පසුගිය මැයි 22 වනදා ගිරිතලේ, ඩියර් පාර්ක් හෝටලයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා සංවිධානය කරන ලද වැඩමුළුවට ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද බාධාකිරීම් නිසා බරපතල තත්වයක් මතුවිය. එම තත්ත්වය තුළදී එම වැඩමුලුව නොපවත්වන ලෙස හෝටල් පරිපාලනය තමන්ට දැනුම් දුන් බවත්, එයට හේතුව ලෙස , ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම වැඩමුලුව පවත්වන්න දෙන්න බැරි බව, හෝටල් පරිපාලනය විසින් තමන්ට ලිඛිතව දැනුම් දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනයේ, විධායක අධ්‍යක්ෂක එස්.රනූගේ මහතා අද(11) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේ ය.

පසුව එම වැඩමුලුවම මීගමුවේ ‘‘ගෝල්ඩි සෑන්ඩ්ස්’’ හෝටලයේ දී පසුගිය ජූනි 06 සිට 08 දක්වා පැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේදී සංවිධානාත්මකව පැමිණි පිරිසක් ඊට බාධා පැමිණවූහ. එම බලපෑම් හමුවේ මාධ්‍ය පුහුණුවට සහභාගීවූවන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඔවුන් කොළඹ ගලදාරී හෝටලය වෙත ගෙන එ්මට ක‍්‍රියාකළ අතර එම හෝටලයේ කාමර පහසුකම් ලබාගෙන පැයක් ගතවීමටත් පෙර ඔවුන්ට කාමර වලින් ඉවත්ව යන ලෙස හෝටල් කළමනාකාරිත්වය විසින් බලකරන ලැබූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පැවසීය.

කෙසේ නමුත් මෙම තත්ත්වය ලංකාවේ ඇතැම් මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථගන්වා වාර්තාකිරීම් කර තිබු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි. එම තත්ත්වය තුළ මෙහි සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සදහා අද පැවති මාධ්‍ය සාකච්ඡාවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය සමග නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, දකුණු ආසියාතික නිදහස් මාධ්‍ය සංවිධානයේ, ශ්‍රී ලංකා පාර්ශවය, ශ්‍රි ලංකා දෙමළ මාධ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංවිධානය ද සහභාගී වී සිටියේය.(මෙම සංවිධානවල නියෝජිතයින් දැක්වූ අදහස් ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළිළ බලාපොරොත්තු වන්න)

පහත දැක්වෙන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්(ශ්‍රී ලංකා) ආයතනයේ විධායක අධ්‍යක්ෂක,එස්.රනූගේ මහතා දැක්වූ අදහස්වල සම්පූර්ණ හඩ පටයයි.