Ampara, සිංහල, Democracy, Governance, Human Rights

ඉඟිනියාගල පොලිසිය රැගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඇලේ, ගම්මු විරෝධතාවයේ

පසුගිය 21 වෙනිදා ඉඟිනියාගල පොලසියේ නිළධාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලද සමන් තිලකසිරි නැමැති තිදරු පියාගේ මළ සිරුර පසුදින උදයේ පල්ලං ඔය අසල සයිබන්ට් යනුවෙන් හඳුන්වන ස්ථානයේ තිබී හමුවීම නිසා ප්‍රදේශයේ ජනතාව ඊයේ පොලිසියට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යපාරයක නිරත වුවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පලායාමට හෝ අයුධ පෙන්නීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ පොලිසියට වෙඩි තැබීමට උත්සහ කිරීම නිසාද සෑහෙන පිරිසක් පසුගිය කාලයේ මියගිය බවද අපි සියලු දෙනාම දනිති. එහෙත් ඒ අය පාතාලයේ මැරයන් වූ නිසා අපි කරබාගෙන සිටියේ පාතාලයට වැඩක්දීම හොඳ යැයි සිතු නිසාය. එහෙත් ලබ්බට තැබූ අත පුහුලටත් තබන බව අපට මතක් වෙන කොට අපි ප්‍රමාද වැඩිය. දැන් පොලිසිය පාතාලයට කළ දේ තමන්ට එරෙහිවන සියල්ලන්ටම විරුද්ධව භාවිත කරන්නට පටන් ගෙන තිබේ. අපට වාර්ථවන අන්දමට සිද්ධීය මෙසේයි.
අම්පාරේ ඉඟිනියාගල පස්වැනි පාලම ප්‍රදේශයේ පදංචි සමන් තිලකසිරි ගමේ පොදු වැඩ වලට සහභාගීවන ක්‍රියාකාරී තරුණයෙකි. පොදු වැඩ මෙන්ම අයුක්තියට අසාධාරණයට එරෙහිවූ ඔහු තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් හඩක් නැඟීමට නොපසුබට වූ තැනැත්තෙක් ලෙස ගමේ පිරිස් හඳුන්වනවා. මේ කාරණය නිසාම සමන්ට සතුරු පිරිස්ද සිටි බව නොරහසකි. සමන් සහ ඉඟිනියාගල පොලීසිය අතර විරසකය ආරම්භ වන්නේ ඉඟිනියාගල පොලිසියේ පිරිසක් කැළයෙන් ගම්මාළු ගසක් කපා රැගෙන යන සිද්ධිය සමන් විසින් 119 අමතා දැනුම් දුන් අවස්ථාවේ සිටයි. සමන්ගේ දැනුම් දීම නිසා පැමිණි පොලිස් පිරිස හොරුන් අතටම අල්ලා ගත්තද පසුව එම වරදට උසාවි යාමට සිදුවන්නේ සමන්ටමය. එහෙත් සමන් උසාවිය ඉදිරියේ තම නිරිදෝෂීභාවය වෙනුවෙන් දිගමට සටන් කළ අතර මේ වන විට පොලිසිය නඩුව පරාද වෙන තත්ත්වයට පත්ව තිබූ බව ගම්වැසියන් පවසයි. මේ තත්ත්වය අවබෝධකර ගත් පොලිසිය සමන්ට කියා සිටියේ තමන් රුපියල් 40000 ක් ලබාදීමට සුදානම් බවත් එය රැගෙන උසාවිය ඉදිරියේ වරදකරු බව පිලිගන්නා ලෙසත්ය. එහෙත් සමන් එයට අකමැතිවීම නිසා පොලිසිය ඔහු සමග වෛරයෙන් පසු වූ බව ගම්වැසියන් පවසනව.
මෙදින සමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණ ඇත්තේ ගමේ පන්සලේ සිද්ධියක් මුල්කරගෙනයි. ගම්මුන් පවසන ආකාරයට පන්සලේ හිමිවරුන් දෙනමක් පන්සලේ අයිතිය ඉල්ලා සටනකට මුල පුරා ඇත. මෙහිදි සමන් එක් හිමිනමකගේ පාර්ශවය ගෙන ඔහුට පන්සල ලබාදීම සඳහා ක්‍රියාකාරීව වැඩ කර ඇත. පසුගිය 21 වෙනිදා පන්සලේ දායක සභාවේ රැස්වීමක් පවත්වා ඇත්තේ මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහායි. එහිදී ලැබුන සමහර තීන්දු සම්බන්ධයෙන් සමන් ප්‍රකෝපකාරී ලෙස හැසිරී තිබේ. පසුව මේ සිද්ධිය කිසිවෙකු විසින් පොලිසියට සැලකර ඇත. මෙදින පොලිසිය සමන්ව රැගෙන යාමට පැමිණ ඇත්තේ මෙමම සිද්ධියට අදාලවයි. මොටර් සයිකල් දෙකකින් පැමිණි නිළ ඇඳුම් හැඳගත් පොලිස් හා ග්‍රාමාරක්ෂක නිළධාරීන් දෙදෙනෙක් හා සිවිල් ඇඳුමකින් සැරසුන තවත් නිළධාරියෙක් සමන්ව පොලිසියට යැයි කියා රැගෙන ගොස් ඇත. පසුව මේ පිළිබඳව සැක සිතුන ගමේ තරුණයින් කිහිප දෙනෙකු ඔවුන් පසු පස ත්‍රීරෝද රථයකින් ගොස් ඇත. එසේ යන අවස්ථාවේ පොලිසිය පැමිණි මෝටර් සයිකල් දෙක පල්ලං ඔය යන ස්ථානයේ තිබෙනු එම තරුණ පිරිස දැක ඇති අතර ඔවුන් විසින් එම ස්ථානය පරීක්ෂා කරනු ලැබුවද කිසිවෙකු එහි සිට නැත. පසුව ඔවුන් පොලිසිය වෙත ගමන් කරමින් සිටන විට අදාල මෝටර් සයිකල් දෙක ඔවුන්ගේ ත්‍රිරෝද රථය පසුකරගෙන පොලිසිය දෙසට ගමන් කර ඇත. තරුණ පිරිස පොලසිය වෙත ගොස් විමසු අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට පොලිසි පිරිසක් ගියත් තවම ඔවුන් නොපැමිණි බවයි. එහෙත් ඒ අවස්ථාවේ පොලිසිය තුළ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් පැවති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී එම තරුණයින් සාක්කි ලබාදෙමින් පවසා ඇත.
අප මේ පිළිබඳව අම්පාර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ එහි නිළධාරිනියක් පැවසුවේ මේ වන විට සිද්ධියට අදාල නිළධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපතිවරයාව මාරුකර යවා ඇති බවයි. එහෙත් මේ වන විට අදාල පුද්ගලයාගේ මරණය පිළිබඳ වාර්ථාව මහනුවර අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගෙන් ලැබී ඇති බවත් ඒ අනුව මෙය දියේ ගිලීම නිසා සිදුවු මරණයක් බවත් තීන්දු කර ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය. කෙසේ වෙතත් පොලසිය භාරයේ සිටියදී සිදුවූ මරණයක් නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් ඇය පැවසූවා.