඩා ඌවෙන් ඇරඹෙන ඡන්ද ප‍්‍රථිපල බොහෝ දුරට ආණ්ඩුවට අසතුටුදායක මට්ටමකට එනු ඇත.

එය එසේ වනවිට විමල්ට සිදුවන්නේ කුමක්ද? ජවිපෙන් එළියටවිත් සෑදු ජාතික නිදහස් පෙරමුණට ඒකාලයේ පාර්ලිමේන්තු ආසන 12 ක් හිමිවී තිබිණි. ඉන්පසු එළඹී මහමැතිවරණයේදී ආණ්ඩුවත් සමග එක්ව සෑම දිස්ත‍්‍රක්කයකටම තරග කළද ජවිපේට මහජන ඡන්දයෙන් ලැබුනේ ආසන දෙකක් පමණි. හිමිවුණු බොන්ස් ආසනයද ජනිපේට කොලේ වසා ආණ්ඩුව ඔවුන්ගෙන් අයින් කර දැම්මේය. ජනිපේ ලොකු පුටුවල වාඩිවී සිටි නන්දනලා, සෙනවිලා, උම්මලා දැන් එ් පැත්ත පළාතේවත් නැත. ඉන්පසු එළඹී මැතිවරණවලදී ආණ්ඩුව සමග එක්ව තරග කළ ජනිපේ නියෝජිතයන්ට සතුටුදායක ජන්ද ප‍්‍රථිපල ලැබී තිබුනේ නැත. මධ්‍යම සහ වයඹ ඡන්දවලදි ඔවුන්ට එකදු ආසනයක්වක් හිමි නොවිණි. යංතං හෝ ආසනයක් හිමි වුනා නම් එ් හිමි වුණේ බෝනස් පිහිටෙනි. මෙය කොතරම් බරපතළ ද කිවහොත් වයඹට පුත්තලමෙන් දමා තිබුණේ ජවිපෙ නියෝජනය කළ (පසුව ජනිපෙට එක්වු) හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි. නමුත් මනාප ප‍්‍රථිපලවලින් වැටී සිටියේ ගුරුවරිය දණ ගැස්වූ සරත් මන්ත‍්‍රීගේ බෑණාටත් වඩා පහළ තැනකටය. ත‍්‍රිකුණාමලයට තනිව තරග වැද ආසනයක් දිනාගත්ත ද එහි එ්තරම් උඩදැමීමට දෙයක් නැත. මන්ද එසේ ජයග‍්‍රහණය කළ ජයන්ත විජේසේකර කොයි පක්ෂයෙන් ආවත් දිනන අස්සයෙක්මය. ජනිපෙ ඇතත් නැතත් නගර සභාවේ කුණු ට‍්‍රැක්ටරයේ සිට එල්ටීටීයයට එරෙහිව සිංහ දජය එසවීම දක්වා ත‍්‍රීකුණාමල ජනතාවගේ ආකර්ෂණය ඔහුට නොඅඩුව හිමිව ඇත. එ්නිසා ත‍්‍රීකුණාමලයේ ජයග‍්‍රහණය සම්පූර්ණ පංගුව හිමිවන්නේ ජයන්තටය.

මෙවන් තත්ත්වයක් මත සිට ජනිපෙ ආණ්ඩුවෙන් ඉවත් වුණහොත් ජනිපේ ප‍්‍රාදේශීය නියෝජිතයන්ට සිදුවන්නේ තවත් නන්නත්තාරවීමටය.

නමුත් එම නන්නත්තාරවීම විමල්ට අදාළ වන්නේ නැත. කට නිසා දිනා ගත හැකි ඡුන්ද වාසනාවක් ඔහුට උරුමය. 2004, 2010 මහමැතිවරණවලින් ඔහු කොළඹින් එකට එන්නේ එ් වාසනාවෙනි. මේ වාසනාව නැවත උරගා බැලීමට අවස්ථාව හිමිවන්නේ එළඹෙන ජනාධිපතිවරණයයි.

ආණ්ඩුවේ ඡන්ද ප‍්‍රතිශතය සෝදාපාලූවකට ලක්ව ඇති මෙවන් මොහොතක ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂට හිමිවන ඡන්ද ප‍්‍රතිශතයද සැක සහිතය. සාමාන්‍ය මැතිවරණයක මෙන් වැඩි ඡන්ද ලාගත් සැණින් ජනාධිපතිධුරය හිමිවන්නේ නැත. කිසියම් නියෝජිතයකු එ් සඳහා තෝරා ගැනෙන්නේ ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට පනහේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවක පමණි. එසේ නොවන අවස්ථාවක දෙවන ඡන්දය ගැනීමක් සිදුවේ. විපක්ෂයේ පක්ෂ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ආණ්ඩුවේත් නොවන විපක්ෂයෙක් නෙවන තුන්වන නියෝජිතයකුගේ දෙවන ඡන්දයට විශාල වටිනාකමක් හිමිවේ. එවන් තත්ත්වයකට ආසන්න උදාහරණයක් ලෙස 1988 මහා මැතිවරණයේදීි ඔසී අඹේගුණවර්ධනගේ දෙවන ඡන්දයට වටිනාකමක් හිමිවීමට ගිය අවස්ථාව සැළකිය හැකිය.

ඉදිරි ජනාධිපතිවරණයකට ජවිපෙ, එජාප, ටීන්එ,හා ෆොන්සේකා විරෝධීන්ගේ බොහෝ ඡන්ද පොදු අපේක්ෂකයාට හිමිනොවනු ඇත. එමෙන්ම එවන් ඡන්දදායකයන් එවැනිම විරෝධතාවක් මහින්ද රාජපක්ෂ කෙරෙහිත් ඇත්නම් නිසැකවම එම ඡන්ද කටුගෑමට හෝ වෙනත් අපෙක්ෂකයකුට යොමුකිරීමට ඉඩ ඇත. එවන් අවස්ථාවකට නියම තුරුම්පුව වන්නේ විමල්ය. විමල් ජනාධිපතිවරණයකට තරග කළහොත් ආණ්ඩුවට විරෝධය දා දමන ඡන්දවලින් යම් ප‍්‍රමාණයක් පොදු අපේක්ෂකයකුගේ ගොඩට නොවැටී විමල්ගේ ගොඩට වැටෙනු ඇත. කටුගාන සහ අප‍්‍රකාශිත විය හැකි ඡන්දවලට ද එ් ඉරණම අත්විය හැකිය. විමල්ගේ ගොඩ තරවීමේ වැඩි වාසිය හිමිවන්නේ මහින්දගේ ආණ්ඩුවටය. මන්ද ‘පංචායුධයට එක දමා බුලත් කෙළයට දෙක දමන්න’ වැනි සටන් පාඨයකින් විමල් මොරදුන්හොත්, ඡන්දය දෙවන වර කියවීමක් ගැන මහින්ද බිය විය යුතු වන්නේ නැත. අහස පොළව දෙපලූ වුවත් පොදු අපේකෂකයාට දෙවන ඡන්දය ලබාදෙන මෙන් විමල් ඉල්ලා සිටින්නේ නැත.

මේ අනුව බැලීමේදී මේ දිනවල විමල් අල්ලන අඩවුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේම තවත් දිගුකාලීන සැළස්මක කොටසක් දැයි සැකය මතු වේ. පොදු අපේක්ෂකයකු පිළිබඳ කතාබහ දේශපාලන කරළිය රත්කරන විට හිටිහැටියේම විමල් ආණ්ඩු විරෝධී වන්නේ ඇයිද යන්න සිතා බැලිය යුතුය. විමල් මේතරං ඩෙගා නටන විට උපේක්ෂාවෙන් එ් දෙස බලා සිටින්නට තරම් මහින්ද දේශපාලන තොත්ත බබෙකු ද නොවන්නේය. ආණ්ඩුවෙන් එළියට ගියහොත් මංගලට ශ‍්‍රීපතිට අත්වූ ඉරණම තමන්ට ද අත්විය හැකි බව තේරුම් නොගැනීමට තරම් විමල් තොත්ත බබෙකු නොවනනනේය. මෙය පණ අදින බල්ලාගෙන් මැක්කන් ඉවත්මක් ලෙස ජවිපෙ සිතා සිටීම වැරදි සිතුවිල්ලකි. සැබවින්ම මෙය මැක්කන් විසින් පණ අදින බල්ලන්ට පණ පොවනා සමයකි. විමල්ගේ අඩවුවේ හොඳ හොඳ සෙල්ලම් තව තව එළිවන විට අප සැමටම පෙනෙනු ඇත.

ළහිරැ සමරසිංහ